Skip to content

සතුන් ස්වර්ගයට යනවාද?

සතුන් ස්වර්ගයට යනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ පැහැදිලිව කියනවා පොළොවේ ඉන්න අයගෙන් ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙන්නේ සීමිත සංඛ්‍යාවකට විතරයි කියලා. (එළිදරව් 14:1, 3) ඒ අය ස්වර්ගයට යන්නේ යේසුස් එක්ක රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න. (ලූක් 22:28-30; එළිදරව් 5:9, 10) ඒත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක්ට අවස්ථාව ලැබෙන්නේ පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න.—ගීතාවලිය 37:11, 29.

 බයිබලයේ සඳහන් වෙලා නැහැ බල්ලන් ඇතුළු සුරතල් සතුන්ට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. මොකද “ස්වර්ගයට යෑම සඳහා කැඳවීම” ලබන්න අවශ්‍ය දේවල් කරන්න සතුන්ට බැහැ. (හෙබ්‍රෙව් 3:1) ඒ දේවල් අතරට දෙවියන් ගැන දැනුම ලබාගන්න එක, දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක සහ දෙවියන් දීලා තියෙන අණපනත්වලට කීකරු වෙන එක ඇතුළත් වෙනවා. (මතෙව් 19:17; යොහන් 3:16; 17:3) සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් විදිහට දෙවියන් නිර්මාණය කළේ මිනිසුන්ව විතරයි.—උත්පත්ති 2:16, 17; 3:22, 23.

 කෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා මැරුණාට පස්සේ එයාට නැවත නැඟිටීමක් ලැබුණොත් විතරයි. (1 කොරින්ති 15:42) නැවත නැඟිටවීම් කිහිපයක් ගැනම බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. (1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:32-37; 13:20, 21; ලූක් 7:11-15; 8:41, 42, 49-56; යොහන් 11:38-44; ක්‍රියා 9:36-42; 20:7-12) හැබැයි කිසිම අවස්ථාවක මැරුණු සතෙකුව නැවත නැඟිටවලා තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

 සතුන් මැරුණාම මොකද වෙන්නේ?

 බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් මිනිසුන්ගේ ජීවිත වගේම සතුන්ගේ ජීවිතත් වටිනා දෙයක් විදිහට සලකනවා කියලා. (ගණන් කතාව 31:28) මිනිසුන්ව හදලා තියෙන්නෙත් සතුන්ව හදලා තියෙන්නෙත් “භූමියේ දූවිල්ලෙන්.” ඒ වගේම ඒ දෙගොල්ලන් තුළම “ජීවනයේ හුස්ම” තියෙනවා.—උත්පත්ති 2:7.

 මිනිසුන් වගේම සතුනුත් මැරෙනවා කියලත් මැරුණාට පස්සේ ඒ දෙගොල්ලන්ම දූවිල්ලට හැරෙනවා කියලත් බයිබලයේ පැහැදිලිවම කියනවා. (දේශනාකාරයා 3:19, 20) ඒ කියන්නේ කෙනෙක් මැරුණාට පස්සේ ඒ කෙනාගේ පැවැත්ම එතනින් අවසන් වෙනවා කියන එකයි. a

 පව් කරන්න සතුන්ට පුළුවන්ද?

 බැහැ. මොකද පාපයක් කරනවා කියන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නැති දෙයක් ගැන හිතන එකට නැත්නම් කරන එකට. පාපයක් කරන්න නම් කෙනෙක්ට තීරණ ගන්න හැකියාව තියෙන්න ඕනේ. හැබැයි සතුන්ට ඒ හැකියාව නැහැ. මොකද සතුන් ක්‍රියා කරන්නේ ඉවෙන්. උන්ට හිතලා බලලා නිවැරදි හරි වැරදි හරි තීරණයක් ගන්න බැහැ. (2 පේතෘස් 2:12, පැරණි අනුවාදය) උන් කිසි පාපයක් කළේ නැතත් ආයු කාලය සම්පූර්ණ වුණාම මැරිලා යනවා.

 සතුන්ට හිරිහැර කරන්න දෙවියන් අවසර දීලා තියෙනවාද?

 නැහැ. දෙවියන් සතුන්ව නිර්මාණය කළේ මිනිසුන්ගේ පාලනය යටතේ ජීවත් වෙන්න. හැබැයි සතුන්ට හිරිහැර කරන්න දෙවියන් මිනිසුන්ට අවසර දුන්නේ නැහැ. (උත්පත්ති 1:28; ගීතාවලිය 8:6-8) පුංචිම පුංචි කුරුල්ලන් ඇතුළු හැම සතෙක් ගැනම දෙවියන් සැලකිලිමත්. (යෝනා 4:11; මතෙව් 10:29) සතුන් ගැන සැලකිලිමත් වෙන්න කියලා දෙවියන් ඔහුගේ සේවකයන්ට අණ කරලත් තියෙනවා.—නික්මයාම 23:12; ද්විතීය කතාව 25:4; හිතෝපදේශ 12:10.

a වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ 6වෙනි පරිච්ඡේදය බලන්න.