Skip to content

එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?

එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයාගෙන් සංකේතවත් කරන්නේ ලෝක ව්‍යාප්තව බලය විහිදුවන සංවිධානයක්. ඒකේ අරමුණ සියලුම රටවල් එක්සත් කරන එක සහ ලෝකෙ පුරා ඉන්න සියලු ජාතීන්ව නියෝජනය කරන එකයි. මුලින්ම ඒ සංවිධානය ඇරඹුණේ ජාතීන්ගේ සංගමය විදිහට. දැන් ඒ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය විදිහට නව මුහුණුවරක් අරන් තියෙනවා.

රතු පාට මෘගයාව හඳුනාගන්නේ කොහොමද?

  1.   දේශපාලනික සංවිධානයක්. මේ මෘගයාට ‘හිස් හතක්’ තියෙනවා. ඒකෙන් “කඳු හතක්” සහ ‘රජවරුන් හත්දෙනෙක්ව’නියෝජනය වෙනවා. (එළිදරව් 17:9, 10) ආණ්ඩු සංකේතවත් කරන්න බයිබලයේ කඳු සහ මෘගයන්ව යොදාගෙන තියෙනවා.—යෙරෙමියා 51:24, 25; දානියෙල් 2:44, 45; 7:17, 23.

  2.   ලෝකෙ පුරාම තියෙන මිනිස් ආණ්ඩුවල ලක්ෂණ මේ මෘගයාට තියෙනවා. එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන හිස් හතක් ඇති මෘගයාගෙන් ලෝකෙ පුරාම තියෙන මිනිස් ආණ්ඩු නියෝජනය වෙනවා. රතු පාට මෘගයා ඒ මෘගයාගේ රූපයක් නිසා ඒදෙන්නා අතරේ සමානකම් තියෙනවා. මේ මෘගයන් දෙන්නාටම හිස් හතක් සහ අං දහයක් තියෙනවා. ඔවුන්ගේ ඇඟ පුරාම දෙවියන්ට අපහාස වෙන නම් ලියලත් තියෙනවා. (එළිදරව් 13:1; 17:3) ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ දෙන්නටම තියෙන්නේ එක සමාන ලක්ෂණ කියලයි.—එළිදරව් 13:15.

  3.   බලය ලැබුණේ වෙනත් ආණ්ඩුවලින්. රතු පාට මෘගයා ‘බිහි වුණේ’ වෙනත් ආණ්ඩුවල උදව්වෙන්.—එළිදරව් 17:11, 17.

  4.   ආගම් එක්ක සම්බන්ධයි. අසත්‍යය උගන්වන සියලුම ආගම් නියෝජනය කරන මහ බැබිලෝනිය ඉඳගෙන ඉන්නේ රතු පාට මෘගයා උඩ. රතු පාට මෘගයාට බලපෑම් කරන්නේ ආගම් කියලා ඒකෙන් පැහැදිලියි.—එළිදරව් 17:3-5.

  5.   දෙවියන්ට අගෞරව කරනවා. රතු පාට ‘මෘගයාගේ ඇඟ පුරාම දෙවියන්ට අපහාසයක් ගෙන දෙන නම් පිරිලා තියෙනවා.’—එළිදරව් 17:3.

  6.   යම් කාලයකට අක්‍රියාශීලී වෙනවා. බයිබල් අනාවැකිවලට අනුව ඒ මෘගයාට යම් කාලයකට ‘අගාධයේ’ a ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ මෘගයා අක්‍රියාශීලී වෙනවා කියන එකයි. ඒත් ඊටපස්සේ ඒ මෘගයා ආයෙත් අගාධයෙන් පිටතට එනවා.—එළිදරව් 17:8.

බයිබල් අනාවැකි ඉටු වුණ විදිහ

 ජාතීන්ගේ සංගමය තුළිනුත් ඊටපස්සේ ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළිනුත් රතු පාට මෘගයා ගැන බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වුණ විදිහ දැන් අපි බලමු.

  1.   දේශපාලනික සංවිධානයක්. “සංවිධානයේ සාමාජිකත්වය දරන සියලුම රටවල්වලට එක හා සමාන බලතල සහ අයිතීන්” ලබා දීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මිනිස් ආණ්ඩුවලට සහාය දෙනවා. b

  2.   ලෝකෙ පුරාම තියෙන මිනිස් ආණ්ඩුවල ලක්ෂණ මේ මෘගයාට තියෙනවා. 2011 වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 193ක් දක්වා වැඩි වුණා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්තයක් විදිහට සියලුම රටවල් හා ජාතීන් නියෝජනය කරනවා කියලා කියන්න පුළුවන්.

  3.   බලය ලැබුණේ වෙනත් ආණ්ඩුවලින්. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වීමට මුල් වුණේ එහි සාමාජිකත්වය දරන රටවල්. ඒ සංවිධානයට බලතල ලබා දෙන්නෙත් සාමාජික රටවල් විසින්මයි.

  4.   ආගම් එක්ක සම්බන්ධයි. ජාතීන්ගේ සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන සංවිධාන දෙකටම ආගම්වල සහයෝගය නොඅඩුව ලැබිලා තියෙනවා. c

  5.   දෙවියන්ට අගෞරව කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ වුණේ “ජාත්‍යන්තර සාමය හා සුරක්ෂිතභාවය රැකීමයි.” d ලෝකෙ පුරාම සාමය ඇති කරන එක හොඳ දෙයක්. ඒත් ඒක කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා දෙවියන් කියලා තියෙද්දිත් ඒ දේ තමන්ට කරන්න පුළුවන් කියලා කියන එකෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන්නේ දෙවියන්ට අගෞරව කිරීමක්.—ගීතාවලිය 46:9; දානියෙල් 2:44.

  6.   යම් කාලයකට අක්‍රියාශීලී වෙනවා. ජාතීන්ගේ සංගමය ඇති වුණේ 1වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ. ඒ ලෝක සාමය පවත්වාගැනීමේ අරමුණින්. ඒත් ඔවුන්ට යුද්ධ ඇති වෙන එක වළක්වන්න බැරි වුණා. 1939දී 2වෙනි ලෝක මහා යුද්ධයත් එක්කම ජාතීන්ගේ සංගමයේ පැවැත්ම අවසන් වුණා. ඒත් 1945දී 2වෙනි ලෝක මහා යුද්ධය අවසන් වුණායින් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු, සංවිධානයේ සැකැස්ම සහ ක්‍රියාත්මක වෙන විදිහ ජාතීන්ගේ සංගමයට හැම අතින්ම වගේ සමානයි.

a බයිබලයේ ‘අගාධය’ කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ “මනින්න බැරි තරම් ගැඹුරක්” කියලා එක පොතක තියෙනවා. (Vine’s Expository Dictionary of Old and New Testament Words) ‘පැරණි අනුවාදයේ’ ඒ වචනය පරිවර්තනය කරලා තියෙන්නේ ‘පාතාලය’ කියලයි. ඒ අනුව අගාධයේ ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ කිසිවක් කර කියාගත නොහැකි අක්‍රියාශීලී තත්වයක ඉන්නවා කියන එකයි.

b එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ 2වෙනි වගන්තිය බලන්න.

c උදාහරණයක් හැටියට 1918දී ඇමරිකාවේ රෙපරමාදු ආගමික කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා පවත්වපු රැස්වීමකදී ජාතීන්ගේ සංගමය ගැන කිව්වේ “පොළොවට දේවරාජ්‍යයේ පාලනය ගෙනෙන්නේ මේ දේශපාලනික සංවිධානය තුළින්” කියලයි. 1965දී බෞද්ධ, කතෝලික, නැඟෙනහිර ඕතඩොක්ස්, හින්දු, ඉස්ලාම්, යුදෙව් සහ රෙපරමාදු ආගම්වල සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් යාච්ඤා කරන්නත් සහයෝගය දෙන්නත් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ එකතු වුණා. ඒ වගේම 1979දී දෙවන ජුවාම් පාවුලු පාප්වරයා කිව්වේ ඔහුගේ එකම පැතුම නම් “ලොවට සාමය හා යුක්තිය ගෙනෙන ශ්‍රේෂ්ඨතම සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහටම පවතියි” කියලයි.

d එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ 1වෙනි වගන්තිය බලන්න.