Skip to content

පාස්කුව කියන්නේ මොකක්ද?

පාස්කුව කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 පාස්කුව කියන්නේ ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන්ව ක්‍රි.පූ. 1513දී දෙවි ගලවාගැනීම සමරන්න යුදෙව්වන් පවත්වන උත්සවයටයි. ඒ වැදගත් සිද්ධිය හැම අවුරුද්දකම යුදෙව්වන්ගේ දිනදර්ශනයේ අබීබ් කියන මාසයේ 14වෙනිදාට සමරන්න කියලා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා. අබීබ් මාසය පසු කාලයේදී හැඳින්නුවේ නීසාන් කියලයි.—නික්මයාම 12:42; ලෙවී කතාව 23:5.

පාස්කුව කියන නම වැටුණේ කොහොමද?

 පාස්කුව කියන වචනෙන් ඊජිප්තුවේ සෑම කුලුඳුල් දරුවෙක්වම සහ කුලුඳුල් සතෙක්වම දෙවි මරා දැමූ අවස්ථාවේ වුණ දේ මතක් කරලා දෙනවා. (නික්මයාම 12:27; 13:15) ඒ පීඩාව ගේන්න කලින් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා බැටළුවෙක්ව නැත්නම් එළුවෙක්ව මරලා උගේ ලේ තම තමන්ගේ ගෙවල්වල උළුවහු කණු දෙකේත් උඩු ලීයේත් ගාන්න කියලා. (නික්මයාම 12:21, 22) දෙවි ඒ ලකුණ දැක්කාම ඒ ගෙදර ඉන්න කුලුඳුල් දරුවාව මරණයට පත් කළේ නැහැ. ඒ වෙනුවට ඒ ගෙය ‘පසු කරගෙන ගියා.’ (නික්මයාම 12:7, 13) පාස්කුව කියන නම වැටුණේ එහෙමයි.

ඒ කාලයේදී පාස්කුව සැමරුවේ කොහොමද?

 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන උපදෙස් දුන්නා. a පාස්කු උත්සවය සමරන්න ඕනෙ විදිහ ගැන බයිබලයේ තියෙන සමහරක් දේවල් බලන්න.

  •   පූජාව: හැම පවුලක්ම අබීබ් (නීසාන්) 10වෙනිදා තම තමන්ගේ පවුලේ අය වෙනුවෙන් අවුරුද්දක් වයසැති බැටළුවෙක්ව (හෝ එළුවෙක්ව) තෝරාගෙන 14වෙනිදා ඌව මැරුවා. පළවෙනි පාස්කුවේදී ඒ සතාගේ ලේ ටිකක් අරගෙන උළුවහු කණු දෙකේ සහ උඩු ලීයේ ගෑවා. ඊටපස්සේ සතාගේ මස් පුලුස්සලා කෑවා.—නික්මයාම 12:3-9.

  •   ආහාරය: ඊශ්‍රායෙල්වරුන් බැටළුවාට (හෝ එළුවාට) අමතරව පාස්කු ආහාරය සඳහා මුහුන් නොදැමූ රොටිත් තිත්ත පලාත් එකතු කරගත්තා.—නික්මයාම 12:8.

  •   උත්සවය: ඊශ්‍රායෙල්වරුන් පාස්කු උත්සවයෙන් පස්සේ දවස් 7ක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවය සැමරුවා. ඒ කාලය පුරා මුහුන් දැමූ කිසිම දෙයක් කෑවේ නැහැ.—නික්මයාම 12:17-20; 2 ලේකම් 30:21.

  •   ඉගැන්වීම: යෙහෝවා දෙවි ගැන දරුවන්ට උගන්වන්න දෙමාපියන් පාස්කුව යොදාගත්තා.—නික්මයාම 12:25-27.

  •   ගමන: පස්සේ කාලයේදී පාස්කු උත්සවය සමරන්න ඊශ්‍රායෙල්වරුන් යෙරුසලමට යන්න පුරුදු වුණා.—ද්විතීය කතාව 16:5-7; ලූක් 2:41.

  •   වෙනත් චාරිත්‍ර: යේසුස් පොළොවේ සිටි කාලය වෙද්දී පාස්කු උත්සවයට වයින් බීමත් ගී ගැයීමත් ඇතුළත් වෙලා තිබුණා.—මතෙව් 26:19, 30; ලූක් 22:15-18.

පාස්කුව ගැන වැරදි මත

 වැරදි මතය: ඊශ්‍රායෙල්වරුන් පාස්කු ආහාරය ගත්තේ නීසාන් 15වෙනිදායි.

 ඇත්ත මේකයි: බැටළුවාව නීසාන් 14වෙනිදා හිරු බැස යෑමත් එක්කම මරලා එදා රෑම කෑමට ගන්න කියලා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා. (නික්මයාම 12:6, 8) ඊශ්‍රායෙල්වරුන් දවසක් විදිහට ගණන් ගත්තේ හිරු බැස යෑමේ සිට ඊළඟ හිරු බැස යෑම දක්වා කාලයයි. (ලෙවී කතාව 23:32) එහෙම බලද්දී ඊශ්‍රායෙල්වරුන් නීසාන් මාසයේ 14වෙනි දවස පටන්ගද්දීම බැටළුවාව මරලා කෑමට ගත්තා කියලා කියන්න පුළුවන්.

 වැරදි මතය: ක්‍රිස්තියානීනුත් පාස්කුව සමරන්න ඕනේ.

 ඇත්ත මේකයි: යේසුස් ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා පාස්කුව සැමරුවාට පස්සේ අලුත් සැමරීමක් හඳුන්වලා දුන්නා. ඒකට කියන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලයි. (ලූක් 22:19, 20; 1 කොරින්ති 11:20) “පාස්කු යාගය” විදිහට ක්‍රිස්තුස් ඔහුගේ ජීවිතය පූජා කරපු නිසා පාස්කු උත්සවය වෙනුවට ක්‍රිස්තියානීන් සමරන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයයි. (1 කොරින්ති 5:7) පාස්කුවේදී සතෙක් මරලා පූජා කරපු යාගයට වඩා යේසුස්ගේ ජීවිත පූජාව ගොඩක් උතුම් එකක්. මොකද මුළු මිනිස් වර්ගයාවම පාපය සහ මරණය කියන වහල්කමෙන් බේරාගන්න පුළුවන් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාවට විතරයි.—මතෙව් 20:28; හෙබ්‍රෙව් 9:15.

a කාලයත් එක්කම සමහර වෙනස්කම් සිද්ධ වුණා. උදාහරණයකට, ඊජිප්තුවෙන් පිටත් වෙන්න ලෑස්ති වෙන්න තිබුණ නිසා පළවෙනි පාස්කුව ඊශ්‍රායෙල්වරුන් සැමරුවේ “ලහි ලහියේ.” (නික්මයාම 12:11) ඒත් පොරොන්දු දේශයට ආවාට පස්සේ ඔවුන්ට කලබලෙන් පාස්කුව සමරන්න ඕනෙ වුණේ නැහැ.