Skip to content

“ටෝරා” නමින් හඳුන්වන්නේ මොකක්ද?

“ටෝරා” නමින් හඳුන්වන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “ටෝරා” කියන්නේ හෙබ්‍රෙව් වචනයක්. ඒක “උපදෙස්,” “ඔවදන්,” “නීතිය” විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. (හිතෝපදේශ 1:8; 3:1; 28:4) මේ හෙබ්‍රෙව් වචනය බයිබලයේ යොදාගෙන තියෙන විදි කිහිපයක් බලමු.

  •   හුඟක් වෙලාවට “ටෝරා” කියලා හඳුන්වන්නේ උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව කියන බයිබලයේ මුල් පොත් පහයි. ඒකට පොත් පහ කියන තේරුම තියෙන පංචපුස්තකය කියලත් කියනවා. “ටෝරා” නැත්නම් ඒ පොත් පහ ලිව්වේ මෝසෙස් නිසා ඒක ‘මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය’ කියලත් හඳුන්වනවා. (යොෂුවා 8:31; නෙහෙමියා 8:1) ඒක මුලින්ම ලිව්වේ එක පොතක් විදිහට වුණත් පාවිච්චි කරන්න ලේසි වෙන්න පස්සේ කාලෙකදී ඒක පොත් පහකට වෙන් කරලා තියෙනවා.

  •   “පාප පූජාව සඳහා නීතිය,” “ලාදුරු රෝගය හා විෂබීජ සම්බන්ධයෙන් නීතිය,” “නසරීතවරයෙකු විසින් අනුගමනය කළ යුතු නීතිය” වගේ එක එක කාරණා ගැන ඊශ්‍රායෙල්වරුන්ට දීලා තිබුණු නීති හඳුන්වන්නෙත් “ටෝරා” කියන වචනයෙන්.—ලෙවී කතාව 6:25; 14:57; ගණන් කතාව 6:13.

  •   දෙමාපියන්, උගත් අය වගේම දෙවියන් දුන්න ‘උපදෙස්,’ ‘ඔවදන්’ හඳුන්වන්නත් “ටෝරා” කියන වචනය යොදාගෙන තියෙනවා.—හිතෝපදේශ 1:8; 3:1; 13:14; යෙසායා 2:3.

“ටෝරා” ලියවිල්ලට නැත්නම් පංචපුස්තකයට ඇතුළත් වෙන්නේ මොනවද?

  •   දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කරපු අවස්ථාවේ ඉඳන් මෝසෙස්ගේ මරණය දක්වාම දෙවියන් මිනිසුන් එක්ක කටයුතු කරපු විදිහ ඒකේ සඳහන් වෙනවා.—උත්පත්ති 1:27, 28; ද්විතීය කතාව 34:5.

  •   මෝසෙස් මාර්ගයෙන් දෙවියන් දුන්න නීතිය. (නික්මයාම 24:3) ඒක හැදිලා තියෙන්නේ අණපනත් 600කට වඩා වැඩි ගණනක් එකතු වෙලා. දෙවියන්ට හැර වෙන කිසි කෙනෙකුට නමස්කාර කරන්නේ නැහැ කියලා පෙන්වන්න යුදෙව්වන් කියපු “ෂෙමා” කියන යාච්ඤාව ඒ අතරේ තියෙන ප්‍රධාන එකක්. ඒ යාච්ඤාවේ එක තැනක මෙහෙම කියනවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.” (ද්විතීය කතාව 6:4-9) යේසුස් ඒක විස්තර කළේ “උතුම්ම සහ පළමුවෙනි ආඥාව” විදිහටයි.—මතෙව් 22:36-38.

  •   යෙහෝවා කියන දෙවියන්ගේ නම 1,800 වතාවක් විතර ඒකේ සඳහන් වෙනවා. දෙවියන්ගේ නම පාවිච්චි කරන එක තහනම් කරනවා වෙනුවට ඒ නම පාවිච්චි කරන්න කියලා දෙවියන්ගේ සෙනඟට දීපු ආඥා “ටෝරා” ලියවිල්ලේ තියෙනවා.—ගණන් කතාව 6:22-27; ද්විතීය කතාව 6:13; 10:8; 21:5.

“ටෝරා” ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: “ටෝරා” ලියවිල්ලේ තියෙන නීති සදාකාලිකයි. ඒවා අවලංගු වෙන්නේ නැහැ.

 ඇත්ත මේකයි: “ටෝරා” ලියවිල්ලේ තියෙන සබත, පූජකයන් පත් කිරීම, සමඟි වීමේ දවස වගේ දේවල් ගැන තියෙන නීති “සදාතන” නැත්නම් “සදහටම” වලංගු නීති කියලා සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වෙලා තියෙනවා. (නික්මයාම 31:16; 40:15; ලෙවී කතාව 16:33, 34, පොදු නව අනුවාදය) ඒ වුණත් ඒ පදවල “සදාතන,” “සදහටම” කියන වචනවල මුල් හෙබ්‍රෙව් වචනයෙන් සදාකාලයටම කියන අදහස වගේම දින නියමයක් නැති දිග කාලයක් කියන අදහසත් එනවා. a මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය පදනම් ගිවිසුම දීලා අවුරුදු 900කට විතර පස්සේ දෙවියන් කිව්වා ඒ ගිවිසුම වෙනුවට “අලුත් ගිවිසුමක්” ඇති කරනවා කියලා. (යෙරෙමියා 31:31-33) “‘අලුත් ගිවිසුමක්’ කියා පැවසීමෙන් කලින් තිබූ ගිවිසුම දෙවියන් අවලංගු කළා.” (හෙබ්‍රෙව් 8:7-13) මීට අවුරුදු 2,000කට විතර කලින් යේසුස්ගේ ජීවිත පූජාව මත පදනම්ව අලුත් ගිවිසුම වලංගු වුණා.—එෆීස 2:15.

 වැරදි මතය: යුදෙව් වාචික සම්ප්‍රදායන්වලට සහ “තල්මුඩයට” “ටෝරා” ලියවිල්ල තරම්ම වැදගත්කමක් තියෙනවා.

 ඇත්ත මේකයි: “ටෝරා” ලියවිල්ලට අමතරව තවත් වාචික නීතියක් දුන්නා කියලා දේවවචනයේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට පැවසූ දේවල් ලියාගන්න.”’ (නික්මයාම 34:27) වාචික නීතිය පස්සේ කාලෙකදී ලේඛනගත කරලා ඒක “මිෂ්නා” කියලා නම් කළා. අන්තිමේදී ඒකට තවත් සම්ප්‍රදායන් එකතු කරලා ඒක “තල්මුඩය” කියලා හැඳින්නුවා. ඒකට පරිසිවරු හදාගත්ත සම්ප්‍රදායන් ඇතුළත් වුණා. ඒ සම්ප්‍රදායන් නිතරම වගේ “ටෝරා” ලියවිල්ලේ තිබුණු අදහස් එක්ක ගැටුණා. “ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා” කියලා යේසුස් පරිසිවරුන්ට කිව්වේ ඒ නිසයි.—මතෙව් 15:1-9.

 වැරදි මතය: කාන්තාවන්ට “ටෝරා” ලියවිල්ල ඉගෙනගන්න තහනම්.

 ඇත්ත මේකයි: මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය ඊශ්‍රායෙලයේ හිටපු කාන්තාවන්, දරුවන් ඇතුළු හැම කෙනෙකුටම ඇහෙන්න කියවන්න කියලා ඒ නීතියෙම සඳහන් වෙලා තිබුණා. ඒකට හේතුව බයිබලයේ තියෙන මේ දෙයින් පැහැදිලියි. ‘එවිට නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත් ඔවුන් සියලුදෙනාටම හැකි වෙයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්නත් මේ නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඔවුන් පුරුදු වෙයි.’—ද්විතීය කතාව 31:10-12. b

 වැරදි මතය: “ටෝරා” ලියවිලිවල සැඟවුණු පණිවිඩ තියෙනවා.

 ඇත්ත මේකයි: “ටෝරා” ලියවිල්ල ලියපු මෝසෙස්ම කියලා තියෙනවා ඒකේ තියෙන අදහස් ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් කියලා. (ද්විතීය කතාව 30:11-14) “ටෝරා” ලියවිලිවල සැඟවුණු පණිවිඩ තියෙනවා කියන අදහස ආවේ “කබාලා” විදිහට හඳුන්වන සම්ප්‍රදායානුකූල යුදෙව් ගුප්තවාදයෙන්. ඒකේ ‘දක්ෂ’ විදිහට ප්‍රයෝගකාරී උපක්‍රම යොදාගෙන ශුද්ධ ලියවිල්ලේ අදහස් තේරුම් කරලා තියෙනවා. c2 පේතෘස් 1:16.

a වැඩි විස්තර සඳහා ‘තියොලොජිකල් වර්ඩ්බුක් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට්’ කියන පොතේ 2වෙනි වෙළුමේ 672-673 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැහැ.

b කාන්තාවන්ට “ටෝරා” ලියවිල්ල ඉගෙනගන්න එක යුදෙව් නීති සම්ප්‍රදායෙන් තහනම් කරලා තිබුණා. උදාහරණයකට එලිඒසර් බෙන් හර්කිනෙස් කියන රබ්බිවරයා කියපු මේ දේ “මිෂ්නා” ලියවිල්ලේ (සෝටා 3:4) තියෙනවා. “කෙනෙක් තමන්ගේ දූවරුන්ට දෙවියන්ගේ නීති ගැන උගන්වනවා නම් ඒක හරියට එයාලට අසභ්‍ය දේවල් ගැන උගන්වනවා වගෙයි.” එයා කියපු දේ යෙරුසලම් “තල්මුඩයේ” (සෝටා 3:19අ) මෙහෙම තියෙනවා. “‘ටෝරා’ ලියවිලිවල තියෙන දේවල් ගැහැනුන්ට උගන්වනවාට වඩා හොඳයි ඒවා පුච්චලා දාන එක.”

c උදාහරණයකට “ටෝරා” ලියවිල්ල ගැන “කබාලා” කියන යුදෙව් ගුප්තවාදයේ තිබුණු අදහස ගැන එක විශ්වකෝෂයක සඳහන් වුණේ මෙහෙමයි. “‘ටෝරා’ ලියවිල්ල ලියලා තියෙන්නේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් විදිහට නෙවෙයි. ඒකේ තියෙන දේවලින් තවත් හුඟක් දේවල් අදහස් වෙනවා.”—Encyclopaedia Judaica, Second edition, Volume 11, page 659.