Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

හිසට සෙවණක් නැති අයට බලාපොරොත්තුවක්!

හිසට සෙවණක් නැති අයට බලාපොරොත්තුවක්!

ජෝ ඇමරිකාවේ හමුදාවේ සේවය කළ කෙනෙක්. ඔහු මුහුණ දුන් කනගාටුදායක සිදුවීම් නිසා අවුරුදු 18ක්ම ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. කාලයක් පුස්තකාලයට යන්න පුරුදු වෙලා හිටිය ඔහුට පුස්තකාලය භාරව හිටපු කාන්තාවක් එක්ක කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. ඔහුගේ ජීවිතය වෙනස් කළේ ඒ කතාබහයි.

මාර්ටින් ආර්ජන්ටිනාවේ ජීවත් වන තරුණයෙක්. ඔහුට ජීවිතයේ ලොකු හිස්කමක් දැනුණා. ජීවිතයේ හරය හොයන්න හිතපු ඔහු ගෙදරින් ගිහින් මුහුදු වෙරළක ජීවත් වෙන්න පටන්ගත්තා. ඒත් ඔහු හොයපු දේ ලැබුණේ නැති නිසා ඔහු තව තවත් මානසිකව වැටුණා. දවසක් ඔහු හැඬූ කඳුලින් දෙවියන්ට මෙහෙම කන්නලව් කළා. “දෙවියනේ ඔබ ඉන්නවා නම් ඔබ ගැන දැනගන්න මට උදව් කරන්න.” ඔහුට උත්තර ලැබුණාද?

ජෝට වගේ සමහර අයට ඉන්න හිටින්න තැනක් නැති වෙන්නේ ඔවුන් මුහුණු දෙන කනගාටුදායක සිදුවීම් නිසයි. තවත් අය මාර්ටින් වගේ ගෙවල් අත්හැරලා යන්නේ ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ජීවිතයේ හරය හොයන්න හිතාගෙනයි. ඒත් ගොඩක් අයට ඉන්න හිටින්න තැනක් නැත්තේ දුප්පත්කම, ස්වාභාවික විපත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මානසික රෝග, රැකියා අහිමි වීම හෝ නිවසක් හදාගන්න වත්කමක් නැතිකම නිසයි.

කලින් හිතුවේ නිවාස ප්‍රශ්න තියෙන්නේ, දියුණු වෙමින් පවතින රටවල්වල එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න හා යුද්ධ තියෙන රටවල්වල කියලයි. ඒත් දැන් “දියුණු රටවල්වල පවා නිවාස ප්‍රශ්න තියෙනවා” කියලා එක් මහාචාර්යවරයෙක් කිව්වා. * ඒකට හේතුව අඩු ආදායම් ලබන අයට රජයෙන් සහන ලබාගැනීමට අපහසු වීම සහ ආදායම් පරතරය වැඩි වීමයි.

හුඟදෙනෙක් හෙට දවස ගැන හිතලා කනස්සලු වෙනවා. ඒත් අනාගතය ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන අයට කනස්සල්ල අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අද පවතින දුක් කරදර, ආර්ථික ප්‍රශ්න වගේ දේවල්වලින් යටපත් නොවී හොඳ මානසිකත්වයක් තියා ගන්නත් අපිට බයිබල් ප්‍රතිපත්ති උදව් වෙනවා. ජෝ සහ මාර්ටින්ගේ ජීවිතවලිනුත් අපිට ඒක දැකගන්න පුළුවන්.

ජීවිතය වෙනස් වුණු අයුරු

“ජෝ බුද්ධිමත් නිහතමානී කෙනෙක් කියලා මට තේරුණා” කියලා පුස්තකාලයේදී ඔහුට හම්බ වුණු කාන්තාව වන සින්ඩි කිව්වා. ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නිසා ජෝට ‘මුරටැඹ’ ‘පිබිදෙව්!’ සඟරා දුන්නා. දවසක් ඇය සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලත් ජෝට කිව්වා. රැස්වීමට ගිය වෙලාවේ හැමෝම ඔහුව කාරුණිකව හා ගෞරවයෙන් පිළිගත්ත නිසා ඔහු දිගටම රැස්වීම් ගියා. ඊටපස්සේ ඔහු සභාවේ සහෝදරයෙක් එක්ක බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.

බයිබලය ඉගෙනගත්ත නිසා ජෝට අනිත් අයගේ ගෞරවය ලැබුණා

ඉගෙනගත්ත දේවල් හිතට කාවැදුණු නිසා ජෝ ජීවිතයේ යම් යම් වෙනස්කම් කරන්න පෙලඹුණා. සමහර වෙනස්කම් කරන එක අමාරු වුණත් ඔහු ඒවා කළා. උදාහරණයකට “ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු” කියලා 2 කොරින්ති 7:1 සඳහන් වෙන ප්‍රතිපත්තියට අනුව ඔහු දුම් පානය කරන එක නතර කළා. එහෙම කළේ ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක් කියලත් දුම්පානය කරන එක ජීවිතයට හානිකර දෙයක් කියලත් ඔහු තේරුම්ගත්ත නිසයි. (ගීතාවලිය 36:9) ඒ තීරණය නිසා ඔහුගේ ශරීර සෞඛ්‍යයට හොඳක් වුණා වගේම මුදල් නාස්තියත් අඩු වුණා.

තමන්ට අවශ්‍ය දේවල් හොයාගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියලා බයිබලයෙන් ඉගෙනගත්ත නිසා ඔහු රැකියාවක් හොයන්නත් පටන්ගත්තා. * (1 තෙසලෝනික 4:11, 12) බයිබලයේ දේශනාකාරයා 2:24 මෙහෙම කියනවා. ‘මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් නැත.’ ඇත්තෙන්ම වෙහෙස මහන්සි වෙලා අපිට අවශ්‍ය දේවල් ලබාගද්දී අනිත් අයගේ ගෞරවය ලැබෙනවා. ඒක සතුටට හේතුවක්. ඒ වගේම අඟ හිඟකම් තියෙන අයට යමක් දෙන්නත් අපිට පුළුවන් වෙනවා.—එෆීස 4:28.

ජෝගේ වෙනස දැකලා සභාවේ අය ඔහුට උදව් කරන්න පෙලඹුණා. සින්ඩි ඒ ගැන කිව්වේ මෙහෙමයි. “රජයෙන් නිවසක් හා වෙනත් පහසුකම් ලබාගන්න ඔහුට සුදුසුකම් තිබුණු නිසා ඒවා ලබාගන්න සභාවේ අය ඔහුට උදව් කළා.” දිගටම බයිබලය පාඩම් කළ ජෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. දෙවියන් දෙන ප්‍රඥාවෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැන් ඔහුට තමන්ගේ අද්දැකීමෙන්ම අනිත් අයට කියලා දෙන්න පුළුවන්.—හිතෝපදේශ 3:13, 14.

ජීවිතයේ හරය තේරුම්ගත්තා

මාටින් ජීවිතයේ හරය හොයන්න පටන්ගත්තේ අවුරුදු 20දීයි. ඔහු මෙහෙම කිව්වා. “මම ආගම් ගැන, දර්ශනවාදී අදහස් ගැන හොයලා බැලුවා. මත්ද්‍රව්‍යත් පාවිච්චි කළා. ඒත් ඒ එකකින්වත් මට දැනුණු හිස්කම මැකුණේ නැහැ.” ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජීවත් වුණු ඔහු ටික කාලයකින් හවායිවලට ගියා. අවට පරිසරය දැක්කම ඔහුට හැඟුණු විදිහ ගැන මෙහෙම කිව්වා. “මම හිතුවේ මම පාරාදීසයට ගියා කියලයි.” ඒත් ඔහුට දැනුණු හිස්කම නැති වුණේ නැහැ. “මට කොච්චර මානසික පීඩනයක් දැනුණාද කියනවා නම් දවසක් මං ජීවිතය නැති කරගන්නත් හිතුවා” කියලා ඔහු කියනවා. එදා තමයි ඔහු “දෙවියනේ ඔබ ඉන්නවා නම් ඔබ ගැන දැනගන්න මට උදව් කරන්න” කියලා දෙවියන්ට කන්නලව් කරලා තිබුණේ.

මාටින්ට දැන් ජීවිතය ගැන බලාපොරොත්තුවක් තියෙනවා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානය” කියලා ගහලා තිබුණු තැනක් ගැන ඔහුට මතක් වුණා. එතනට ගිහින් බලන්න තීරණය කළ ඔහු එදා සිදු වුණු දේ ගැන මෙහෙම කියනවා. “මං එතනට යද්දී මගේ කොණ්ඩෙයි රැවුලයි හොඳටම වැවිලා තිබුණේ. මං එදා ඇඳගෙන හිටියෙත් මාස ගාණක් තිස්සේ ඇඳගෙන හිටපු ඇඳුම. ඒත් එතන හිටපු අය ගොඩක් ආදරෙන් මාව පිළිගත්තා.” එදා ඉඳන් මාටින් බයිබලය සාකච්ඡා කරන්නත් කැමති වුණා.

මාටින් ඔහුගේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගත්තා. ඒ නිසා ඔහුට තිබුණු මානසික පීඩනයත් නැති වුණා. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලා යේසුස් කියපු දේ කොච්චර ඇත්තක්ද කියලා මාටින් තමන්ගේ ජීවිතෙන්ම අද්දැක්කා.—මතෙව් 5:3.

‘මගේ වෙනස දැක්කම මිනිස්සු පුදුම වෙනවා’

බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගනිද්දී ජෝ වගේ මාටිනුත් එයාගේ ජීවිතය වෙනස් කරගත්තා. ඔහු තමන්ගේ පෙනුම ගැනත් ඉස්සරට වඩා සැලකිලිමත් වුණා. ඒ විතරක් නෙමෙයි රස්සාවක් හා ඉන්න තැනක් හොයාගන්න මාටින් උත්සාහ කරද්දී සභාවේ අයත් ඒකට ඔහුට උදව් කළා. මාටින් මෙහෙම කියනවා. “කලින් මිනිස්සු මාව දැක්කේ ඉන්න හිටින්න තැනක් නැති කෙනෙක් විදිහට. ඒත් දැන් මගේ වෙනස දැක්කම ඒ අය පුදුම වෙනවා.”

කාලයකට පස්සේ නැවතත් ආර්ජන්ටිනාවට ගිය මාටින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. ජීවිතයේ හරය හොයන අයට බයිබලයෙන් ඒ ගැන කියලා දෙන්න පුළුවන් වෙලා තියෙන එක ගැන දැන් ඔහු ගොඩක් සතුටු වෙනවා.

අනාගතය ගැන බලාපොරොත්තුවක්

යෙරෙමියා කියන්නේ අතීතයේදී දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු කෙනෙක්. සතුරන් ඇවිත් ඔහු ජීවත් වුණු ප්‍රදේශය යටත් කරගෙන එහි හිටිය අයව වහලුන් හැටියට අරන් ගියා. (විලාප ගී 1:3) යෙරෙමියාව වහලෙක් විදිහට ගෙනිච්චෙ නැතත් ඔහුට තිබුණු හැම දෙයක්ම වගේ අහිමි වුණා. ඒ නිසා ඔහු දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා. “ඉන්න හිටින්න තැනක් නැතුව මා අසරණ වී සිටින බව සිහි කරන්න.”—විලාප ගී 3:19.

ඔහු මොන තරම් දුක් පීඩා වින්දත් ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැරියේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් ඔහුව අත්හරින්නේ නැහැ කියන විශ්වාසය ඔහුට තිබුණා. (යෙරෙමියා 1:8) ඒ වගේම ඔහු දේවවචනය හොඳින් අධ්‍යයනය කළ කෙනෙක් නිසා දුක් කරදර නැති වෙලා සාමය හා සුරක්ෂිතභාවය තියෙන කාලයක් එනවා කියලා ඔහු දැනගෙන හිටියා.—ගීතාවලිය 37:10, 11.

ඒ හැම දෙයක්ම වෙන්නේ මිනිස් පාලනයක් මාර්ගයෙන් නෙමෙයි දේවපාලනයක් මාර්ගයෙනුයි. (දානියෙල් 7:13, 14) ඒ දේවරාජ්‍යයේ රජ යේසුස් ක්‍රිස්තුස්. ඔහු පොළොවේ හිටිය කාලයේදී දිලිඳු අයට හුඟක් කරුණාවන්තව සැලකුවා. (ලූක් 7:22; 14:13) ඔහුගේ පාලනය යටතේදී “ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. . . . බොහෝ සමාදානය තිබෙන්නේය. මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 72:7, 12, 14.

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය.”—යෙසායා 65:21

යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී වැඩියෙන්ම කතා කළේ දේවරාජ්‍යය ගැනයි. (ලූක් 4:43) “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා යාච්ඤා කරන කියලත් ඔහු කිව්වා. (මතෙව් 6:9, 10) දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී එහි යටත්වැසියන්ට මේ පොළොවේ මොන වගේ තත්වයක් තියෙයිද? ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා.

  • “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. . . . මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”—යෙසායා 65:21, 22.

  • “එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත. මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”—මීකා 4:4.

ප්‍රශ්න ගැටලු දරාගන්න ඒ බලාපොරොත්තුව අපිට ශක්තියක් වෙයි. ජෝ, මාටින් හා තවත් අය වගේ දැන් පවා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් මෙහෙම පොරොන්දු වෙනවා. “මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය.” (හිතෝපදේශ 1:33) ඒ වචනවල සත්‍යතාව ඔබටත් අද්දකින්න ලැබේවා!

^ 6 ඡේ. විවිධ හේතු නිසා ඇති වෙන ගැටුම්, ප්‍රචණ්ඩත්වය හා විවිධ පීඩාකාරී තත්වයන් නිසා බොහෝදෙනෙක් තමන්ගේ රටේ හෝ වෙනත් රටක සරණාගතයින් විදිහට ජීවත් වෙනවා.

^ 11 ඡේ. රැකියාවක් කරන්න උවමනාව තිබුණත් ආබාධයක්, අසනීපයක් හෝ මහලු වයස නිසා සමහරුන්ට එහෙම කරන්න බැහැ. ඒත් වැඩ කරන්න පුළුවන්කම තියෙද්දී “වැඩ කරන්න අකමැති” අය ගැන දෙවියන් සතුටු වෙන්නේ නැහැ.—2 තෙසලෝනික 3:10.