Skip to content

පටුනට යන්න

ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . .

ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . .

ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . .

අලුත උපන් බිලිඳා තම මවගේ තුරුලේ උණුහුම ලබමින් සිටින අතර පියා ඒ දෙස බලා සිටින්නේ ඉමහත් ආඩම්බරයකිනුයි. සෑම වසරකදීම බිලිඳුන් බොහෝමයක් මෙළොව එළිය දකින නිසා එය බොහෝදෙනාට සාමාන්‍යය දෙයක් වී තිබෙනවා. එසේනම් අපි ඒ ගැන විශේෂ අවධානයක් දිය යුතුද?

ඔව්. ඊට හේතුව සමහර අවස්ථාවලදී මවටත් දරුවාටත් යම් අවධානම් තත්වයන්ට මුහුණ දීමට සිදු වීමයි. එමනිසා ප්‍රසූතියේදී ඇති විය හැකි බරපතල ගැටලු වළක්වාගැනීම සඳහා දෙමාපියන් වීමට බලාපොරොත්තුවෙන් සිටින නැණවත් යුවළක් කල්තියාම ඒ සඳහා සූදානම් වෙයි. උදාහරණයකට ප්‍රසූතියේදී ඇති විය හැකි ගැටලුවලට හේතු ගැන ඔවුන් දැනුවත් වීමට වගබලා ගනියි. එමෙන්ම ඔවුන් ගර්භණී සමයේදී වෛද්‍ය සායනවලට සහභාගි වී ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කරන අතර ප්‍රසූති අවස්ථාවේදී සිදු විය හැකි අනතුරුදායක තත්වයන් අවම කරගැනීමට අවශ්‍ය සරල පියවර ගනියි. දැන් අපි එම පියවරයන් ගැන සවිස්තරව සලකා බලමු.

ගැටලුවලට හේතු

මවගෙත් දරුවාගෙත් ජීවිතවලට තර්ජනයක් එල්ල විය හැකි එක් හේතුවක් වන්නේ ගර්භණී සමයේදී නිසි සැලකිල්ල නොලැබීමයි. ඒ ගැන වෛද්‍ය චුන් කම් ලූ මෙසේ පවසනවා. “ගර්භණී සමයේදී ලැබිය යුතු වෛද්‍ය උපදෙස් හා නිසි සාත්තුව නොලැබීම නිසා ඔවුන් සිටින්නේ ඉතා අවධානම් තත්වයකයි. එවන් මව්වරුන්ගෙන් බොහෝදෙනෙක් නිරෝගී හා පුෂ්ටිමත් දරුවන් ගැන බලාපොරොත්තුවෙන් සිටියත් එය හැම විටම එසේ වෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ.”

ගර්භණී මව්වරුන්ට බලපාන තත්වයන් සම්බන්ධයෙන් එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “මව්වරුන් මිය යෑමට ඉවහල් වන ප්‍රධානතම හේතු වන්නේ” අධික ලෙස රුධිරය ගැලීම, ප්‍රසූතියේදී බිලිඳා සිර වීම, ආසාදන තත්වයන් ඇති වීම හා අසාමාන්‍ය ලෙස අධිරුධිර පීඩනය ඇති වීමයි. එවන් තත්වයන්මඟ හරවාගැනීම සඳහා පහසුවෙන් ලබාගත හැකි නවීන මෙන්ම සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඕනෑ තරම් තිබෙනවා.

පහසුවෙන්ම ලබාගත හැකි වෛද්‍ය ප්‍රතිකාර නිසා බිලිඳුන් බොහොමයකගේ ජීවිත බේරාගත හැකියි. ඒ ගැන එක් වාර්තාවක සඳහන් වන්නේ ‘ඉතා පහසුවෙන් ලබාගත හැකි එවන් වෛද්‍ය ප්‍රතිකාර මව සහ බිලිඳා ලබාගන්නවා නම් ඒ තුළින් බිලිඳු මරණ තුනෙන් දෙකක් වළක්වාගත හැකි’ බවයි. නමුත් ගර්භණී සමයේදී ලැබිය යුතු වෛද්‍ය උපදෙස් මෙන්ම නිසි සාත්තුව සම්බන්ධයෙන් බොහෝ මව්වරුන් දැනුවත් නොවීම හා ඔවුන්ගේ නොසැලකිල්ල කනගාටුවට හේතුවක් කියා පිලිපීනයේ එක් පුවත්පත් ආයතනයක් වාර්තා කරනවා.

උපරිම උත්සාහයක් දරන්න

“නිරෝගී මව්වරුන්ට නිරෝගී දරුවන් ලැබෙනවා” කියා එක් වාර්තාවක සඳහන් වුණා. මවක් ගර්භණී සමයේදී හා දරු ප්‍රසූතියේදී මෙන්ම ඉන්පසුව පවා වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්නේ නැත්නම් ඇය ඇගේ බිලිඳාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙයි කියා සිතීම අපහසුයි කියාද එහි සඳහන් වෙනවා.

සමහර ප්‍රදේශවල ජීවත් වන ගර්භණී මව්වරුන්ට ප්‍රමාණවත් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම දුෂ්කර විය හැකියි. ඒ සඳහා බොහෝ දුරක් ගෙවා යෑමට සිදු වීම හෝ එම පහසුකම් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදු වීම ඊට හේතු විය හැකියි. ඒ වුණත් ඒ සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කිරීමට ඔවුන් උත්සාහ කළ යුතුයි. විශේෂයෙන්ම බයිබලයේ සඳහන් උපදෙස්වලට අනුව ජීවත් වන මවක් ඊට වැඩි අවධානයක් දිය යුතුයි. ඊට හේතුව නූපන් බිලිඳෙකුගේ ජීවිතය පවා යෙහෝවා දෙවිට ඉතා පරිශුද්ධ දෙයක් බව බයිබලයේ සඳහන් වන නිසයි.—නික්මයාම 21:22, 23; * ද්විතීය කතාව 22:8.

ප්‍රමාණවත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කියන්නේ සෑම සතියකම වෛද්‍යවරයාව හමු වීමද? නැහැ. එය අනිවාර්ය නැහැ. ගර්භණී සමයේදී හා දරු ප්‍රසූතියේදී මතුවන පොදු ගැටලු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි දෙයක් සොයාගෙන තිබෙනවා. “ගර්භණී සමයේදී වෛද්‍යවරයා හමු වීමට දොළොස්වතාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගිය මව්වරුන් සමඟ සසඳද්දී සිව්වතාවක් වෛද්‍යවරයාව හමු වීමට ගිය ගැබිනි මව්වරුන්ද” නිරෝගී දරුවන් බිහි කර තිබෙනවා.

වෛද්‍යවරයා මෙවන් පියවර ගත හැකියි

මවගෙත් දරුවාගෙත් සෞඛ්‍ය තත්වය වඩා යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා විශේෂයෙන්ම ප්‍රසව හා සම්බන්ධ වෛද්‍ය විශේෂඥයන් මෙවන් පියවර ගනු ලබනවා.

▪ මවගේ රෝගී තත්වයන් හා ලබා ගත් ප්‍රතිකාර පිළිබඳ වාර්තා පරීක්ෂා කිරීමෙන් ඉදිරියේදී ඇති විය හැකි යම් අනතුරුදායක තත්වයන් නිශ්චය කරගැනීමටත් මවට හෝ නූපන් දරුවාට සිදු විය හැකි අනතුරු වළක්වාගැනීමටත් පියවර ගනියි.

▪ ගැබිනි මවට ආසාදන, ඇනීමියා වැනි වෙනත් රෝග තිබෙනවාද කියා පරීක්ෂා කිරීමටත් රීසස් අගය (Rh) පරීක්ෂා කිරීමටත් වෛද්‍යවරුන් ඇගේ රුධිරය සහ මුත්‍රා පරීක්ෂා කරයි. එමෙන්ම දියවැඩියාව, රුබෙල්ලා, ලිංගිකව බෝ වෙන රෝග හා වකුගඩු රෝග වැනි රුධිර පීඩනයට හේතු වන දේවල්ද පරීක්ෂා කරයි.

▪ ගැබිනි මවගේ තත්වයට අනුව සෙම්ප්‍රතිශ්‍යාව, පිටගැස්ම හා රීසස් අගය නිසි මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍යවරයා ඇයට එන්නත් නිර්දේශ කළ හැකියි.

▪ විටමින් වර්ග මෙන්ම විශේෂයෙන්ම ෆෝලික් අම්ලය ලබාගැනීමට නිර්දේශ කළ හැකියි.

ගර්භණී මවක් මුහුණ දිය හැකි අනතුරුදායක තත්වයන් හඳුනාගන්නා වෛද්‍යවරුන් ඒ සඳහා යම් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනියි. නැතහොත් ඒ සඳහා ඇයව සූදානම් කරයි. ඒ තුළින් මවගෙත් නූපන් දරුවාගෙත් සෞඛ්‍ය තත්වය වඩාත් යහපත් අතට පත් කළ හැකියි.

ප්‍රසූතියේදී ඇති විය හැකි අනතුරු අවම කරගැනීම

“ගර්භණී මවක් ඉතා අනතුරුදායක තත්වයක පසුවන්නේ දරුවා ප්‍රසූති කිරීමේදී හා ඊට ආසන්න කාලයේදී” කියා හිටපු සෞඛ්‍ය නිලධාරියෙක් වන ජෝයි පූමාපී පවසනවා. එවන් අවස්ථාවක සිදු විය හැකි ජීවිත හානි හෝ බරපතල ගැටලු වළක්වාගත හැක්කේ කෙසේද? ඒ සඳහා කළ යුතු දේවල් ඉතා සරලයි. නමුත් එවන් පියවර ගත යුත්තේ කල් ඇතුවයි. * බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කිරීමක් ලෙස හෝ වෙනත් හේතුන් නිසා රුධිරය ප්‍රතික්ෂේප කරන අය කල් ඇතුව ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.—ක්‍රියා 15:20, 28, 29.

රුධිරය වෙනුවට භාවිත කරන විකල්ප ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරයා හෝ වින්නඹුව, ඒ සම්බන්ධයෙන් අද්දැකීම්ලත් අයද කියා තහවුරු කරගැනීමට එවන් ගැබිනි මව්වරුන් තමන්ට හැකි සියල්ල කළ යුතුයි. එමෙන්ම ඔවුන් ප්‍රතිකාර ලබන රෝහලේ වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් සහයෝගය දක්වනවාද කියාත් කලින්ම තහවුරු කරගැනීම ඥානවන්තයි. * ඒ සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් ඇසිය යුතු වැදගත් ප්‍රශ්න දෙකක් පහත සඳහන් වේ. 1. ප්‍රසූතියේදී මවගෙන් හෝ දරුවාගෙන් අධික රුධිර ගැලීමක් සිදු වුවහොත් හෝ වෙනත් අනතුරුදායක තත්වයකදී ඔබ ගන්නා පියවර කුමක්ද? 2. ඔබ නැති අවස්ථාවකදී දරුවා බිහි වුණොත් අපි බලාපොරොත්තු වන ප්‍රතිකාර ලබා දෙන්නේ කවුද?

නැණවත් ගර්භණී මවක් තම රුධිර පරිමාව නිසි සේ තිබෙනවාද කියා තම වෛද්‍යවරයා හමු වී පරීක්ෂා කර බලයි. රුධිරය වඩවා ගැනීමට අවශ්‍ය නම් ෆෝලික් අම්ලය, යකඩ සහ බී කාණ්ඩයට අයත් විටමින් වර්ග වෛද්‍යවරයා නිර්දේශ කළ හැකියි.

එමෙන්ම වෛද්‍යවරයා ගැබිනි මව පිළිබඳව පහත සඳහන් කරුණුද සැලකිල්ලට ගනියි. ඇයව කලින් පරීක්ෂා කළ අවස්ථාවේදී සැලකිය යුතු යම් රෝගී තත්වයන් ඇයට තිබුණාද? වැඩි වේලාවක් සිට ගෙන සිටීම ඇයට අහිතකරද? ඇය වැඩි පුර විවේකයෙන් සිටිය යුතුද? ඇගේ බර ප්‍රමාණය අඩු කිරීමට හෝ වැඩි කිරීමට අවශ්‍යද? ඇයට තව ව්‍යායාම අවශ්‍යද? ශාරීරික හා මුඛ සෞඛ්‍යයේ පිරිසිදුකම ගැන ඇය මීට වඩා සැලකිලිමත් විය යුතුද?

අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙන්නේ ගර්භණී සමයේදී විදුරුමස් ආශ්‍රිත රෝග නිසා රුධිර පීඩනය ක්ෂණිකව ඉහළ යෑම, දරුණු හිසරදය හා දෙපා ඉදිමුම වැනි තත්වයන් උග්‍ර විය හැකි බවයි. * එමෙන්ම එවැනි තත්වයන් නිසා නොමේරූ දරු උපත් සිදු විය හැකි අතර බිලිඳාගෙත් මවගෙත් ජීවිත අනතුරට පත් විය හැකියි. මෙය බොහෝවිට දැකිය හැක්කේ දියුණු වෙමින් පවතින රටවලයි.

සැලකිලිමත් වෛද්‍යවරයෙක් ගර්භණී මවකගේ දක්නට ලැබෙන ඕනෑම රෝග ලක්ෂණයක් ගැන හොඳ අවධානයෙන් සිටිනවා. එමෙන්ම දරු ප්‍රසූතියට නියමිත කාලයට පෙර ඇයට ප්‍රසව වේදනාව ඇති වුවහොත් වහාම රෝහල්ගත වීමට පියවර ගන්න කියා ඔහු නිර්දේශ කරයි. එමගින් මවගෙත් දරුවාගෙත් ජීවිත ආරක්ෂා වෙයි.

දරුවන් බිහි කිරීමේදී මව්වරුන්ගේ ජීවිත අනතුරේ කියා වෛද්‍ය ක්වාසි මොනිරුල් ඉස්ලාම් පැවසුවා. නමුත් ගර්භණී සමයේදී, ප්‍රසූත කරන අවස්ථාවේදී මෙන්ම ඊට පසුව පවා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් බොහෝ ගැටලු මෙන්ම ජීවිත හානි පවා වළක්වාගත හැකියි. ඒ සියල්ලටම වඩා නිරෝගී සෞඛ්‍යක් පවත්වාගැනීම ඉතා ප්‍රයෝජනවත්. ඔබගේ පැතුම නිරෝගී දරුවෙක් නම් ඔබ නිරෝගී මවක් වීමට වෑයම් කරන්න.

[පාදසටහන්වල]

^ 10 ඡේ. ගැබිනි මවට හෝ නූපන් බිලිඳාට සිදු විය හැකි මාරාන්තික අනතුරක් පිළිබඳව බයිබලයේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් වෙනවා.

^ 21 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යුවළකට නම් කල්තියාම ඒ පිළිබඳව රෝහල් සබඳතා කමිටුව සමඟ සාකච්ඡා කළ හැකියි. එවිට එම කමිටු සාමාජිකයන් වෛද්‍යවරුන් හමු වී රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රම ගැන ඔවුන්ව දැනුවත් කරයි. ඊට අමතරව එම කමිටුව විසින් රෝගියාගේ විශ්වාසයන්ට ගරු කරන, රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් අද්දැකීම් ලත් වෛද්‍යවරයෙකුව සොයාගැනීමට උපකාර කරයි.

^ 24 ඡේ. එවන් තත්වයන් හටගන්නේ විදුරුමස්වල රෝගී තත්වයන් නිසාද කියා නිෂ්චය කිරීමට වැඩි දුර පරීක්ෂණ කළ යුතු බව ඇත්තයි. කෙසේනමුත් නිතරම ඔබගේ මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වර්ෂ 2007 ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් දත්තවලට අනුව ප්‍රසූතිය හා සම්බන්ධ ගැටලු නිසා සෑම විනාඩියකදීම වගේ එක් මවක් මිය යනවා. ඒ අනුව සෑම වසරක් තුළදී මිය යන මව්වරුන්ගේ සංඛ්‍යාව 5,36,000යි.—United Nations Population Fund

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සෑම වසරකදීම බිලිඳුන් මිලියන 3.3ක් මව් කුසේදීම මිය යන අතර ළදරුවන් මිලියන හතරක් මෙළොව එළිය දැක දින 28ක් ඇතුළතදී මිය යනවා.—UN Chronicle

[29වන පිටුවේ කොටුව]

 ඒ දවසට සූදානම් වෙන්න

1. ඔබ ඇතුල් වීමට බලාපොරොත්තු වන රෝහල, වෛද්‍යවරයා හෝ වින්නඹුව ගැන කල් තියා හොඳින් දැනුවත් වන්න.

2. ඔබගේ වෛද්‍යවරයාව හෝ වින්නඹුව හොඳින් දැන හඳුනා ගෙන, විශ්වාසයක් ගොඩනඟාගැනීම සඳහා විටින් විට ගොස් ඔහුව හෝ ඇයව හමු වන්න.

3. ඔබේ සෞඛ්‍ය ගැන හොඳින් සැලකිලිමත් වන්න. හැකි නම් ගර්භණී සමයේදී නිර්දේශ කරන විටමින් වර්ග ලබාගන්න. නමුත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතුව ඒවා ලබා නොගන්න. එමෙන්ම ඥානවන්තම දෙය වන්නේ ගැබිනි සමයේදී මත්පැන්වලින් වැළකී සිටීමයි. “ගැබිනි මව්වරුන් අධික ලෙස මත්පැන් භාවිත කිරීම ඔවුන්ගේ නූපන් දරුවන්ට දැඩි සේ බලපානවා. ඒ වුණත් බිලිඳාට බලපෑමක් ඇති නොවන්නේ මත්පැන් කොතරම් ප්‍රමාණයක් භාවිත කිරීමෙන්ද යන්න තවමත් සොයාගෙන නැහැ” කියා එක් ආයතනයක් වාර්තා කරනවා.

4. නියමිත කාලයට පෙර (සති 37කට පෙර) ප්‍රසව වේදනාවක් ඇති වුණොත් වහාම ඔබේ වෛද්‍යවරයා හමු වන්න. එසේ කිරීමෙන් නොමේරු දරු උපතක් සිදු වීම හා වෙනත් භයානක තත්වයන්ට මුහුණ දීම වළක්වාගත හැකියි. *

5. ප්‍රතිකාර පිළිබඳ තම පෞද්ගලික තීරණ ඇතුළත් ලියවිල්ලක් සූදානම් කරගන්න. කල්තියාම සකස් කරගත් ස්ථාවර ඇටෝනි බලපත්‍රය (DPA) බොහෝදෙනෙකුට විශාල උපකාරයක් වී තිබෙනවා. ඔබගේ රටේ භාවිත කරන එවැනි නීත්‍යානුකූල ලියවිලි ගැන සොයා බලන්න.

6. ප්‍රසූතියෙන් පසු ඔබගේ සෞඛ්‍ය ගැනත් බිලිඳාගේ සෞඛ්‍ය ගැනත් ඉතා සැලකිලිමත් වන්න. දරුවා බිහි වුණේ නියමිත කාලයට පෙර නම් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්න. යම් ගැටලුවක් මතුවුවහොත් වහාම ළමා රෝග විශේෂඥයෙකුව හමු වන්න.

[පාදසටහන]

^ 41 ඡේ. නොමේරු, දුර්වල දරුවන් තුළ රතු රුධිරානු නිපදවීමේ ඌණතාවක් තිබෙන විට ඔවුන්ට රුධිරය ශරීරගත කිරීම පොදු දෙයක් වී තිබෙනවා.