Skip to content

“කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?

“කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දවසක් යේසුස් එක උපමාවක් කිව්වා. යේසුස් ඒක කිව්වේ හොඳ අසල්වැසියෙක් ජාතිය, පසුබිම බලන්නේ නැතුව කෙනෙක්ට ඉක්මනින්ම උදව් කරන්න පෙලඹෙනවා කියලා පැහැදිලි කරන්නයි. අදටත් හුඟක් අය ඒ වගේ කෙනෙක්ව “කාරුණික සමරිතානුවරයෙක්” විදිහට හඳුන්වන්නේ ඒ නිසයි. a

මේ ලිපියෙන්

 “කාරුණික සමරිතානුවරයාගේ” උපමාව මොකක්ද?

යේසුස් කියපු ඒ කතාව දැන් අපි ටිකක් මතක් කරගමු. දවසක් එක යුදෙව්වෙක් යෙරුසලමේ ඉඳන් යෙරිකෝවට යන අතරමඟදී කොල්ලකරුවන්ට අහු වුණා. ඒ කොල්ලකාරයෝ එයාට හොඳටම ගහලා, එයා ළඟ තිබුණ හැම දෙයක්ම පැහැරගත්තා. හොඳටම තුවාල වෙලා හිටපු ඒ කෙනා සිහිය නැතුව පාරේ වැටිලයි හිටියේ.

ඒ පාරේ යුදෙව් පූජකයෙක් ගියා. ඊටපස්සේ ලෙවීවරයෙකුත් ගියා. වැටිලා හිටිය කෙනා තමන්ගේම ජාතියේ කෙනෙක් වුණත් ඒ දෙන්නාම ඒ මනුස්සයාව නොදැක්කා වගේ යන්න ගියා.

ඊටපස්සේ ඒ පාරෙන් සමරිතානුවරයෙක් ගියා. (ලූක් 10:33; 17:16-18) වැටිලා හිටිය කෙනාව දැක්කාම එයාට ලොකු අනුකම්පාවක් දැනුණා. ඒ නිසා ඒ සමරිතානුවරයා එයාගේ තුවාලවලට බෙහෙත් බැඳලා, එයාව තානායමකට අරන් ගියා. මුළු රෑම එයා ළඟ ඉඳන් එයාව ආදරෙන් බලාගත්තා. ඊළඟ දවසේ ඒ සමරිතානුවරයා තානායම්කරුට සල්ලි දීලා කිව්වා තුවාල වෙලා ඉන්න කෙනාව හොඳට බලාගන්න කියලා. වැඩිපුර ගාණක් වියදම් වුණොත් ආපහු එද්දී ඒක ගෙවන්නම් කියලත් කිව්වා.—ලූක් 10:30-35.

 යේසුස් ඒ උපමාව කිව්වේ ඇයි?

යේසුස් ඒක කිව්වේ තමන්ගේ ආගමට, ජාතියට අයිති අයව විතරක් අසල්වැසියන් විදිහට සලකපු කෙනෙක්ට. “අසල්වැසියෙක්” විදිහට සලකන්න ඕනෙ තමන්ගේ ජාතියේ අයව විතරක් නෙවෙයි කියලා උගන්නන්න තමයි යේසුස් ඒ කතාව කිව්වේ. (ලූක් 10:36, 37) ඒ සිද්ධිය බයිබලේට ඇතුළත් කරලා තියෙන්නේ දෙවියන්ව සතුටු කරන්න කැමති අයට ඒකෙන් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන් නිසයි.—2 තිමෝති 3:16, 17.

 ඒ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

හොඳ අසල්වැසියෙක් අනුකම්පාව හිතේ විතරක් තියන් ඉන්නේ නැහැ. එයා කරන දේවල්වලින් ඒක පෙන්නනවා. ඒ වගේ කෙනෙක් කරදරේක වැටිලා ඉන්න කෙනෙක්ට උදව් කරන්න ජාතිය, පසුබිම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අනිත් අය තමන්ට සලකනවාට කැමති විදිහට තමයි ඒ වගේ කෙනෙක් අනිත් අයටත් සලකන්නේ.—මතෙව් 7:12.

 සමරිතානුවන් කියන්නේ කවුද?

සමරිතානුවන් ජීවත් වුණේ යූදා දේශයේ උතුරට වෙන්න. එයාලා වෙන ජාතීන්වල අය එක්කත් විවාහ වෙලා හිටියා.

ක්‍රි.ව. පළවෙනි සියවස වෙද්දී සමරිතානුවන් එයාලටම කියලා ආගමක් හදාගෙන තිබුණා. එයාලා පිළිගත්තේ හෙබ්‍රෙව් ලියවිල්ලෙන් මුල් පොත් පහ විතරයි.

යේසුස් මේ පොළොවේ හිටපු කාලේ සමරිතානුවන් සහ යුදෙව්වන් අතරේ කිසිම ගනු දෙනුවක් තිබ්බේ නැහැ. (යොහන් 4:9) සමහර යුදෙව්වන් කෙනෙක්ට අපහාස කරන්න “සමරිතානුවරයෙක්” කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා.—යොහන් 8:48.

 ඒ සිද්ධිය ඇත්තටම වුණාද?

යේසුස් ඒ කතාව කිව්වේ ඇත්තම සිද්ධියක් පදනම් කරගෙනද, නැද්ද කියලා බයිබලේ හරියටම කියන්නේ නැහැ. හැබැයි යේසුස් මිනිසුන්ට උගන්නපු හුඟක් අවස්ථාවලදී එයාලා දන්න කියන චාරිත්‍ර සහ තැන් පාවිච්චි කරලා මිනිසුන්ට ඉගැන්නුවා.

මේ සිද්ධිය ගැන බයිබලේ තියෙන වාර්තාව ඉතිහාස තොරතුරු එක්ක බලද්දිත් නිවැරදියි. මේ උදාහරණ බලන්න.

  • යෙරුසලමේ ඉඳන් යෙරිකෝවට තිබුණ දුර කිලෝමීටර් 20කට (සැතපුම් 12කට) වඩා වැඩියි. ඒ වගේම ඒ පාරේ කිලෝමීටරයක (සැතපුම් 0.6ක) බෑවුමක් තිබුණා. බයිබලේ තියෙන උපමාවෙත් කියන්නේ ඒ කෙනා “යෙරුසලමේ සිට යෙරිකෝව දක්වා බැස යන පාර දිගේ” ගියා කියලා.—ලූක් 10:30.

  • යෙරිකෝවේ ජීවත් වුණ පූජකයන් සහ ලෙවීවරුන් නිතරම වගේ මේ පාරෙන් යෙරුසලමට ගියා.

  • මේ පාරේ හරියට කොල්ලකාරයෝ හිටියා. විශේෂයෙන්ම තනියම යන අයව කොල්ලකන්න එයාලා මඟ රැකගෙන හිටියා.

a “කාරුණික සමරිතානුවරයාගේ” උපමාව සමහර අය “යහපත් සමරිතානුවරයාගේ” උපමාව විදිහටත් හඳුන්වනවා.