Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

ප්‍රශ්නය

බබාට කේන්ති ගියාම යටි ගිරියෙන් කෑගහනවා. බෙරිහන් දෙනවා. බිම පෙරළි පෙරළි අඬනවා. අඩි හප්පනවා. බඩු විසි කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ‘දරුවට මොකක් හරි ලෙඩක්ද? මගේ මොකක් හරි වරදක්ද? ලොකු වෙද්දි හරි යයිද?’ අම්මා එහෙම හිතනවා.

අම්මේ තාත්තේ, අවුරුදු දෙකක් වෙච්ච ඔබේ දරුවා හැසිරෙන්නෙත් ඒ විදිහටද? එහෙමනම් කලබල වෙන්න එපා. මුලින්ම දරුවා එහෙම හැසිරෙන්නේ ඇයි කියලා තේරුම්ගමු.

ඇයි එහෙම වෙන්නේ?

පොඩි දරුවෙක්ට තේරෙන්නෑ කොහොමද එයාගේ හැඟීම් පාලනය කරගන්නේ කියලා. සමහර වෙලාවට නෑ බෑ කියලා, අඩි හප්පලා කේන්තියෙන් හැසිරෙන්නේ ඒ නිසයි. ඒකට වෙන හේතු බලපාන්නත් පුළුවන්.

ඉපදුණ දවසෙ ඉඳලා දරුවගේ හැම ඕනෑ එපාකමක්ම හොයලා බැලුවෙ අම්මයි තාත්තයි. දරුවා චුට්ටක් අඬපු ගමන් අම්මා දුවං ආවා. ‘බබාට අසනීපයක්වත්ද? බඩගිනි වෙලාද? තෙමා ගෙනද? මදුරුවෙක්වත් කාලද?’ අම්මා හිතුවා. එහෙම කළේ කිරිකැටියට කිසි දෙයක් තනියම කරගන්න බැරි නිසයි. බබාට උදව් ඕනේ. හැබැයි අවුරුදු දෙකක් විතර වෙද්දි බබාගේ ජීවිතේ ලොකු පෙරළියක් වෙනවා.

බබාට හිතෙන්නේ අම්මලා ඉස්සර වගේ එයාව ගණන් ගන්නෑ කියලයි. අම්මලා මුලදි බබාට ඕනෙ දේ කරලා දුන්නත් බබාට දැන් සිද්ධ වෙනවා අම්මලා කියන විදිහට වැඩ කරන්න. හැම දෙයක්ම වෙනස් වෙලා. ඒ වෙනස සතුටින් භාරගන්න බබා කැමති නෑ. ඉතිං තමන්ට ඕනෙ දේවල් කරගන්න බෙරිහන් දීලා ‘සද්දෙ දාන්නෙ’ ඒ නිසයි.

කල් යද්දී දරුවා තේරුම්ගන්නවා අම්මලා තාත්තලා ඉන්නේ එයාව බලාගන්න විතරක් නෙමෙයි එයාව පුහුණු කරන්නත් කියලා. ‘දෙමව්පියන්ට කීකරු වෙන්න’ ඕනෙ කියලත් එයා තේරුම්ගන්න ඉඩ තියෙනවා. (කොලොස්සි 3:20) ඒ වුණත් කොහොමහරි අම්මලට පුළුවන් තරම් වධ දීලා තමන්ට ඕනෙ දේ කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඉඩ තියෙනවා.

මොනවද කරන්න පුළුවන්?

තේරුම්ගන්න. දරුවෙක්ව වැඩිහිටියෙක් විදිහට සලකන්න එපා. දරුවට තේරෙන්නෑ එයාගේ හැඟීම් පාලනය කරගන්න. පොඩ්ඩ එහා මෙහා වෙද්දී කලබල වෙන්නෙ ඒ නිසයි. ටිකක් එයාගේ පැත්තෙනුත් හිතලා බලන්න.—1 කොරින්ති 13:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සන්සුන් වෙන්න. දරුවට කේන්ති ගිය වෙලාවට අම්මලා කේන්ති අරන් පලක් නෑ. හැඟීම්බර වෙන්නත් එපා. දරුවගේ කෑගැහිල්ල පුළුවන් තරම් ගණන් නොගෙන ඉන්න. දරුවා එහෙම හැසිරෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න. එතකොට සන්සුන්ව කටයුතු කරන්න ලේසියි.—හිතෝපදේශ 19:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කියපු විදිහටම කරන්න. දරුවා බෙරිහන් දෙන හින්දා ඉල්ලන දේ දෙන්න ගියොත් ඊළඟ වතාවෙත් මොකක් හරි ඕනෙ වුණාම එයා ඒ විදහටම කරන්න බලයි. ඒ නිසා යමක් දෙන්නෑ කියලා කිව්වොත් දෙන්න එපා.මතෙව් 5:37 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දරුවා එහෙම හැසිරෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න. එතකොට සන්සුන්ව කටයුතු කරන්න ලේසියි

ඉවසන්න. දරුවා කෑගහලා ලබාගන්න හදන දේ, ලැබෙන්නෑ කියලා හැඟෙන්න සැලැස්වුවත් එයාගේ හැසිරීම දවසෙන් දෙකෙන් වෙනස් වෙයි කියලා හිතන්න එපා. හැබැයි ඔබ කියපු විදිහටම කළොත් දරුවා ටිකෙන් ටික වෙනස් වෙයි. කාලයක් ගියාට පස්සෙ එයාගේ ඒ හැසිරීම සම්පූර්ණයෙන්ම නතර වෙයි. ඒ නිසා ඉවසන්න. බයිබලෙත් කියන්නේ “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය” කියලයි.—1 කොරින්ති 13:4.

මේ යෝජනාත් උදව් වෙයි.

  • දරුවා කේන්තියෙන් කෑගහද්දී පුළුවන් නම් දරුවව තදින් අල්ලගන්න. දරුවා අඩි හප්පමින් දඟලද්දී ඒක නවත්වන්න බලන්න. හැබැයි දරුවට රිදෙන්නැති විදිහට. දරුවට කෑගහන්න එපා. දරුවගේ කේන්තිය නිවෙනකම් පොඩ්ඩක් ඉන්න. එතකොට දරුවා අන්තිමේදි තේරුම්ගනියි මං කොච්චර කෑගැහුවත් වැඩක් වෙන්නෑ කියලා.

  • ඒ වගේ වෙලාවට දරුවව ටික වෙලාවකට ආරක්ෂාව තියෙන කාමරයකට දාන්න. හැබැයි සෝදිසියෙන් ඉන්න. එතැනින් එළියට ගන්නේ ‘සද්දෙ’ නතර කළාට පස්සෙ කියලා දරුවට කියන්න.

  • දරුවා කේන්තියෙන් හැසිරෙන්නේ අනිත් අය ඉස්සරහා නම් එයාව එතැනින් අරං යන්න. ලැජ්ජ වෙන්න වෙයි කියලා හිතලා එයා කියන කියන දේ කරන්න එපා. එහෙම කළොත් ඒ විදිහට හැසිරිලා තමන්ට ඕන දේ කරගන්න පුළුවන් කියලා දරුවා හිතයි.