Skip to content

පටුනට යන්න

දික්කසාදෙන් පස්සේ ජීවිතයට මුහුණ දීම

දික්කසාදෙන් පස්සේ ජීවිතයට මුහුණ දීම

“මට දැනුණේ මගේ ලෝකෙම කඩා වැටුණා වගෙයි. මට තිබුණු හැම දේම එකපාරටම නැති වෙලා ගියා කියලා මට හිතුණා.”—මාක්, * දික්කසාද වෙලා අවුරුද්දයි.

“මගේ මහත්තයා අපේ දුවගේ වයසේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. අන්තිමේදී අපි දික්කසාද වුණා. එයාට හරියට තරහ යන නිසා එයාගෙන් දික්කසාද වෙච්ච එක මට සහනයක්. ඒත් දික්කසාදෙන් පස්සේ ලොකු ලැජ්ජාවක් වගේම මම වටින්නේ නැහැ කියන හැඟීමත් මට ආවා.”—එමලින්, දික්කසාද වෙලා අවුරුදු 17යි.

සමහරු දික්කසාද වෙන්නේ ප්‍රශ්න ගැටලුවලින් මිදෙන්නයි. තවත් අයට දික්කසාද වෙන්න සිද්ධ වෙන්නේ සහකරු හෝ සහකාරිය තමන් එක්ක ජීවත් වෙන්න අකමැති නිසයි. කොහොමවුණත් දික්කසාදෙන් පස්සේ හිතුවට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔයාත් මෑතකදී දික්කසාද වුණු කෙනෙක් නම් ඔයා අද්දකින්නේ කටුකම අද්දැකීම්වලින් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උපකාර වෙන විදිහ බලමු.

1වෙනි අභියෝගය: හිතට දුකක් දෙන හැඟීම්.

දික්කසාදෙන් පස්සේ ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ වැඩ, තනිකම නිසා ජීවිතය කටුකයි කියලා හිතෙයි. ඒ හැඟීම් ලේසියෙන් නැති වෙන්නේ නැහැ. මනෝවිද්‍යාඥවරියක් වන ජූඩිත් වොලර්ස්ටයින් කිව්වේ දික්කසාදෙන් අවුරුදු ගාණකට පස්සෙත් සමහරුන්ට “ජීවිතෙන් වැඩක් නෑ, මට වුණේ අසාධාරණයක්, මම තනි වෙලා” වගේ හැඟීම් ඇති වෙනවා කියලයි.

කරන්න පුළුවන් මොනවද?

  • දුක හිතේ තද කරගෙන ඉන්න එපා. ඔය දෙන්නා පවුල් ජීවිතේ සතුටින් ගත කළේ නැතත් එයා නැති පාළුව ඔයාට දැනෙනවා ඇති. සතුටින් පිරි කැදැල්ලක් හදන්න මැව්ව හීනේ බොඳ වෙලා ගිය එක ගැන ඔයා දුක් වෙනවා ඇති. (හිතෝපදේශ 5:18) ඒ වගේ වෙලාවට අඬලා දුක තුනී කරගන්න ලැජ්ජ වෙන්න එපා.—දේශනාකාරයා 3:1, 4.

  • අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න එපා. හිතේ දුක තුනී කරගන්න තනි වෙලා ඉන්න හිතුණත් නිතරම තනි වෙන්න එපා. (හිතෝපදේශ 18:1) අනිත් අයව ආශ්‍රය කරන්න. හැබැයි යාළුවන් එක්ක ඉද්දී නිතරම දික්කසාද වුණු කෙනාගේ වැරදි ගැනම කතා කළොත් යාළුවන්ටත් එපා වෙලා ඔයාගෙන් ඈත් වෙන්න පුළුවන්. දික්කසාද වුණු මුල් කාලෙදී බැරෑරුම් තීරණ ගන්න වුණොත් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න.

  • ඔයාගේ සෞඛ්‍යය ගැන හිතන්න. දික්කසාදෙන් පස්සේ දැනෙන මානසික පීඩනය නිසා අධිරුධිර පීඩනය, තද හිසේ කැක්කුම වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පෝෂ්‍යදායී කෑම, ව්‍යායාම්, ප්‍රමාණවත් නින්ද හරිම වැදගත්.—එෆීස 5:29.

  • කේන්තිය ඇවිස්සෙන දේවල් අයින් කරන්න. ඒත් අත්‍යවශ්‍ය ලියකියවිලි තියාගන්න. මංගල ඡායාරූප වගේ දේවල් දැක්කම දුකක් දැනෙනවා නම් ඒවා නොපෙනෙන තැනක තියන්න. පස්සේ කාලෙක දරුවන්ට ඒවා ඕන වෙයි.

  • හිතට දුකක් දෙන සිතුවිලි අයින් කරන්න. සැමියා අනාචාරයේ යෙදුණට පස්සේ එයාව දික්කසාද කරපු ඔල්ගා මෙහෙම කිව්වා. “‘මට වඩා ඒ ගෑනු කෙනාගේ තියෙන හොඳේ මොකක්ද’ කියලා මට නිතරම හිතුණා.” ඒත් ඔල්ගා තේරුම්ගත්තා නිතරම ඒ වගේ සිතුවිලි ඇති කරගත්තොත් හිත හදාගන්න අමාරුයි කියලා.—හිතෝපදේශ 18:14.

    හිතෙන දේවල් ලිව්වම තමන්ගේ සිතුවිලි හදාගන්න පුළුවන් කියලා හුඟක් අයට තේරිලා තියෙනවා. එහෙම කරද්දී දුකක් දෙන සිතුවිල්ල මකාගන්න උදව් වෙන හොඳ සිතුවිල්ලත් ලියාගන්න. (එෆීස 4:23) මේ උදාහරණ දෙක බලන්න.

    වැරදි සිතුවිල්ල: එයා ද්‍රෝහි වුණේ මගේ වැරදි නිසා.

    හොඳ සිතුවිල්ල: මගේ අතින් අඩුපාඩුකම් වුණත් මාව දාලා යන්න ඒක එයාට හේතුවක් නෙමෙයි.

    වැරදි සිතුවිල්ල: ජීවිතේ හොඳම කාලේ එයා නිසා නාස්ති වුණා.

    හොඳ සිතුවිල්ල: වෙච්ච දේවල් ගැන ළත නොවී අනාගතය ගැන හිතලා වැඩ කළොත් සතුටින් ඉන්න පුළුවන්.

  • අනිත් අය කියන හිත රිදෙන දේවල් ගණන් ගන්න එපා. සමහරවිට ඔයාගේ තත්වේ හරියටම තේරුම්ගන්නේ නැතුව හිතවත් අය කියයි ‘එයා නං කොහොමටවත් ඔයාට ගැළපෙන්නේ නැහැ’ එහෙම නැත්නම් ‘දික්කසාද වෙනවට දෙවියන් කැමති නැහැ’ කියලා. * ඒ වෙලාවට “මිනිසුන් කියන සෑම දෙයක්ම සිතට නොගන්න” කියලා බයිබලයේ කියන දේ මතක තියාගන්න. (දේශනාකාරයා 7:21) අවුරුදු දෙකකට කලින් දික්කසාද වුණු මාර්ටීනා මෙහෙම කිව්වා. “මම උත්සාහ කරන්නේ අනිත් අය කියන හිත රිදෙන දේවල් අමතක කරලා දෙවියන් හිතන විදිහ තේරුම්ගන්නයි. මොකද දෙවියන්ගේ සිතුවිලි අපේ සිතුවිලිවලට වඩා හරිම උසස්.”—යෙසායා 55:8, 9.

  • දෙවියන්ට යාච්ඤා කරන්න. ‘කනස්සල්ලට හේතු වන සෑම බරක්ම මා පිට තබන්න’ කියලා දෙවියන් ඔහුට නමස්කාර කරන අයව දිරිගන්වනවා.—1 පේතෘස් 5:7.

මෙහෙම කරලා බලන්න: ඔයාට සහනයක් දෙන බයිබල් පද ලියලා ඒවා නිතරම පේන තැන්වල තියන්න. දික්කසාද වුණු හුඟක් අයට මේ ලිපියේ තියෙන බයිබල් පදවලට අමතරව ගීතාවලිය 27:10; 34:18; යෙසායා 41:10 හා රෝම 8:38, 39ත් සහනයක් වෙලා තියෙනවා.

දෙවියන්ගේ වචනයෙන් සහනය ලබන්න

2වෙනි අභියෝගය: දික්කසාද වුණු කෙනා එක්ක කටයුතු කිරීම.

අවුරුදු 11ක් විවාහ වෙලා හිටපු ජූලියානා මෙහෙම කිව්වා. “මාව දාලා යන්න එපා කියලා කොච්චර කිව්වත් මහත්තයා මාව දාලා ගියා. ඒ නිසා මට එයාත් එක්ක ඇති වුණේ පුදුම තරහක්.” හුඟක් අයට දික්කසාද වුණු කෙනා එක්ක තියෙන තරහ ලේසියෙන් නිමෙන්නේ නැහැ. ඒත් සමහර කාරණාවලදී එයාලත් එක්ක කතා කරන්නම වෙනවා. විශේෂයෙන්ම දරුවන් ඉන්නවා නම්.

කරන්න පුළුවන් මොනවද?

  • දික්කසාද වුණු කෙනා එක්ක සාමකාමීව කටයුතු කරන්න. අවශ්‍ය කාරණය ගැන විතරක් කෙටියෙන් කතා කරන්න. එතකොට ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.—රෝම 12:18.

  • හිත රිදෙන විදිහට කතා කරන්න එපා. වරද ඔයා පිට පටවනවා කියලා හිතුණොත් මේ උපදෙස මතක් කරගන්න. “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය.” (හිතෝපදේශ 17:27) සාකච්ඡාව හොඳ අතට හරවන්න බැරි නම් “මම ඒ ගැන හිතලා බලලා පස්සේ කතා කරන්නම්” කියලා කියන්න.

  • ලියකියවිලි වෙන් කරගන්න. නීතිමය, මූල්‍යමය හා වෛද්‍යමය ලියකියවිලි වෙන වෙනම තියාගන්න එක ප්‍රයෝජනවත්.

මෙහෙම කරලා බලන්න: දික්කසාද වුණු කෙනා එක්ක ඊළඟ වතාවේ කතා කරද්දී දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගෙම මතයේ ඉන්නවා කියලා දැනෙනවා නම් පස්සේ කතා කරමු කියලා කියන්න. නැත්නම් ඊ-මේල් එකකින් හරි ලියුමකින් හරි කාරණය ගැන කතා කරමු කියලා කියන්න.—හිතෝපදේශ 17:14.

3වෙනි අභියෝගය: දරුවන්ට උපකාර කරන්න.

දික්කසාදේ දරුවන්ට බලපෑව විදිහ ගැන මරියා මෙහෙම කියනවා. “මගේ පොඩි දුව නිතරම අඬන්නත් ආපහු නින්දෙන් ඇඳ තෙමන්නත් පටන්ගත්තා. දුක හංගගෙන ඉන්න හැදුවට ලොකු දුවත් හිටියේ දුකෙන්.” ඒ වගේ වෙලාවට ඔයාගෙන් සැනසීමක් දරුවන්ට ඕන වුණත් ඔයාත් මානසිකව වැටිලා ඉන්න නිසා හරි කාලය නැති නිසා හරි ඒක කරන්න විදිහක් නැහැ කියලා ඔයාට හිතෙයි.

කරන්න පුළුවන් මොනවද?

  • දරුවන්ට හිතෙන දේ කියන්න උනන්දු කරන්න. සමහරවිට වැරදි දෙයක් කිව්වත් ඒක කියන්න ඉඩ දෙන්න.—යෝබ් 6:2, 3.

  • ඔයාගේ බර දරුවා පිට තියන්න එපා. සමහරවිට හිතේ තියෙන දේවල් දරුවා එක්ක කතා කරලා සහනයක් ලබාගන්න ඔයා කැමති වෙයි. දරුවත් ඔයා වෙනුවෙන් ඒක කරන්න කැමති වෙයි. ඒත් වැඩිහිටියන්ගේ ප්‍රශ්න දරුවට කියන එකත් දික්කසාද වුණු කෙනා හා ඔයා අතර පණිවිඩ හුවමාරු කරගන්න දරුවව පාවිච්චි කරන එකත් දරුවට කරන යහපතක් නෙමෙයි.—1 කොරින්ති 13:11.

  • දරුවට ලොකු වෙනසක් දැනෙන්න ඉඩ තියන්න එපා. පදිංචිය වෙනස් නොකර සුපුරුදු විදිහට වැඩකටයුතු කරගෙන ගියොත් ඒක දරුවන්ගේ මානසිකත්වයට හොඳයි. හැබැයි වැදගත්ම දේ තමයි බයිබල් කියවීම හා පවුලක් විදිහට කරන නමස්කාර කටයුතු දිගටම කරන එක.—ද්විතීය කතාව 6:6-9.

මෙහෙම කරලා බලන්න: ඔයා දරුවන්ට කොච්චර ආදරේද කියලත් දික්කසාද වෙන්න හේතුව එයාලා නෙමෙයි කියලත් මේ සතියේ කවදා හරි දවසක දරුවන්ට කියන්න. දරුවන් අහන ප්‍රශ්නවලට උත්තර දුන්නත් දික්කසාද වුණු කෙනාගේ වැරදි කියන්න එපා.

දික්කසාදය නිසා ජීවිතය අසාර්ථකයි කියලා හිතන්න එපා. අවුරුදු 16ක් විවාහ වෙලා හිටිය මෙලිසා කිව්වේ මෙහෙමයි. “දික්කසාද වුණු මුල් කාලේ මට හිතුණේ ‘මම ප්‍රාර්ථනා කරපු ජීවිතේ මේක නෙමෙයි කියලා.’ හැබැයි අතීතය ගැන හිතහිත ඉන්න එක නතර කළාට පස්සේ මම දැන් ඉන්නේ සතුටින්.”

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 18 ඡේ. සහකරුට හෝ සහකාරියට ද්‍රෝහි වෙලා තමන්ගේ ආශාවන් ඉටු කරගන්න දික්කසාද වෙන එක දෙවියන් හෙළාදකිනවා. හැබැයි අනාචාරයේ යෙදෙන කෙනාව දික්කසාද කරනවද නැද්ද කියලා තීරණය කරන්න අයිතිය දෙවියන් නිර්දෝෂ කෙනාට දීලා තියෙනවා. (මලාකි 2:16; මතෙව් 19:9) වැඩි විස්තර දැනගන්න 1994 මැයි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 28-29 පිටු බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

මේ ගැන හිතන්න

  • දික්කසාදේ නිසා දැනෙන දුක පිට කරන්න මං කාලය ගන්නවාද?

  • දික්කසාද වුණු කෙනා ගැන තියෙන තරහ නැති කරගන්න පුළුවන් කොහොමද?