Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

රෝම 5:8 - “අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය”

රෝම 5:8 - “අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය”

 “අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.”—රෝම 5:8, ‘නව ලොව පරිවර්තනය.’

 “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.”—රෝම 5:8, ‘පැරණි අනුවාදය.’

රෝම 5:8 අදහස

 පව්කාරකම උරුම කරගත්ත මිනිස්සු වෙනුවෙන් තමන්ගේ එකම පුතා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කරන්න ඉඩහැරපු එකෙන් යෙහෝවා a දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා පෙන්නුවා. (යොහන් 3:16) පව්කාරකම උරුම වෙලා තියෙන නිසා මිනිස්සු නිතරම හිතන්නේ, වැඩ කරන්නේ දෙවියන් දීලා තියෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව නෙවෙයි. (කොලොස්සි 1:21, 22) හැබැයි දෙවියන් “ඔහුගේ පුත්‍රයාගේ මරණය තුළින්” දෙවියන් එක්ක සමාදාන වෙන්න මිනිසුන්ට අවස්ථාව දුන්නා. (රෝම 5:10) ඒ නිසා දෙවියන්ගේ යාළුවෝ වෙන්නත් අනාගතේදී හැමදාටම සතුටින් ජීවත් වෙන්නත් අපි හැමෝටම අවස්ථාව උදා වෙලා තියෙනවා.—රෝම 5:11; 1 යොහන් 4:9, 10.

රෝම 5:8 අවට පද

 රෝමයේ ජීවත් වුණ ක්‍රිස්තියානීන්ට තමයි පාවුල් මේ දේ ලිව්වේ. ක්‍රිස්තියානීන්ට තියෙන බලාපොරොත්තුව ගැන සතුටු වෙන්නත් ඒ ගැන නිසැක වෙන්නත් පුළුවන් ඇයි කියලා 5වෙනි පරිච්ඡේදයෙන් පාවුල් පැහැදිලි කළා. (රෝම 5:1, 2) ඒ බලාපොරොත්තුව නිසා “කිසි කලකිරීමක් ඇති වන්නේ නැහැ.” මොකද ඒ බලාපොරොත්තුව අපිට ලැබිලා තියෙන්නේ යේසුස් මාර්ගයෙන් දෙවියන් අපිට පෙන්නලා තියෙන ඉමහත් ආදරය නිසයි. (රෝම 5:5, 6) මුල්ම මිනිසා වුණ ආදම් දෙවියන්ට අකීකරු වුණත් යේසුස් හැම කාරණයකදීම දෙවියන්ට කීකරු වුණා. (රෝම 5:19) ආදම්ගේ අකීකරුකම නිසා එයාගෙන් පැවත එන හැමෝටම පාපයයි, මරණයයි උරුම වුණා. (රෝම 5:12) හැබැයි යේසුස්ගේ කීකරුකම සහ ඔහුගේ ජීවිත පූජාව නිසා කීකරු මිනිසුන්ට සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව ලැබුණා.—රෝම 5:21.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.