Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

මැවීම

මැවීම

මැවුම්වාදීන් විශ්වාස කරන ආකාරයට මේ ලෝකය දෙවියන් නිර්මාණය කළේ පැය 24ක දවස් හයකින්ද?

“පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”උත්පත්ති 1:1.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපිට සිතාගන්නවත් බැරි කාලයකට ඉහතදී එනම් “පටන්ගැන්මේදී” දෙවියන් විශ්වය නිර්මාණය කළා. (උත්පත්ති 1:1) විශ්වයට ආරම්භයක් තිබෙන බව විද්‍යාවෙන්ද පිළිගන්නවා. විද්‍යාඥයන් කියන්නේ එය ආරම්භ වී දැන් වසර බිලියන 14ක් පමණ ගත වී ඇති බවයි.

නිර්මාණය කිරීමට “දවස්” 6ක් ගත වූ බව බයිබලයේත් සඳහන් වෙනවා. නමුත් ඒවා පැය 24ක දවස් නෙමෙයි. (උත්පත්ති 1:31) බයිබලයේ “දවස” කියන වචනය යොදා තිබෙන්නේ පැය 24ක දවස් හඳුන්වන්න විතරක්ම නෙමෙයි. උදාහරණයකට දෙවියන් සෑම දෙයක්ම නිර්මාණය කිරීමට ගත කළ දවස් හයම හඳුන්වන්නේ “දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස” ලෙසයි. (උත්පත්ති 2:4) එසේ නම් නිර්මාණය කිරීමට ගත වූ එම ‘දවස්වලට’ අවුරුදු දහස් ගණනක් ඇතුළත් වූ බව පැහැදිලියි.—ගීතාවලිය 90:4.

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

මැවුම්වාදීන්ගේ බොරු අදහස් පිළිගත්තොත් බයිබලයේ තියෙන අනිකුත් තොරතුරු ගැනත් ඔබ සැක කරයි. නමුත් මැවීම ගැන බයිබලයේ ඇති වාර්තාව සත්‍යයයි කියා ඔබට විශ්වාසයක් ඇති වුණොත් එදිනෙදා ජීවිතයට බයිබලයේ දී තිබෙන ‘ප්‍රඥාවන්ත’ උපදෙස්වලින්ද ප්‍රයෝජන ගැනීමට ඔබට හැකි වෙයි.—හිතෝපදේශ 3:21.

ජීවීන්ව බිහි කිරීමට දෙවියන් පරිණාමය යොදාගත්තාද?

“පොළොවේ ජීවත් වන පිණිස ඒ ඒ වර්ගයට අනුව බෝ වන ජීවීන්වද මම සාදමි.”උත්පත්ති 1:24.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන් ජීවීන්ව සරල විදිහට සාදා සංකීර්ණ ජීවීන් දක්වා පරිණාමය වීමට සැලැස්වූයේ නැහැ. දෙවියන් නිර්මාණය කළේ එක එක ‘වර්ගවලට’ අයත් සංකීර්ණ ශාක සහ සතුන්. ඒ ශාක සහ සතුන් “ඒ ඒ වර්ගයට අනුව” බෝ වුණා. (උත්පත්ති 1:11, 21, 24) දෙවියන් ආරම්භයේදීම ‘ඒ ඒ වර්ග’ ලෙස නිර්මාණය කළ ශාක සහ සතුන්මයි අදටත් පොළොව පුරාම දකින්න ලැබෙන්නේ.—ගීතාවලිය 89:11.

දෙවියන් නිර්මාණය කළ එක් ‘වර්ගයක්’ තුළ කොයි තරම් විවිධත්වයක් ඇති වෙයිද කියා බයිබලයේ සඳහන් වී නැහැ. උදාහරණයකට එක් වර්ගයක් තුළ ඉන්න සතුන් දෙදෙනෙකුගේ එක් වීමෙන් ඒ ‘වර්ගයටම’ අයත් තවත් සත්ව විශේෂයක් බිහි විය හැකියි. ඒ වගේම පරිසරයට අනුව හැඩගැහෙන නිසා සමහර සතුන් තුළ සුළු වෙනස්කම් ඇති වෙනවා. එය පරිණාමය වීමක් කියා සමහරුන් කිව්වත් එම සිදුවීම් නිසා අලුත් වර්ගයක් බිහි වී නැහැ. පර්යේෂණවලින් හෙළි වන්නේ මූලික ශාක වර්ග හා සත්ව වර්ග අනාදිමත් කාලයක් පුරා වෙනස් වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි.

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

විවිධ වර්ගයන් නිර්මාණය කර තිබෙන ආකාරය ගැන බයිබලයේ සඳහන් දේවල් විද්‍යාවට එකඟයි. ඒ නිසා බයිබලයේ ඇති ඓතිහාසික තොරතුරු හා අනාවැකිද විශ්වාස කරන්න අපිට පුළුවන්.

විශ්වය ඇති වෙන්න හේතු වූ මූලද්‍රව්‍ය ලැබුණේ කොහෙන්ද?

“අහස දිගහැරියේ මාගේ දෑත්වලිනි.”යෙසායා 45:12.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන් අසීමිත බලයේ සහ ශක්තියේ උල්පතයි. (යෝබ් 37:23) ශක්තිය පදාර්ථ බවට පත් වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒ නිසා විශ්වය නිර්මාණය කළේ දෙවිගේ ‘අතිමහත් ශක්තියෙන්’ කියා බයිබලයේ සඳහන් වන දේ පුදුමයක් නෙමෙයි. (යෙසායා 40:26) විශ්වයේ තිබෙන සියල්ලක්ම පවතින්න අවශ්‍ය බලය ලබා දෙන බවට දෙවියන් පොරොන්දු වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ “ඔහු ඒවා සදහටම පැවතීමට සලස්වන්නේය” කියායි.—ගීතාවලිය 148:3-6.

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

තාරකා විද්‍යාඥයෙක් වන ඇලන් සැන්ඩේජ් මෙසේ පැවසුවා. “ගොඩක් ගැඹුරු ප්‍රශ්නවලට විද්‍යාවේ උත්තර නැහැ. කොහොමද මේ විශ්වය ඇති වුණේ කියලා ඇහුවොත් විද්‍යාවෙන් ඒකට උත්තරයක් නැහැ.” නමුත් බයිබලයේ විශ්වය නිර්මාණය කළ විදිහ ගැන විද්‍යානුකූල උත්තරයක් දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්වය සහ මිනිස් වර්ගයාව දෙවියන් නිර්මාණය කිරීමේ හේතුව වැනි විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නවලටත් උත්තර එහි තිබෙනවා. *

^ 16 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න.