Skip to content

“සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

“සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 කන්ද උඩ දේශනාවේදී යේසුස් කිව්වා “ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න” කියලා. (මතෙව් 5:44; ලූක් 6:27, 35) ඔහු කියපු දෙයින් අදහස් වෙන්නේ කෙනෙක් අපිට වෛර කළත් අපිට අසාධාරණකම් කළත් අපි දිගටම එයාට ආදරෙන් සලකන්න ඕනෙ කියන එකයි.

 ඒ වගේ ආදරයක් පෙන්නන්නේ කොහොමද කියලා යේසුස් ආදර්ශයෙන්ම පෙන්නුවා. ඔහු එහෙම කළේ ඔහුට නපුරු විදිහට සලකපු අයට සමාව දීලා. (ලූක් 23:33, 34) සතුරාට ප්‍රේම කරන්න කියලා යේසුස් කියපු දේ පරණ ගිවිසුම කියලා හඳුන්වන හෙබ්‍රෙව් ලියවිලිවල තියෙන දේවල්වලටත් එකඟයි.—නික්මයාම 23:4, 5; හිතෝපදේශ 24:17; 25:21.

 “ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.”මතෙව් 5:43, 44.

මේ ලිපියෙන්

 සතුරන්ට ආදරේ කරන්න ඕනෙ ඇයි?

  •   හොඳම ආදර්ශය තියලා තියෙන්නේ දෙවියන්. දෙවියන් “කෙළෙහි ගුණ නොදක්වන අයටත් දුෂ්ටයන්ටත් කාරුණිකව සලකනවා.” (ලූක් 6:35) ඒ වගේම ඔහු ‘දුෂ්ටයන්ට හිරු උදා කරවනවා.’—මතෙව් 5:45.

  •   ආදරේ නිසා සතුරෙක් වුණත් වෙනස් වෙන්න පුළුවන්. බයිබලේ කියනවා අපේ සතුරන්ට ආදරෙන්, කරුණාවෙන් සලකද්දී අපි එයාලාගේ “හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා” කියලා. (හිතෝපදේශ 25:22) ගිනි අඟුරු ගොඩ ගහනවා කියලා කියද්දී ඇත්තටම එතන කතා කරන්නේ ලෝහ පිරිසිදු කරන ක්‍රියාවලියක් ගැන. සාමාන්‍යයෙන් ලෝහයක් ගිනි අඟුරු දාලා රත් කරන්න රත් කරන්න ඒකේ බොර ඉවත් වෙලා ඒක පිරිසිදු වෙනවා. අන්න ඒ වගේ අපිට සතුරුකම් කරන කෙනෙක්ට අපි ආදරෙන්, කරුණාවෙන් සලකද්දී එයාගේ හිත උණු වෙලා කේන්තිය, වෛරය එයාගෙන් අයින් වෙනවා. ඒ වෙනුවට හොඳ ගුණාංග ඉස්මතු වෙනවා.

 සතුරන්ට ආදරේ කරන්න පුළුවන් මොන විදිවලින්ද?

  •   “ඔබට වෛර කරන අයට යහපත් දේවල් කරන්න.” (ලූක් 6:27) බයිබලේ මෙහෙම කියනවා. “ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න.” (රෝම 12:20) සතුරන්ට ආදරේ කරන්න පුළුවන් තවත් විදි ගැන හිතලා බලන්න රන් අණ උදව් වෙනවා. ඒකේ මෙහෙම කියනවා. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”—ලූක් 6:31.

  •   “ඔබට ශාප කරන අයට දෙවිගේ ආශීර්වාද පතන්න.” (ලූක් 6:28) කෙනෙක් අපිට කොච්චර නරක විදිහට කතා කළත් නපුරු විදිහට සැලකුවත් අපි එයාට දිගටම ආදරෙන්, කරුණාවෙන් සලකනවා නම් ඒක හරියට අපි එයාට ආශීර්වාද කරනවා වගේ දෙයක්. බයිබලේ මෙහෙම කියලා තියෙනවා. “නින්දාවට නින්දාව නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.” (1 පේතෘස් 3:9) එහෙම කරද්දී එකට එක කරලා ප්‍රශ්නේ දුර දිග යවනවා වෙනුවට වෛරයේ ගිනිදැල් නිවලා දාන්න අපිට පුළුවන්.

  •   “නින්දා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න.” (ලූක් 6:28) කෙනෙක් ඔයාට දිගින් දිගටම නපුරු විදිහට සලකනවා නම් “නපුරට නපුර” කරන්න එපා. (රෝම 12:17) ඒ වෙනුවට එයා කරන දේවල්වලට සමාව දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. (ලූක් 23:34; ක්‍රියා 7:59, 60) කෙනෙක් කරන දේවල්වලට පළිගන්නේ නැතුව අපි ඒක දෙවියන්ට භාර දෙන්න ඕනේ. එතකොට ඔහු හැම දේම හොඳින් සෝදිසි කරලා බලලා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව යුක්තිය ඉටු කරයි.—ලෙවී කතාව 19:18; රෝම 12:19.

 “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට වෛර කරන අයට යහපත් දේවල් කරන්න. ඔබට ශාප කරන අයට දෙවිගේ ආශීර්වාද පතන්න. ඔබට නින්දා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න.” ලූක් 6:27, 28.

  •   ‘ඉවසන්න, කරුණාවන්ත වෙන්න.’ (1 කොරින්ති 13:4) සැබෑ ආදරය පාවුල් නිර්වචනය කරපු විදිහ අපි හැමෝම අතර ගොඩක් ප්‍රසිද්ධයි. ඔහු එතන ආදරය කියන වචනයට පාවිච්චි කළේ ග්‍රීක භාෂාවෙන් “අගාපේ” කියන වචනය. ඒ අදහසම දෙන වචනයක් තමයි මතෙව් 5:44 සහ ලූක් 6:27, 35 පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා සැබෑ ක්‍රිස්තියානීන් සතුරන් කරන දේවල්වලට කේන්ති අරන් උද්ධච්ච විදිහට, නපුරු විදිහට වැඩ කරන්නෙවත් එයාලට ඊර්ෂ්‍යා කරන්නෙවත් නැහැ කියලා. ඒ වෙනුවට එයාලා සතුරන් එක්ක පවා වැඩ කරන්නේ ඉවසීමෙන් සහ කාරුණිකව.

 “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.”1 කොරින්ති 13:4-8.

 සතුරන්ට විරුද්ධව යුද්ධ කරන එක හරිද?

 නැහැ. මොකද යේසුස් කවදාවත් ඔහුගේ අනුගාමිකයන්ට ඒ වගේ දෙයක් කිව්වේ නැහැ. උදාහරණෙකට සතුරු හමුදාවක් ඇවිල්ලා යෙරුසලම ආක්‍රමණය කරනවා කියලා ගෝලයන්ට අනතුරු අඟවපු අවස්ථාවේ යේසුස් කිව්වේ සතුරන්ට විරුද්ධව යුද්ධ කරන්න කියලා නෙවෙයි. ඒ වෙනුවට එතනින් පලා යන්න කියලා. (ලූක් 21:20, 21) ඒ වගේම යේසුස් පේතෘස්ටත් එක අවස්ථාවකදී මෙහෙම කිව්වා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” (මතෙව් 26:52) බයිබල් විශාරදයන් පවා කියනවා මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් කිසිම විදිහකින් තමන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධ කළේ නැහැ කියලා. a2 තිමෝති 2:24.

 සතුරන්ට ප්‍රේම කරන එක ගැන තියෙන වැරදි අදහස්

 වැරදි මතය: මෝසෙස්ගේ නීතියේ ඊශ්‍රායෙල්වරුන්ට දිරිගැන්නුවේ සතුරන්ට වෛර කරන්න කියලා.

 ඇත්ත මේකයි: මෝසෙස්ගේ නීතියේ කොතනකවත් ඒ වගේ දෙයක් කියලා නැහැ. ඒ වෙනුවට ඒකේ කියලා තිබුණේ තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලයි. (ලෙවී කතාව 19:18) “අසල්වැසියා” කියද්දී ඒකට හැම කෙනෙක්ම ඇතුළත්. හැබැයි සමහර යුදෙව්වන් හිතුවා අසල්වැසියන් කියන්නේ යුදෙව්වන්ට විතරයි කියලා. ඒ නිසා එයාලා වෙනත් ජාතීන්ව සතුරන් විදිහට සලකලා එයාලට වෛර කළා. (මතෙව් 5:43, 44) හැබැයි යේසුස් යහපත් සමරිතානුවාගේ උපමාව පාවිච්චි කරලා එයාලා හිතපු විදිහ කොච්චර වැරදිද කියලා පෙන්නුවා.—ලූක් 10:29-37.

 වැරදි මතය: සතුරන්ට ප්‍රේම කරනවා කියන්නේ එයාලා කරන වැරදි දේවල් ගණන් නොගෙන ඉන්න එකයි.

 ඇත්ත මේකයි: කෙනෙක් කරන වැරදි දෙයක් කිසිම විදිහකින් අපි අනුමත කරන්නේ නැති වුණත් එයාට ආදරේ කරන්න අපිට පුළුවන් කියලා බයිබලේ කියනවා. යේසුස් ගැන හිතන්න. අනිත් අයට හිංසා කරන එකට, වධ දෙන එකට ඔහු පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. හැබැයි ඔහුට වධ දීලා, ඔහුව කණුවක ඇණ ගහපු අය වෙනුවෙන් ඔහු යාච්ඤා කළා. (ලූක් 23:34) පව් කරන එක ඔහු හෙළා දැක්කා. හැබැයි ඔහු පව්කාරයන් වෙනුවෙන් ඔහුගේ ජීවිතේ දුන්නා.—යොහන් 3:16; රෝම 6:23.

a ඊ. ඩබ්ලිව්. බාන්ස් විසින් රචනා කරපු එක පොතක (The Rise of Christianity) මෙහෙම කියනවා. “ඉතිහාසයෙන් දැනට ලැබිලා තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා මාකස් ඕරේලියස්ගේ (ක්‍රි.ව. 161-180 අතර කාලේ හිටපු රෝම අධිරාජ්‍යයා) කාලේ වෙද්දීත් කිසිම ක්‍රිස්තියානියෙක් හමුදාවට බැඳිලා නැහැ. හමුදාවේ හිටපු කෙනෙක් ක්‍රිස්තියානියෙක් වුණා නම් එයා තවදුරටත් හමුදා සේවයේ නියැලුණෙත් නැහැ.”