Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

කීකරු වෙන්න උගන්වන්න

කීකරු වෙන්න උගන්වන්න

ප්‍රශ්නය

ඔබේ දරුවට වයස අවුරුදු 4යි. එයාව පාලනය කරගන්න හරිම අමාරුයි.

  • ඔබ දරුවාට මොනවා හරි කරන්න කිව්වොත් එයා ඒක ගණන් ගන්නේ නැහැ.

  • දරුවා කැමති දේකට ඔබ අකමැති වුණොත් දරුවා එයාට ඕන දේ ලැබෙන කල් ලොකු පෙරළියක් කරනවා.

‘දරුවා ටිකක් ලොකු වෙද්දී ඒක මඟහැරිලා යයි’ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඒක හරිද?

පොඩි කාලේ ඉඳන්ම කීකරු වෙන්න දරුවාට උගන්වන්න ඔබට පුළුවන්. ඒ ගැන සාකච්ඡා කරන්න කලින් දරුවා ඒ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා අපි බලමු.

ඇයි එහෙම වෙන්නේ?

බිලිඳු කාලයේදී ඔබ දරුවා වෙනුවෙන් ගොඩක් වෙහෙසිලා වැඩ කළා. පුංචි කෙඳිරියක් ඇහුණු ගමන්ම ඔබ දරුවා ළඟට දුවගෙන ගිහින් අවශ්‍ය දේ හොයලා බැලුවා. බිළිඳු අවධියේදී නම් දරුවෙක්ට ඒ වගේ අවධානයක් සැලකිල්ලක් දෙන්නම ඕනේ.

මේ විදිහට දෙමව්පියන්ගේ අවධානය ලැබෙන නිසා කල් යද්දී, මමයි ගෙදර රජා දෙමව්පියන් ඉන්නේ මට ආවතේව කරන්න කියලා දරුවාට හිතෙයි. ඒත් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ දරුවාට වෙනවා තමන්ට ඕන විදිහට නෙමෙයි දෙමව්පියන්ට ඕන විදිහට වැඩ කරන්න. මේ වෙනස දරාගන්න දරුවාට ලේසි නැහැ. ඒ නිසයි තමන් අකමැති දෙයක් කරන්න කියලා දෙමව්පියන් කිව්වම බිම පෙරළිලා අඬලා විරුද්ධත්වය පෙන්වන්නේ.

මේ වෙලාවේදී තමයි දෙමව්පියන් හැටියට ඔබට තියෙන බලතල පාවිච්චි කරන්න ඕනේ. දරුවා වැඩ කරන්න ඕන දෙමව්පියන් කියන විදිහටයි කියලා දරුවාට දැනෙන්න සලස්වන්න. ඒත් මුලින් කියපු විදිහට දරුවා දෙමව්පියන් කියන දේ අහන්නේ නැත්නම් මොනවද කරන්න පුළුවන්?

මොනවද කරන්න පුළුවන්?

පාලනය අතට ගන්න. දරුවන්ව පාලනය කරන්න අයිතිය තියෙන්නේ ඔබටයි කියලා පෙන්වන්න. ඔබ ක්‍රියා කරන විදිහෙන් ඒක පෙන්නුවේ නැත්නම් දරුවන්ට ඒක තේරුම්ගන්න අමාරුයි. මෑත කාලවලදී ප්‍රවීණයන් කියන අය දරුවන්ව හික්මවන එක ගැන කතා කරද්දී “බලතල” කියන වචනය පවා පාවිච්චි කරන්න සුදුසු නැහැයි කියලා කිව්වා. ඒත් දරුවාට ඕන ඕන දේ කරන්න ඉඩ හැරියොත් හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා දරුවාට තේරුම්ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඕනම දෙයක් කරන්න අයිතිය තියෙනවා කියන හැඟීම දරුවාට ඇති වෙයි. වැඩිහිටියෙක් වුණාමත් දරුවා ඒ විදිහට වැඩ කරන්න පෙලඹෙයි.හිතෝපදේශ 29:15 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හික්මවන්න. ශබ්දකෝෂයක “හික්මවීම” නිර්වචනය කරලා තියෙන්නේ මෙහෙමයි. “කීකරු වෙන්න හා තමාවම පාලනය කරගන්න දෙන පුහුණුවක්. ඒ පුහුණුවට නීති වගේම දඬුවම්ද ඇතුළත්.” ඒත් දරුවෙක්ව ඕනෑවට වඩා දරුණු විදිහට හික්මවන්න හොඳ නැහැ. අනිත් අතට වරද හදාගන්න කිසිම පෙලඹීමක් ඇති නොවන තරමට දඬුවම ලිහිල් වෙන්නත් හොඳ නැහැ.හිතෝපදේශ 23:13 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

පැහැදිලිව කියන්න. දරුවන්ට අණ දෙන එක වැරදියි කියලා සමහර දෙමව්පියන් හිතනවා. උදාහරණයකට “කාමරේ අස් කරන්න” කියලා කියනවා වෙනුවට “ඔයාට පුළුවන්ද කාමරේ අස් කරගන්න” කියලා ඔවුන් දරුවාගෙන් අහනවා. දරුවෙක්ට එහෙම බැගෑපත් වුණාම දෙමව්පියන් කියන දේ කරනවාද නැද්ද කියලා තීරණය කරන්න තමන්ටත් අයිතියක් තියෙනවා කියලා දරුවාට හිතෙයි. ඒ නිසා ඔබට තියෙන බලතල දරුවා ඉදිරියේ හෑල්ලුවට ලක් නොකර යම් දේවල් ගැන කතා කරද්දී කරන්න ඕන දේ පැහැදිලිව එයාට කියන්න.—1 කොරින්ති 14:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

වචනය වෙනස් කරන්න එපා. යම් දෙයක් එපා කියලා කිව්වොත් ඒ වචනෙට ඇලිලා ඉන්න. ඒ වගේම තාත්තාගෙයි අම්මාගෙයි තීරණය එකයි කියලා දරුවාට දැනෙන්න සලස්වන්න. දරුවා වැරදි කළාම යම් දඬුවමක් දෙන්න තීරණය කරලා තියෙනවා නම් ඒ තීරණය වෙනස් කරන්න එපා. ඒ ගැන දරුවාත් එක්ක වාද කරන්නවත් ඒ තීරණය ගත්තේ ඇයි කියලා එයාට කියකියා ඉන්නවත් ඕන නැහැ. බයිබලයේ කියන්නෙත් “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්” කියලයි.—යාකොබ් 5:12.

ආදරය පෙන්වන්න. පවුලක් කියන්නේ තද නීති දාන තැනක්වත් ඕනෑවට වඩා ලිහිල් නීති දාන තැනක්වත් නෙමෙයි. පවුලක් කියන්නේ දෙවියන් ඇති කරපු සැලැස්මක්. දරුවෙක්ව යහපත් වැඩිහිටියෙක් බවට පත් කරන්න ඒ මගින් පුළුවන් වෙනවා. ඔබ දරුවාව ආදරයෙන් හික්මවද්දී කීකරු වෙන්නත් පවුල කියන්නේ සෙනෙහස, රැකවරණය තියෙන තැනක් කියලා තේරුම්ගන්නත් දරුවාට පුළුවන් වෙයි.