Skip to content

ගැලවීම ලබන්න නම් යේසුස්ව විශ්වාස කරන එක විතරක් ඇතිද?

ගැලවීම ලබන්න නම් යේසුස්ව විශ්වාස කරන එක විතරක් ඇතිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස් මිය ගියේ මිනිස් වර්ගයාගේ පව් උදෙසා කියලා ක්‍රිස්තියානීන් විශ්වාස කරනවා. (1 පේතෘස් 3:18) හැබැයි ගැලවීම ලබාගන්න නම් යේසුස් අපේ ගැලවුම්කරු කියලා විශ්වාස කරන එක විතරක් මදි. මොකද භූතයන් පවා විශ්වාස කරනවා යේසුස් “දෙවිගේ පුත්‍රයා” කියලා. ඒත් එයාලට ගැලවීම ලැබෙන්නේ නැහැ. එයාලව විනාශයට නියම කරලයි තියෙන්නේ.—ලූක් 4:41; යූද් 6.

 ගැලවීම ලබාගන්න මං කරන්න ඕනෙ මොනවාද?

  •   යේසුස් අපේ පාප වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළා කියලා විශ්වාස කරන්න ඕනේ. (ක්‍රියා 16:30, 31; 1 යොහන් 2:2) යේසුස් සැබෑ පුද්ගලයෙක් කියලත් බයිබලයේ ඔහු ගැන සඳහන් වෙන හැම තොරතුරක්ම සත්‍යයයි කියලත් විශ්වාස කරන එක ඒකට ඇතුළත් වෙනවා.

  •   බයිබලයේ සඳහන් තොරතුරු ගැන නිවැරදි දැනුම ලබාගන්න ඕනේ. (2 තිමෝති 3:15) එක අවස්ථාවකදී පාවුල් සහ සීලස් සිරගෙයක් භාරව සිටි කෙනෙක්ට මෙහෙම කිව්වා. ‘ස්වාමීන් වන යේසුස්ව විශ්වාස කරන්න. එවිට ඔබට ගැලවීම ලැබෙයි.’ එහෙම කිව්වාට පස්සේ ඒ දෙන්නා සිරගෙයි භාරකරුට “යෙහෝවා a දෙවිගේ පණිවිඩය ගැන කියා දෙන්න” පටන්ගත්තා. (ක්‍රියා 16:31, 32) එහෙම කියලා දීපු එකෙන් පැහැදිලි වෙනවා සිරගෙයි භාරකරුට යේසුස් ගැන සැබෑ විශ්වාසයක් ඇති කරගන්න නම් එයා බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න එක අත්‍යවශ්‍ය වුණා කියලා. ඒ කියන්නේ බයිබලයේ සඳහන් සත්‍ය තොරතුරු ගැන නිවැරදි දැනුමක් එයා ලබාගන්න එක අත්‍යවශ්‍ය වුණා කියන එකයි.—1 තිමෝති 2:3, 4.

  •   පසුතැවිලි වෙන්න ඕනේ. (ක්‍රියා 3:19) කලින් ඔයාට තිබුණු වැරදි ආකල්ප ගැනත් ඔයා කරපු වැරදි දේවල් ගැනත් ඔයා පසුතැවෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දේවල් ගැන ඔයා අවංකවම දුක් වෙන්න ඕනේ. දෙවියන් අකමැති දේවල් කරන එක නතර කරද්දීත් “පසුතැවිල්ලට එකඟව ක්‍රියා කරලා” දෙවියන්ගේ හිත සතුටු කරද්දීත් ඔයා අවංකවම පසුතැවෙනවා කියලා හැමෝටම පැහැදිලි වෙයි.—ක්‍රියා 26:20.

  •   බව්තීස්ම වෙන්න ඕනේ. (මතෙව් 28:19) යේසුස් කිව්වා ඔහුගේ ගෝලයන් වෙන්න කැමති අය බව්තීස්ම වෙන්න ඕනෙ කියලා. කලින් සඳහන් කරපු සිරගෙයි භාරකරුත් බව්තීස්ම වුණා. (ක්‍රියා 16:33) තවත් අවස්ථාවකදී පේතෘස් ලොකු සෙනඟකට යේසුස් ගැන සත්‍ය තොරතුරු ඉගැන්නුවාම ඒ දේවල් “මුළු හදවතින්ම පිළිගත් අය බව්තීස්ම වුණා.”—ක්‍රියා 2:40, 41.

  •   යේසුස්ට කීකරු වෙන්න ඕනේ. (හෙබ්‍රෙව් 5:9) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ඔහු “අණ කළ සෑම දෙයක්ම පිළිපදිනවා.” ඒක එයාලා කරන කියන හැම දේකින්ම පැහැදිලිව පේනවා. (මතෙව් 28:20) එයාලා දෙවියන්ගේ වදන්වලට සවන් දෙන එකෙන් විතරක් සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ දේවල් පිළිපදිනවා.—යාකොබ් 1:22.

  •   අවසානය දක්වාම විඳදරාගන්න ඕනේ. (මාක් 13:13) ගැලවීම ලබාගන්න නම් යේසුස්ගේ ගෝලයන් ‘දිගටම විඳදරාගන්න ඕනේ.’ (හෙබ්‍රෙව් 10:36) උදාහරණයකට පාවුල් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණු දවසේ ඉඳන් මැරෙන දවස වෙන කල්ම දෙවියන්ට විශ්වාසවන්තව ඉඳිමින් යේසුස් කියපු හැම දෙයක්ම පිළිපැද්දා.—1 කොරින්ති 9:27.

 ගැලවීම ලබාගන්න “පව්කාරයන්ගේ යාච්ඤාව” උදව් වෙනවාද?

 ක්‍රිස්තියානියයි කියාගන්නා සමහර ආගම්වල ඉන්න අය “පව්කාරයන්ගේ යාච්ඤාව” සහ “ගැලවීමේ යාච්ඤාව” වගේ යාච්ඤා කියනවා. තමන් පව්කාරයන් කියලත් තමන්ගේ පව් වෙනුවෙන් යේසුස් මැරුණා කියලත් තමන් පිළිගන්න බව සාමාන්‍යයෙන් ඒ යාච්ඤාවලදී එයාලා සඳහන් කරනවා. ඒ වගේම තමන්ගේ හදවතට නැත්නම් ජීවිතයට එන්න කියලත් ඒ යාච්ඤාවලදී එයාලා යේසුස්ගෙන් ඉල්ලනවා. හැබැයි “පව්කාරයන්ගේ යාච්ඤාවක්” ගැන බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම යාච්ඤාවක් කටපාඩම් කරලා කියන්න කියලා දිරිගන්වන්නෙත් නැහැ.

 සමහර අය හිතනවා කෙනෙක් “පව්කාරයන්ගේ යාච්ඤාව” කිව්වොත් ඒ කෙනාට අනිවාර්යයෙන්ම ගැලවීම ලැබෙනවා කියලා. ඒත් යාච්ඤාවක් කියපු පළියට කෙනෙක්ට ගැලවීම ලැබෙනවා කියලා කියන්න බැහැ. මොකද හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා හැමෝම අතින් දිගටම වැරදි සිද්ධ වෙනවා. (1 යොහන් 1:8) ඒ නිසයි යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට කිව්වේ යාච්ඤා කරද්දී දිගටම එයාලගේ පව්වලට සමාව ඉල්ලන්න කියලා. (ලූක් 11:2, 4) යම් කාලයක් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අය පවා පස්සේ කාලෙක දෙවියන්ව අත්හැරලා පව්කාර ක්‍රියාවල යෙදුණු නිසා ගැලවීම ලබන්න එයාලට තිබුණු අවස්ථාව අහිමි කරගෙන තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—හෙබ්‍රෙව් 6:4-6; 2 පේතෘස් 2:20, 21.

 “පව්කාරයන්ගේ යාච්ඤාව” ආරම්භ වුණේ කොහොමද?

 “පව්කාරයන්ගේ යාච්ඤාව” ආරම්භ වුණු විදිහ ගැන ඉතිහාසඥයන්ට විවිධ අදහස් තියෙනවා. සමහර අය කියනවා ඒ යාච්ඤාව කියන්න පටන්ගත්තේ රෙපරමාදු ප්‍රතිසංස්කරණය සිද්ධ වුණු කාලයේදී කියලා. තවත් අය කියනවා ක්‍රිස්තියානියයි කියාගන්න ආගම් අලුතින් බිහි වෙන්න පටන්ගත්ත 18වෙනි සහ 19වෙනි සියවස් අතරතුරේදී ඒ යාච්ඤාව කියන්න පටන්ගත්තා කියලා. ඒ කොහොමවුණත් ඒ වගේ යාච්ඤාවක් කියන්න කියලා බයිබලයේ කිසිම තැනක දිරිගන්වලා නැහැ. ඒ වගේම කටපාඩම් කරපු යාච්ඤා කරන්න එපා කියලා බයිබලයේ කියලා තියෙනවා.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.