Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | ෆෙං ලිං යං

ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

ෆෙං ලිං යං තායිවානයේ පර්යේෂණ ආයතනයක පර්යේෂකවරියක් ලෙස සේවය කරනවා. ඇගේ පර්යේෂණ ගැන විද්‍යා සඟරාවලත් පළ වී තිබෙනවා. මුලදී ඇය පරිණාමවාදය පිළිගත්තත් පසුව ඇගේ විශ්වාසය වෙනස් වුණා. අපි ඒ ගැන අහලා බලමු.

ඔයා ගැන ටිකක් අපිට කියන්න.

මං හැදී වැඩුණේ දුප්පත් පවුලක. මගේ අම්මට අකුරු කියවන්නවත් බැහැ. අපි ජීවත් වුණේ තායිපේ නගරයේ නිතරම ගං වතුරට යට වන පළාතක. අපි ඌරෝ ඇති කරලා, වගා කරලා තමයි ජීවත් වුණේ. පුංචි කාලේ ඉඳන්ම මහන්සි වෙලා වැඩ කරන්නත් අනිත් අයට උදව් කරන්නත් අම්මලා මට කියලා දුන්නා.

ඔයාගේ පවුලේ අය ආගමට ළැදිද?

මගේ පවුලේ අය ඇදහුවේ ටාඕ ආගම. අපි දෙවි කෙනෙක්ට පුද පූජා කෙරුවා. ඒත් ඒ දෙවියන් කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. “ඇයි මිනිස්සු දුක් විඳින්නේ,” “ඇයි මිනිස්සු තමන් ගැන විතරක් හිතන්නේ” කියලා මම නිතරම කල්පනා කළා. ඒ නිසා මං ටාඕ ආගමේ පොත්, බෞද්ධ ආගමේ පොත් හා ඉතිහාස පොත් කියෙව්වා. පල්ලි කිහිපයකටත් ගියා. ඒත් ඒ ප්‍රශ්නවලට උත්තර ඒ කොහෙන්වත් ලැබුණේ නැහැ.

ඇයි ඔයා විද්‍යාව ගැන උනන්දු වුණේ?

මම වැඩියෙන්ම කැමති ගණිත විෂයන්වලට. ඒ නිසා හැම දෙයකම තියෙන භෞතික සහ රසායනික නීති ක්‍රියාත්මක වන විදිහ දැක්කම මට ආස හිතුණා. අතිමහත් විශ්වයේ ඉඳන් පුංචිම පුංචි ක්ෂුද්‍ර ජීවියා දක්වා හැම දෙයක්ම ක්‍රියා කරන්නේ ඒ නීති රීතිවලට එකඟවයි. මට ඕන වුණා ඒ ගැන වැඩිදුර ඉගෙගන්න.

පරිණාමවාදය විශ්වාස කරන්න හේතු වුණේ මොකක්ද?

මම වෙන දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. පොඩි පන්තිවල ඉඳන් විශ්වවිද්‍යාලයට යනකම්ම මම අහලා තිබුණේ පරිණාමවාදය ගැන විතරයි. මං වැඩ කරපු ක්ෂේත්‍රය නිසාත් මට පරිණාමවාදය පිළිගන්න සිද්ධ වුණා.

මං වැඩ කරපු ක්ෂේත්‍රය නිසාත් මට පරිණාමවාදය පිළිගන්න සිද්ධ වුණා

බයිබලය කියවන්න පටන්ගත්තේ ඇයි?

1996දී මං වැඩිදුර අධ්‍යාපනය ලබන්න ජර්මනියට ගියා. ඊළඟ අවුරුද්දේ මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් මුණගැහුණා. එයාගේ නම සිමෝන්. මගේ ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා කියලා එයා කිව්වා. ජීවිතයේ අරමුණ මොකක්ද කියලා බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා කියලත් එයා කිව්වම මට ඒ ගැන තවත් දැනගන්න ආස හිතුණා. මම හැමදාම උදේ 4.30ට නැඟිටලා බයිබලය කියෙව්වා. ඊටපස්සේ උදේ ඇවිදින්න යනකොට ඒ කියවපු දේවල් ගැන කල්පනා කෙරුවා. ඊළඟ අවුරුද්ද වෙනකොට මම මුළු බයිබලය කියවලා ඉවර කළා. බයිබලයේ තියෙන අනාවැකි කොච්චර නිවැරදිද කියන එක තමයි මගේ හිතට ගොඩාක්ම කාවැදුණේ. බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියලා ටිකෙන් ටික මට පැහැදිලි වුණා.

ජීවයේ ආරම්භය ගැන ඔයාට තිබුණේ මොන වගේ අදහසක්ද?

1990 ගණන්වල අගභාගය වෙනකොට ජීවීන්ගේ සැකැස්ම හිතාගෙන හිටියට වඩා සංකීර්ණයි කියලා අණුක ජීව විද්‍යාඥයන් තේරුම්ගත්තා. ජීව සෛල තුළ තියෙන ප්‍රෝටීන තමයි සංකීර්ණම අණු කියලා විද්‍යාඥයන් හුඟ කාලයකට කලින් හොයාගෙන තිබුණා. ඒත් මෑතකදී පුදුමාකාර විදිහට ක්‍රියා කරන සංකීර්ණ අණුක යන්ත්‍ර ගැන එයාලා හොයාගත්තා. ඒ එක අණුක යන්ත්‍රයක ප්‍රෝටීන 50කට වඩා තියෙනවා. සරලයි කියලා හිතන සෛලයක පවා ඒ වගේ එකිනෙකට වෙනස් අණුක යන්ත්‍ර කීපයක් තියෙනවා. උදාහරණයකට ශක්තිය නිපදවීම, තොරතුරු ගබඩා කිරීම, සෛල පටලය හරහා යන ද්‍රව්‍ය පාලනය කිරීම වගේ දේවල් කරන්නේ ඒ යන්ත්‍ර මගින්.

මේ දේවල්වලින් ඔයාගේ නිගමනය වුණේ මොකක්ද?

සෛලයේ ප්‍රෝටීන යන්ත්‍ර මේ තරම් විශිෂ්ට විදිහට ක්‍රියා කරන්නේ කොහොමද කියලා මං හිතුවා. සමහර විද්‍යාඥයන්ටත් ඒක ප්‍රශ්නයක් වුණා. සෛල තුළ තියෙන අණුක යන්ත්‍ර ඉතා සංකීර්ණ නිසා ඒවා ඉබේ ඇති වෙන්න බෑ කියලා ඇමරිකාවේ ජීව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලියපු පොතක සඳහන් කරලා තියෙනවා. මටත් හිතුණේ ඒ දේමයි. ඒ නිසා මේක කාගේ හරි නිර්මාණයක් කියලා මට හිතුණා.

සෛලයේ ප්‍රෝටීන යන්ත්‍ර මේ තරම් විශිෂ්ට විදිහට ක්‍රියා කරන්නේ කොහොමද කියලා මං හිතුවා

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න හිතුවේ ඇයි?

එක හේතුවක් තමයි සිමෝන් අසනීපෙන් හිටියත් කිලෝමීටර් 56ක විතර දුරක් ගෙවාගෙන හැම සතියකම මට බයිබලය උගන්වන්න ආපු එක. ඒ වගේම ජර්මනියේ නාට්සි පාලන කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නොවුණ නිසා ගාල් කඳවුරුවලට දැම්මා කියලා මං දැනගත්තා. ඒ අයගේ නිර්භීතකමත් මගේ හිතට කාවැදුණා. සාක්ෂිකරුවන් දෙවියන්ට හුඟක් ප්‍රේම කරනවා. මටත් ඕන වුණේ ඒ වගේ වෙන්නයි.

දෙවියන්ව විශ්වාස කරන එකෙන් ඔයාට යහපතක් වෙලා තියෙනවද?

ඔව්. ඉස්සරට වඩා දැන් මං ඉන්නේ සතුටින් කියලා මාත් එක්ක වැඩ කරන අය කියනවා. දුප්පත් පවුලක හැදුණු නිසා ඉස්සර මගේ පවුලේ අය ගැන මම කාටවත් කිව්වේ නෑ. ඒත් බයිබලය ඉගෙනගත්තට පස්සේ, සමාජ තත්වය දෙවියන්ට වැඩක් නැහැ කියලා දැනගත්තා. යේසුත් ආවේ මං වගේ දුප්පත් පවුලකින්. ඒ නිසා මගේ අම්මවයි තාත්තවයි යාළුවන්ට හඳුන්වලා දෙන්න දැන් මං ලැජ්ජ වෙන්නේ නෑ. මම දැන් එයාලව හොඳින් බලාගන්නවා.