Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?

ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?

අනුන්ට යහපතක් කරන්න තරම් අද කාරුණික වෙන්නේ කීයෙන් කී දෙනාද? මිනිස්සු එළිපිටම වංචා කරනවා. වාහන පදවන්නේ පාර තමන්ගේ කියලා හිතාගෙන. පොඩ්ඩ බැරි වෙද්දී කෑ කෝ ගහනවා. මේ හැම දේකින්ම තේරෙන්නේ වැඩිදෙනෙක් තමන් ගැන විතරක් හිතනවා කියලයි.

“මම, මම, මම, හැම වෙලේම හිතන්නේ තමන් ගැනමයි.” මේ ආකල්පය අද ගෙදරටත් රිංගලා. උදාහරණෙකට ‘මීට වඩා සැලකුම් ලබන්න මං වටිනවා’ කියලා හිතන සමහරු දික්කසාද වෙනවා. හික්මවීමක් නොදී හිතුමතේට වැඩ කරන්න දරුවන්ට ඉඩ දෙන දෙමව්පියෝ ඒ හිත්වල නොදැනුවත්වම ආත්මාර්ථකාමී ආකල්ප ඇති කරනවා.

හැබැයි අනිත් අය ගැන හිතන්න දරුවන්ව පුහුණු කරන දෙමව්පියොත් ඉන්නවා. එහෙම පුහුණු වෙන දරුවෝ හොඳ යාළුවන් ඇති කරගෙන ඒ යාළුකම් දිගටම පවත්වාගන්න හපන්නු. තියෙන දෙයින් සතුටු වෙන්නත් එයාලා දන්නවා. මොකද “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා බයිබලේ කියනවනේ.—ක්‍රියා 20:35.

අනිත් අයගේ යහපත ගැන හිතලා වැඩ කරන එකෙන් හොඳක් වෙන්නේ දරුවාටමයි. එහෙම කරන්න දරුවට උදව් කරන්න ඕනේ. හැබැයි ඊට කලින්, තමන් ගැන විතරක් හිතන්න දරුවන් පෙලඹෙන හේතු තේරුම්ගන්න ඕනේ. ඒ වගේ හේතු තුනක් ගැනත් ඒවායින් දරුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලත් අපි බලමු.

1 ඕනාවට වඩා ප්‍රශංසා කිරීම

ගැටලුව: පර්යේෂකයන් කියන විදිහට රැකියාවලට බැඳෙන තරුණ උදවිය දැන් අලුත්ම ආරෙකට හැඩගැහිලා. සමහර තරුණයන් රැකියාවට බැඳෙන්නේ ආයතනය වෙනුවෙන් කිසිම දෙයක් කරන්නත් කලින් ලොකු වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. තවත් අය තමන්ට පවරලා තියෙන වැඩේ නිපුණ වෙන්නත් කලින් උසස් වීම් ලැබෙයි කියලා හිතනවා. විශේෂ සැලකිල්ලක් ලැබිය යුතුයි කියලා හිතන කොටසකුත් ඉන්නවා. ඒක නොලැබුණාම එයාලා මානසිකව වැටෙනවා.

ගැටලුවට හේතුව: දරුවෙක් මොන වගේ කෙනෙක් වෙයිද කියන එක හුඟක් වෙලාවට රඳා පවතින්නේ දෙමව්පියෝ එයාව හදන විදිහ අනුවයි. උදාහරණෙකට දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න සමාජය අන්තයටම යනවා. දෙමාපියනුත් ඒකට අහුවෙලා. ඒ දෙමාපියන් හිතන්නේ ‘දරුවන්ව ප්‍රශංසා කරන එකෙන් සෙතක් වෙනවා නම් වැඩියෙන් ප්‍රශංසා කරන එක ඊට වඩා හොඳයි’ කියලා. දරුවට ඕන ඕන විදිහට දේවල් කරන්න ඉඩ නොදුන්නොත් එයා මානසිකව වැටෙනවා කියලත් දෙමව්පියෝ හිතනවා. එහෙම හිතන්නැති දෙමව්පියෝ දරුවන්ගේ සුබ සිද්ධිය ගැන තකන්නැති අය විදිහටයි සමාජය සලකන්නේ. දරුවෙක් වරදක් කළාම එයා වරදක් කළා කියන හැඟීම දෙන්න හොඳ නැහැ කියන එකත් සමාජයේ මතයක්.

දරුවා ප්‍රශංසාව ලබන්න තරම් දෙයක් කරලා නැති වුණත් එයා කරන හැම දේකටම සමහර දෙමව්පියෝ ප්‍රශංසා කරනවා. අනිත් අතට ළමයා ලොකු වරදක් කළත් ඒක ගණන් ගන්නේ නැහැ. එහෙම කළාම දරුවගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න පුළුවන් කියලා එයාලා හිතනවා. තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න නම් මහන්සි වෙලා හරි දේ කරන්න ඕනේ කියන එක උගන්වනවා වෙනුවට දෙමව්පියන් කරන්නේ ළමයින්ව මුරුංගා අත්තේ තියන එකයි.

බයිබලයේ දෙන උපදෙස: කෙනෙක්ට ප්‍රශංසා කරන්න ඕනේ ඒක ලබන්න සුදුසු අවස්ථාවේදී විතරයි කියලා බයිබලයේ කියනවා. (මතෙව් 25:19-21) දරුවාව අනවශ්‍ය විදිහට ප්‍රශංසා කරන එකෙන් වෙන්නේ ‘මං තරම් කෙනෙක් නෑ’ කියන ආකල්පය එයාගේ හිතේ වැඩෙන එකයි. ඒකෙන් වෙන දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “කෙනෙක් තමා ඉතා වැදගත් කෙනෙක් කියා සිතනවා නම් ඔහු රවටාගන්නේ තමාවමය. මන්ද ඔහු තුළ කිසිවක් නැත.” (ගලාති 6:3) ඒ නිසා බයිබලයේ දෙමව්පියන්ට කියන්නේ “දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න. වේවැලකින් ඔහුට පහරක් ගැසූ පමණින් ඔහු මැරෙන්නේ නැත.” *හිතෝපදේශ 23:13.

යෝජනා: ප්‍රශංසාව ලබන්න ඕනෙ වෙලාවෙදි විතරක් ප්‍රශංසා කරන්න. හැබැයි හික්මවන්න ඕනෙ වෙලාවට හික්මවන්න. සතුටු කරන්න කියලා දරුවව බොරුවට ප්‍රශංසා කරන්න එපා. ඒකෙන් ළමයට හොඳක් වෙන්නේ නැහැ. “දරුවා තුළ සැබෑ ආත්ම විශ්වාසය ඇති වෙන්නේ අලුත් දේවල් ඉගෙනගෙන හැකියාවන් ටිකෙන් ටික වර්ධනය කරගැනීමෙන් මිස පොඩි කාලේ ඉඳන් ඔහුව බොරුවට වර්ණනා කිරීමෙන් නෙමෙයි” කියලා පොතක සඳහන් වුණා.—Generation Me.

‘තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න.’—රෝම 12:3.

2 ඕනාවට වඩා ආරක්ෂා කිරීම

ගැටලුව: පාසැල් ජීවිතය අවසන් කර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න හුඟක් තරුණයන් අභියෝගවලට මූණ දෙන්න සූදානම් නැහැ. සමහර අයට පුංචි අඩුපාඩුවක් පෙන්නුවත් හිත රිදෙනවා, දරාගන්න බැහැ. තවත් අය ලේසියෙන් සෑහීමට පත් වෙන්නැති නිසා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම නොලැබෙන රැකියා බාරගන්න කැමති නැහැ. ආචාර්ය ජොසෆ් ඇලන් පොතක මෙහෙම සඳහන් කළා. “මේ ජොබ් එකේ සමහර වැඩ හෙණ කම්මැලියි. මට මේක හරියන්නෑ කියලා සම්මුඛ සාකච්ඡාවකට ආපු තරුණයෙක් කිව්වා. ඕනෙම රස්සාවක ඒ වගේ වැඩ තියෙනවා. ඒ තරුණයා අවුරුදු 23ක් වෙලත් ඒක තාම දන්නෑ.”—Escaping the Endless Adolescence.

ගැටලුවට හේතුව: හුඟක් දෙමව්පියෝ ‘ජීවිතේ දුක මොකක්ද’ කියලා දරුවන්ට ඉගෙනගන්න අවස්ථාවක් දෙන්නෑ. ඒ වෙනුවට ඕනාවට වඩා දරුවන්ව ආරක්ෂා කරනවා. උදාහරණයකට දුව විභාගේ ෆේල් වුණාම බනින්නේ ටීචර්ට. පුතා ලයිසන් නැතුව වාහන එළවලා දඩ කාපුවහම දඩේ ගෙවන්නේ තාත්තා. පුතාගෙ හරි දුවගෙ හරි ප්‍රේම සම්බන්ධෙ කැඩුණම වැරදිකාරයා යාළුවෙලා හිටිය ළමයා.

දරුවෙක් දුකෙන් ඉන්නවා දකින්න කිසිම අම්මෙක් තාත්තෙක් කැමති නැහැ. හැබැයි එහෙම කියලා දරුවාව ඕනෑවට වඩා ආරක්ෂා කරන්න ගියොත් වෙන්නේ කිසිම දේක බරක් පතළක් නැති තමන් කරන කිසි දේකට වගකීම බාරගන්නැති වැඩිහිටියෙක් සමාජෙට බිහි වෙන එකයි. ඒ වගේ දරුවන් “ප්‍රශ්න ගැටළු එද්දිත් බලාපොරොත්තු කඩ වෙද්දිත් ජීවිතය ජය ගන්න ඉන් පාඩමක් ඉගෙනගන්නවා වෙනුවට ආත්මාර්ථකාමී වැඩිහිටියන් වෙනවා. තමන් ගහන ගහන පදේට හැමෝම නටන්න ඕනේ කියලා එයාලා හිතනවා.” එහෙම කියලා තිබුණේ යෞවනයන් ගැන ලියවුණු පොතක.—Positive Discipline for Teenagers.

බයිබලයේ දෙන උපදෙස: කවදාහරි දවසක අපි හැමෝටම ප්‍රශ්න ගැටළුවලට මූණ දෙන්න වෙනවා. ඕනෑම කෙනෙක් “බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ” කියලා බයිබලයෙත් කියනවා. (ධර්මදේශකයා 9:12, නව අනුවාදය) උදාහරණෙකට දෙවියන්ට සේවය කළ පාවුල් කටුක අද්දැකීම්වලට මුහුණ දුන්නා. ඒවා ජීවිතේට ප්‍රයෝජනවත් වුණ හින්දා ඔහු මෙහෙම කිව්වා. ‘මම කවර තත්වයක සිටියත් ඉන් සෑහීමට පත් වීමට ඉගෙනගෙන සිටිමි. මා තෘප්තිමත්ව සිටියත් කුසගින්නෙන් සිටියත් බොහෝ දේවල් ඇතුව සිටියත් අගහිඟකම්වලින් පෙළුණත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි.’—ෆිලිප්පි 4:11, 12.

යෝජනා: “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි” කියලා බයිබලයේ කියනවා. (ගලාති 6:5) දරුවා වගකීමෙන් වැඩ කරනවා නම් ඒකෙන් තේරෙන්නේ එයා අවබෝධයෙන් වැඩ කරනවා කියලයි. එහෙම කරන්න දරුවාට උදව් කරන්න. දුව විභාගේ ෆේල් වුණාම ඊළඟ පාර මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ කියන එක දුවටම තේරුම්ගන්න ඉඩහරින්න. පුතා ලයිසන් නැතුව වාහන එළවලා දඩ කාපුවහම හොඳම දේ දඩේ ගෙවන්න එයාටම ඉඩහරින එකයි. පුතාගෙ හරි දුවගෙ හරි ප්‍රේම සම්බන්ධෙ කැඩුණම එයාව සනසවන්න. හැබැයි සුදුසු වෙලාවක් බලලා එයාගේ පැත්තෙන් මොකක් හරි අඩුවක් වුණාද කියලා හිතලා බලන්න දරුවට උදව් කරන්න. මේ විදිහට තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගන්න දරුවට ඉඩහැරියම එයා තුළ ආත්ම විශ්වාසය වගේම ආත්ම ශක්තියත් ගොඩනැඟෙනවා. ඒත් දරුවාව ඕනාවට වඩා කොටු කරන්න ගියොත් වෙන්නේ ඒ හොඳ ගති දරුවට අහිමි වෙන එකයි.

“සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන.”—ගලාති 6:4.

3 ඉල්ලන ඉල්ලන දේ දීම

ගැටලුව: සමීක්ෂණයකින් හෙළි වුණේ තරුණ අයගෙන් අනිත් අයට උදව් කරන්න කැමැත්තෙන් හිටියේ සුළු ප්‍රතිශතයක් විතරක් කියලයි. ඒත් සියයට 81ක්ම කිව්වේ හුඟදෙනෙක්ගේ එකම බලාපොරොත්තුව ‘පොහොසත් වීම’ කියලයි. අද ඉන්න හුඟක් තරුණ අය තමන් ගැන විතරක් හිතනවා කියලා ඒකෙන් පැහැදිලියි. සල්ලි පස්සේ යන අය හුඟක් වෙලාවට ඉන්නේ කනස්සල්ලෙන් කියලත් ඒ වගේ අයට ශාරීරික සහ මානසික ප්‍රශ්න වැඩියි කියලත් පර්යේෂකයන් කියනවා. ඒ කියන්නේ සල්ලිවලින් ජීවිතයේ නියම සතුට ලබාගන්න බැහැ.

ගැටලුවට හේතුව: එක පොතක මෙහෙම සඳහන් වුණා. “ළමයි දකින දකින හැම දෙයක්ම ඉල්ලනවා. අනික් අතට දෙමව්පියන්ට ඕනෙත් ළමයව සතුටින් තියන්න. ඒ නිසා ඉල්ලන හැම දෙයක්ම අරන් දෙනවා. ඒ වෙලාවට ළමයා ඉන්නේ හරිම සතුටින්. ඒත් ටික දවසකට විතරයි. අරන් දුන්න දේ එපා වුණාම තවත් ඉල්ලනවා.”—The Narcissism Epidemic.

දකින දකින හැම දේම ගන්න දරුවන්ට තියෙන ආසාව ගැන වෙළඳ ප්‍රචාරණ ආයතන හොඳින් දන්න නිසා ‘මේ භාණ්ඩේ ඔයාට ඕනෙමයි’ කියන හැඟීම දරුවන්ගේ හිත්වලට කාවද්දනවා. ප්‍රතිඵලයක් හැටියට ඔවුන් ලොකු වුණාම අත්‍යවශ්‍ය නැති දේවල් ගන්න ගිහින් ණයකාරයෝ වෙනවා.

බයිබලයේ දෙන උපදෙස: ජීවත් වෙන්න මුදල් ඕනෙ කියලා බයිබලයෙත් පිළිගන්නවා. (දේශනාකාරයා 7:12) හැබැයි මුදල්වල භයානක පැත්ත ගැන ඒකේ කියන්නේ මේ විදිහටයි. ‘සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.’ (1 තිමෝති 6:10) ඒ නිසා සල්ලි පස්සේ පන්නන්නැතුව තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න කියලා බයිබලයේ අපිට උනන්දු කරනවා.—1 තිමෝති 6:7, 8.

‘පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත. ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගනියි.’—1 තිමෝති 6:9.

යෝජනා: දෙමව්පියෙනි! මිල මුදල්, ධන සම්පත් ගැන ඔයාලට තියෙන ආකල්පය හිතලා බලන්න. මුදල්වලට වඩා වැදගත් දේවල් තියෙනවා කියලා මතක තියාගෙන ඒවට මුල් තැන දෙන්න. ඒක දරුවන්ටත් උගන්වන්න. කලින් සඳහන් කළ පොතේ මේ වගේ දේවල් දරුවන් එක්ක සාකච්ඡා කරන්න දෙමාපියන්ට යෝජනා කරලා තිබුණා. “සේල් එකක බඩු ලාභෙට තිබුණට ඒක මිලදී ගන්න එක මේ වෙලාවේ අත්‍යවශ්‍යද? පොලී අනුපාතයක් කියන්නේ මොකක්ද? වෙන කෙනෙක් බල කරපු නිසා බඩු මුට්ටු ගත්ත අවස්ථා තියෙනවාද?”

ගෙදර දොරේ ප්‍රශ්න, දෙමාපියන් දරුවන් අතර තියෙන ප්‍රශ්න කතා කරලා විසඳගන්නවා වෙනුවට ළමයින්ට එක එක දේවල් අරන් දීලා ප්‍රශ්න වහන්න හදන්න එපා. “ප්‍රශ්නයක් තියනකොට සපත්තු පර්ස් වගේ දේවල් අරන් දෙනවා වෙනුවට බුද්ධිමත්ව පවුලේ එකිනෙකාව තේරුම් අරගෙන ප්‍රශ්න විසඳන එකයි කෙරෙන්න ඕනේ” කියලා පොතක සඳහන් වුණා.—The Price of Privilege.

^ 11 ඡේ. දරුවන්ට මානසික හා ශාරීරික වධ හිංසා දීම බයිබලය අනුමත කරන්නේ නැහැ. (එෆීස 4:29, 31; 6:4) දරුවෙක්ව හික්මවීමේ අරමුණ, දරුවාට යමක් ඉගැන්වීම මිස දෙමව්පියන්ගේ කේන්තිය ඔහු පිටින් යැවීම නෙමෙයි.