Skip to content

යේසුස් මැරුණේ ඇයි?

යේසුස් මැරුණේ ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස් මැරුණේ මුළු මිනිස් වර්ගයාගේම පව්වලට සමාව ලබාගන්නත් අනාගතයේදී සදාකාලයටම ජීවත් වෙන්නත් මිනිසුන්ට අවස්ථාව ලබා දෙන්නයි. (රෝම 6:23; එෆීස 1:7) ඒ වගේම ඕනෑම පීඩාවක්, පරීක්ෂාවක් මැද වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔහුගේ සේවකයන්ට පුළුවන් කියන දේත් යේසුස්ගේ මරණයෙන් ඔප්පු වුණා.—හෙබ්‍රෙව් 4:15.

 එක මිනිසෙකුගේ මරණය නිසා ඒ කියන්නේ යේසුස්ගේ මරණය නිසා ඒ තරම් ප්‍රයෝජන රැසක් ලැබෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

  1.   යේසුස්ගේ මරණය නිසා ‘අපේ පව්වලට සමාව’ ලැබිලා තියෙනවා.—කොලොස්සි 1:14.

     දෙවියන් මුල්ම මිනිසා වුණු ආදම්ව නිර්මාණය කළේ පරිපූර්ණ කෙනෙක් විදිහට. ඒ කියන්නේ එයාට කිසිම පාපයක් උරුම වෙලා තිබුණේ නැහැ. ඒත් එයා හිතාමතාම දෙවියන්ට අකීකරු වුණු නිසා එයාගෙන් පැවතෙන හැමෝටම පව්කාරකම උරුම වුණා. “එක මිනිසෙකු අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන් ගනු ලැබීය” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—රෝම 5:19.

     යේසුත් පරිපූර්ණ කෙනෙක්. ඔහු කිසිම පාපයක් කළේ නැහැ. ඒ නිසා ඔහුගේ ජීවිත පූජාව මාර්ගයෙන් මුළු මිනිස් වර්ගයාගේම පව්වලට සමාව ලබාගන්න මඟ විවර වුණා. ඔහු මාර්ගයෙන් අපිට “දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව” ලැබිලා තියෙනවා කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (1 යොහන් 2:2) ආදම් මාර්ගයෙන් මිනිස් වර්ගයාට පාපය උරුම වුණා වගේ යේසුස්ගේ මරණය නිසා ඒ පාපයෙන් නිදහස් වෙන්න මිනිසුන්ට අවස්ථාව ලැබුණා. හැබැයි ඒ අවස්ථාව ලැබෙන්නේ ඔහු ගැන විශ්වාසය තියන අයට විතරයි.

     ආදම් මුළු මිනිස් වර්ගයාවම පාපයේ වහල්කමට විකුණුවා. හැබැයි යේසුස් කැමැත්තෙන්ම අපි වෙනුවෙන් ජීවිතය පූජා කරලා අපිව මිල දී ගත්තා. ඒ නිසා අපි අතින් වරදක් වුණොත් යේසුස් මාර්ගයෙන් දෙවියන්ගෙන් සමාව ලබාගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. “යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි” කියලා බයිබලයේ සඳහන් දෙයින් ඒක පැහැදිලියි.—1 යොහන් 2:1.

  2.   යේසුස්ගේ මරණය නිසා “ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව” ලැබුණා.—යොහන් 3:16.

     දෙවියන් ආදම්ව නිර්මාණය කළේ සදහටම ජීවත් වෙන්න පුළුවන් විදිහට. ඒත් එයා කරපු පාපය නිසා එයාට මරණ දඬුවම ලැබුණා. බයිබලයේ සඳහන් මේ දෙයින් ඒක පැහැදිලියි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

     හැබැයි ඊට වෙනස්ව යේසුස්ගේ මරණය නිසා මුළු මිනිස් වර්ගයාගේම පව්වලට සමාව ලබාගන්නත් උරුම වෙලා තියෙන මරණයෙන් නිදහස් වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. බයිබලයේ සඳහන් මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “එසේ වූයේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය සහ මරණය එකට රජකම් කරනවා වෙනුවට මහත් කරුණාව රජකම් කිරීම සඳහාය. එහෙයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.”—රෝම 5:21.

     හැබැයි තවමත් මිනිසුන්ට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසයි මිනිසුන් මැරෙන්නේ. ඒත් දෙවියන්ට කීකරු වෙන ධර්මිෂ්ඨ මිනිසුන්ට ළඟදීම සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. මිය ගිය අයටත් ඒ කාලේදී ආයෙත් ජීවිතය ලැබෙන නිසා යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න එයාලටත් අවස්ථාව ලැබෙනවා.—ගීතාවලිය 37:29; 1 කොරින්ති 15:22.

  3.   යේසුස් ‘මරණය විඳීමට තරම් දෙවිට කීකරු වුණු’ නිසා ඕනෑම පීඩාවක් මැද වුණත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට පුළුවන් කියලා ඔහු ඔප්පු කළා.—ෆිලිප්පි 2:8.

     දෙවියන්ට කීකරු වෙනවා වෙනුවට තමන්ට අයිති නැති දෙයක් ලබාගන්න තිබුණු කෑදරකම නිසා ආදම් දෙවියන්ට අකීකරු වුණා. (උත්පත්ති 2:16, 17; 3:6) දෙවියන්ගේ ප්‍රධාන සතුරා වුණු සාතන් පස්සේ කාලෙකදී චෝදනා කළා මිනිසුන් දෙවියන්ට කීකරු වෙන්නේ තමන්ට දේවල් ලබාගන්න තියෙන ආසාව නිසයි කියලා. ඒ වගේම පීඩා, පරීක්ෂා එද්දී කිසිම කෙනෙක් දෙවියන්ට කීකරුව ඉන්නේ නැහැ කියලත් සාතන් කිව්වා. (යෝබ් 2:4) ඒත් නින්දිත, වේදනාකාරී මරණයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් පරිපූර්ණ මිනිසෙක් වුණු යේසුස් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. (හෙබ්‍රෙව් 7:26) ඒකෙන් සාතන්ගේ චෝදනාවට හොඳ උත්තරයක් ලැබුණා. ඔව්, ඕනෑම පීඩාවක්, පරීක්ෂාවක් මැද වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට පුළුවන් කියලා ඒකෙන් ඔප්පු වුණා.

යේසුස්ගේ මරණය ගැන අහන ප්‍රශ්න

  •   මිනිසුන්ව ගලවාගන්න යේසුස්ට දුක් විඳලා මැරෙන්න සිද්ධ වුණේ ඇයි? මිනිසුන්ට උරුම වුණු මරණ දඬුවම දෙවියන් අහෝසි කළේ නැත්තේ ඇයි?

     දෙවියන් දීපු නීතියේ සඳහන් වුණේ “පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණය” කියලයි. (රෝම 6:23) ඕනෙ නම් ඒ නීතිය යට ගහලා ආදම්ට උරුම වුණු මරණ දඬුවම අහෝසි කරන්න දෙවියන්ට හැකියාව තිබුණා. ඒත් “කිසි බොරුවක් නොපවසන දෙවි” එහෙම කළේ නැහැ. (තීතස් 1:2) ආදම් අකීකරු වුණොත් එයාට මරණ දඬුවම ලැබෙනවා කියලා දෙවියන් පැහැදිලිවම කියලා තිබුණා. (උත්පත්ති 3:3) ආදම්ගෙන් පැවතෙන මුළු මිනිස් වර්ගයාටම මරණය උරුම වුණේ ඒ නිසයි.

     ඒ වුණත් දෙවියන් ‘අපි වෙනුවෙන් ත්‍යාගශීලීව මහත් කරුණාව පෙන්නුවා.’ (එෆීස 1:7) මිනිස් වර්ගයාවම ගලවාගන්න යේසුස්ගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න සලස්වපු එකෙන් දෙවියන් යුක්තිසහගත, කාරුණික කෙනෙක් කියලා පැහැදිලි වුණා.

  •   යේසුස් මැරුණේ කවදාද?

     යේසුස් මැරුණේ යුදෙව්වන් පාස්කුව සමරපු දවසේ ‘නවවෙනි පැයේදී’ ඒ කියන්නේ හැන්දෑවේ තුනට විතර. (මාක් 15:33-37, පාදසටහන) නවීන දිනදර්ශනවලට අනුව ඒ දවස වැටෙන්නේ ක්‍රි.ව. 33 අප්‍රියෙල් 1වෙනි සිකුරාදාට.

  •   යේසුස් මැරුණේ කොහේදීද?

     යේසුස්ව මරන්න අරන් ගියේ “හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා ලෙස හැඳින්වූ හිස්කබල නම් ස්ථානයට.” (යොහන් 19:17, 18) ඒ කාලේදී ඒ තැන තිබුණේ යෙරුසලමෙන් “පිටත.” (හෙබ්‍රෙව් 13:12) සමහර අය ‘යම් දුරක සිට සිදු වන දේ බලාගෙන සිටියා’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 15:40) ඒ නිසා ඒ තැන පිහිටලා තිබුණේ කන්දක කියලා හිතන්න පුළුවන්. කොහොමවුණත් මේ වෙන කොට ගොල්ගොතා කියන තැන තියෙන්නේ කොතනද කියලා නිශ්චිතවම දැනගන්න විදිහක් නැහැ.

  •   යේසුස් මැරුණේ කොහොමද?

     හුඟක් අය විශ්වාස කරන්නේ යේසුස්ව කුරුසයක ඇණ ගැහුවා කියලයි. හැබැයි බයිබලයේ පැහැදිලිවම තියෙනවා යේසුස්ව ‘ගසක එල්ලා මැරුවා’ කියලා. (ක්‍රියා 5:30, ‘පැරණි අනුවාදය’) යේසුස්ව ඇණ ගහපු දේ විස්තර කරන්න බයිබල් ලේඛකයන් “ස්ටාව්රොස්,” “ක්සිලොන්” කියන ග්‍රීක වචන දෙක පාවිච්චි කරලා තියෙනවා. ඒ වචන යොදාගන්නේ කෙළින් හිටවපු කණුවක්, ලීයක් වගේ අදහසක් දෙන්න කියලා හුඟක් විශාරදයන් කියලා තියෙනවා.

  •   යේසුස්ගේ මරණය සිහි කරන්න ඕනෙ කොහොමද?

     යුදෙව්වන් පාස්කු උත්සවය පවත්වපු දවසේ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පෙන්වලා දුන්නා තමන්ගේ මරණය සිහි කරන්න ඕනෙ කොහොමද කියලා. ඊටපස්සේ යේසුස් එයාලට කිව්වා “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා.—1 කොරින්ති 11:24.

     බයිබල් ලේඛකයන් යේසුස්ගේ ජීවිත පූජාව පාස්කු යාගයට සමාන කරලා තියෙනවා. (1 කොරින්ති 5:7) පාස්කුව සමරන හැම වතාවකදීම ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු විදිහ ඊශ්‍රායෙල්වරුන්ට සිහිගැන්වුණා. ඒ වගේ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන හැම වතාවකදීම මිනිසුන්ව පාපයෙනුත් මරණයෙනුත් නිදහස් කරගන්න යේසුස් කරපු දේ ක්‍රිස්තියානීන්ට සිහිගැන්වෙනවා. දෙවියන්ගේ සෙනඟ හැම අවුරුද්දකටම සැරයක් පාස්කු උත්සවය සැමරුවා. යුදෙව් දිනදර්ශනයට අනුව ඒ දවස වැටුණේ නීසාන් මාසේ 14වෙනිදාට. ඒ වගේ මුල් ක්‍රිස්තියානීනුත් හැම අවුරුද්දකටම සැරයක් යේසුස්ගේ මරණය සිහි කළා.

     අදටත් හැම අවුරුද්දකම නීසාන් මාසේ 14 වැටෙන දවසේදී ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් යේසුස්ගේ මරණය සිහි කරනවා.