Skip to content

පළිගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

පළිගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එයාට වරදක් කරපු කෙනෙක්ගෙන් පළිගන්න අයිතියක් තියෙනවා කියලා. ඒත් බයිබලයේ එහෙම කියන්නේ නැහැ. ඒකේ මෙහෙම කියනවා. “‘ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි. අනුන් මට කරන ලෙසම මමත් ඔවුන්ට කරන්නෙමි’ යයි නොකියන්න.” (හිතෝපදේශ 24:29) පළිගන්න සිතුවිලි අයින් කරගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ගොඩක්දෙනෙක්ට උදව් වෙලා තියෙනවා.

මේ ලිපියෙන්

 පළිගන්න එක වැරදි ඇයි?

 කවුරු හරි කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත්, ඔයාට අනතුරක් කළොත් කේන්ති යන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් එයාට මොකක් හරි දඬුවමක් දෙන්න ඕනෙ කියලා. ඒත් බයිබලයේ කියන්නේ පළිගන්න එක වැරදියි කියලා. ඒ ඇයි?

 දෙවියන් කැමති නැහැ මිනිස්සු යුක්තිය අතට අරන් වැඩ කරනවාට, පළිගන්නවාට. මොකද “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමයි” කියලා යෙහෝවා a දෙවියන් කියනවා. (රෝම 12:19) බයිබලයේ කියන්නේ කවුරු හරි අතින් අපිට වරදක් වුණොත් එයාගෙන් පළිගන්නේ නැතුව එයාත් එක්ක සමාදානෙන් ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ කරන්න කියලයි. (රෝම 12:18) ඒත් සාමකාමීව ප්‍රශ්නේ විසඳගන්න කරන්න පුළුවන් හැම දේම කරලත් ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් මොකද කරන්නේ? බයිබලයේ අපිට උනන්දු කරන්නේ ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න කියලයි. මොකද ඔහු ඉස්සරහට හැම අසාධාරණයක්ම විසඳන්න යනවා.—ගීතාවලිය 42:10, 11.

 දෙවියන් දඬුවම් කරන්නේ කොහොමද?

 දෙවියන් දැනට වැරදි කරන අයට දඬුවම් කරන්න රජයේ බලධාරීන්ට ඉඩ දීලා තියෙනවා. (රෝම 13:1-4) ඒත් ළඟදීම අසාධාරණකම් කරන, අනිත් අයට නපුරුකම් කරන හැමෝටම දෙවියන් දඬුවම් කරනවා. ඊටපස්සේ ආයේ කවදාවත් ඒ වගේ අය නිසා කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ.—යෙසායා 11:4.

 පළිගන්න සිතුවිලි අයින් කරගන්න පුළුවන් කොහොමද?

  •   කේන්තියෙන් ඉද්දී දේවල් කරන්න යන්න එපා. (හිතෝපදේශ 17:27) ගොඩක් වෙලාවට කේන්තියෙන් ඉද්දී කරන දේවල් ගැන පස්සේ අපි පසුතැවෙනවා. ඒත් හොඳට හිතලා බලලා වැඩ කරනවා නම් හරි තීරණ ගන්න ඒක අපිට උදව් වෙයි.—හිතෝපදේශ 29:11.

  •   ඇත්තටම මොකක්ද වුණේ කියලා දැනගන්න. (හිතෝපදේශ 18:13) කෙනෙක් අපිට වරදක් කළාම මේ දේවල් ගැන හිතලා බලන එක හොඳ දෙයක්. ‘ඇයි එයා මට එහෙම කළේ? මං දන්නේ නැති මොකක් හරි හේතුවක් ඒකට තියෙනවාද? එයා හිටියේ ලොකු පීඩනයකින්ද? එයා ඒක එච්චර හිතන්නේ බලන්නේ නැතුව කරපු දෙයක්ද?’ සමහර වෙලාවට අපිට හිතුණත් ඒක හිතාමතාම කරපු දෙයක් කියලා ඒක ඇත්තටම අත්වැරදීමක් වෙන්න පුළුවන්.

 පළිගන්න එක ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: බයිබලයේ තියෙන විදිහට පළිගන්න එකේ වරදක් නැහැ. මොකද “ඇසකට ඇසක්” දෙන්න කියලා බයිබලයේ කියලා තියෙනවා.—ලෙවී කතාව 24:20.

 ඇත්ත මේකයි: අතීතයේ ඊශ්‍රායෙල් ජාතියට ඒ නීතිය දුන්නේ පළිගන්න එක නවත්තන්නයි. ඒ නීතිය නිසා විනිශ්චයකරුවන්ට පුළුවන් වුණා කෙනෙක් කරපු වරදේ බරපතළකමට අනුව දෙන්න ඕනෙ දඬුවම ලබා දෙන්න. bද්විතීය කතාව 19:15-21.

 වැරදි මතය: බයිබලයේ පළිගන්න අවසර දීලා නැති නිසා අපිට කරදරයක් කරන්න හදන කෙනෙක්ගෙන් බේරෙන්න අපිට මුකුත්ම කරන්න බැහැ.

 ඇත්ත මේකයි: අපිට කෙනෙක් අනතුරක් කරන්න එද්දී අපේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න, බලධාරීන්ගෙන් උදව් ගන්න අපිට අයිතිය තියෙනවා. ඒත් බයිබලයේ අපිට උනන්දු කරන්නේ රණ්ඩු ඇති කරගන්නේ නැතුව පුළුවන් තරම් සාමකාමීව ඉන්න කියලයි.—හිතෝපදේශ 17:14.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.

b ඒ නීතිය ගැන වැඩි විස්තර දැනගන්න “‘ඇසකට ඇසක්’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.