Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?

 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය නැත්නම් “රාත්‍රි භෝජනය” අපි පවත්වන්නේ බයිබලයේ කියලා තියෙන විදිහටමයි. (1 කොරින්ති 11:20, පැරණි අනුවාදය) හැබැයි යේසුස්ගේ මරණය සිහි කිරීම සම්බන්ධයෙන් වෙනත් ක්‍රිස්තියානි ආගම්වල තියෙන හුඟක් විශ්වාසයන් සහ වත්පිළිවෙත් බයිබලය මත පදනම් ඒවා නෙමෙයි.

අරමුණ

 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි පවත්වන්නේ යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්වන්නයි. (මතෙව් 20:28; 1 කොරින්ති 11:24) යේසුස්ගේ මරණය සිහි කරන එක නිකම්ම වත්පිළිවෙතක්වත් දෙවියන්ගේ අනුමැතිය ලබන්න හෝ සමාව ලබන්න කරන චාරිත්‍රයක්වත් නෙමෙයි. බයිබලයේ කියන විදිහට අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් වෙන්නේ යේසුස්ව විශ්වාස කරන එකෙන් මිසක් ආගමික චාරිත්‍රයක් පවත්වන එකෙන් නෙමෙයි.—රෝම 3:25; 1 යොහන් 2:1, 2.

කී සැරයක් පවත්වන්න ඕනද?

 ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය පවත්වන්න කියලා යේසුස් ගෝලයන්ට අණ කෙරුවත් කී සැරයක් ඒක පවත්වන්න ඕනද කියලා කිව්වේ නැහැ. (ලූක් 22:19) සමහරු හිතනවා මාස්පතා ඒක පවත්වන්න ඕන කියලා. තවත් අය හිතනවා සතිපතා, දවස්පතා, දවසකට කීප සැරයක් පවත්වන්න ඕන කියලා. හිතෙන හිතෙන ඕනම වෙලාවක ඒක පවත්වන්න පුළුවන් කියලා හිතන අයත් ඉන්නවා. a ඒත් අපි හිතලා බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා.

 යේසුස්, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්තුවේ යුදෙව්වන් පාස්කුව පැවැත්තුව දවසෙයි. ඒ දවසෙමයි ඔහු මිය ගියේ. (මතෙව් 26:1, 2) ඒක අහම්බෙන් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. මොකද බයිබලයේ යේසුස්ගේ ජීවිත පූජාව පාස්කු බැටළුවා එක්ක සන්සන්දනය කරලා තියෙනවා. (1 කොරින්ති 5:7, 8) පාස්කුව පැවැත්තුවේ අවුරුද්දකට සැරයයි. (නික්මයාම 12:1-6; ලෙවී කතාව 23:5) ඒ අනුව, මුල් ක්‍රිස්තියානීනුත් b යේසුස්ගේ මරණය සිහි කෙරුවේ අවුරුද්දකට සැරයයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනුගමනය කරන්නෙත් බයිබලය මත පදනම් ඒ දේමයි.

දිනය සහ වෙලාව

 යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්න ඕන දිනය, වෙලාව වගේම කී සැරයක් පවත්වන්න ඕනද කියන එක තීරණය කරන්න එදා යේසුස් කරපු දේවල් උදව් වෙනවා. මුල් සියවසේ යුදෙව් දිනදර්ශනයට අනුව ඔහු මරණය සිහි කිරීම පිහිටෙව්වේ ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 14වෙනිදා හිරු බැස යෑමෙන් පසුවයි. (මතෙව් 26:18-20, 26) මුල් ක්‍රිස්තියානීන් වගේ අපිත් හැම අවුරුද්දකම ඒ දිනයේදී සිහි කිරීම පවත්වනවා. c

 ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 14 සිකුරාදා දවසක් වුණත් හැම අවුරුද්දෙම ඒ දවස සිකුරාදාවක් වෙන්නේ නැහැ. නීසාන් 14වෙනිදා කියන දිනය අපි තීරණය කරන්නේ නවීන දින යුදෙව් දිනදර්ශනයට අනුව නෙමෙයි යේසුස්ගේ කාලයේදී ඒ අය ඒ දිනය තීරණය කරපු විදිහටයි. d

රොටි සහ වයින්

 යේසුස් පිහිටෙව්ව මරණය සිහි කිරීමට පාවිච්චි කෙරුවේ පාස්කු භෝජනයෙන් ඉතුරු වුණ මුහුන් නොදැමූ රොටි සහ වයින්. (මතෙව් 26:26-28) යේසුස් කරපු දේ අනුගමනය කරන්න ඕන හින්දා මුහුන් හෝ රසකාරක නොදැමූ රොටි සහ රතු වයින් විතරයි අපි පාවිච්චි කරන්නේ. රසකාරක හෝ කුළුබඩු මිශ්‍ර කරපු මිදි යුෂවත් වයින්වත් පාවිච්චි කරන්නේ නැහැ.

 සමහර ක්‍රිස්තියානි ආගම් පාවිච්චි කරන්නේ මුහුන් දැමුව රොටියි. ඒත් බයිබලයේ හුඟක් වෙලාවට මුහුන්වලින් සංකේතවත් කරන්නේ පව්කාර ක්‍රියාවන්. (ලූක් 12:1; 1 කොරින්ති 5:6-8; ගලාති 5:7-9) ඒ නිසා කිසි පාපයක්, කැළැලක් නැති යේසුස්ගේ ශරීරය සංකේතවත් කරන්න සුදුසුම දේ වෙන්නේ මුහුන් හෝ කිසිම රසකාරකයක් නොදැමූ රොටි විතරයි. (1 පේතෘස් 2:22) බයිබල් පදනමක් නැති තවත් වත්පිළිවෙතක් තමයි වයින් වෙනුවට නැවුම් මිදි යුෂ පාවිච්චි කරන එක. සමහර ක්‍රිස්තියානි ආගම් එහෙම කරන්නේ මත්පැන් භාවිතය බයිබලයේ තහනම් කරලා තියෙනවා කියන හැඟීම ඇතුවයි.—1 තිමෝති 5:23.

සංකේත විතරයි

 සිහි කිරීම පවත්වන අවස්ථාවේදී පාවිච්චි කරන මුහුන් නොදැමූ රොටි සහ රතු වයින් යේසුස්ගේ ශරීරය සහ රුධිරය සංකේතවත් කරනවා. සමහරු හිතන විදිහට ඒවා ආශ්චර්යවත් විදිහට ඔහුගේ ශරීරය හා ලේ බවට හැරෙන්නේ නැහැ. ඒකට පදනම සපයන මේ බයිබල් පද බලන්න.

  •   තමන්ගේ රුධිරය බොන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට අණ කෙරුවා නම් ඒක හරියට රුධිරයෙන් වළකින්න කියලා දෙවියන් දීලා තියෙන නීතිය කඩ කරන්න කියලා කියනවා වගෙයි. (උත්පත්ති 9:4; ක්‍රියා 15:28, 29) ඒක එහෙම වෙන්න බැහැ. මොකද රුධිරයේ පරිශුද්ධභාවය සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන නීතියට පටහැනි දෙයක් කරන්න කියලා යේසුස් කවදාවත් උපදෙස් දෙන්නේ නැහැ.—යොහන් 8:28, 29.

  •   යේසුස්ගේ ජීවිත පූජාව ඉදිරියේදී වෙනවා කියලා අඟවමින් යේසුස් කිව්වේ “වගුරුවනු ලබන මගේ රුධිරය” කියලයි. ගෝලයන් ඇත්තටම ඔහුගේ රුධිරය පානය කෙරුවා නම් ඔහුට ඒ වගේ දෙයක් කියන්න බැහැ.—මතෙව් 26:28.

  •   යේසුස් ඔහුගේ ජීවිතය පූජා කෙරුවේ එක වරයි. ඒක ‘නැවත වරක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.’ (හෙබ්‍රෙව් 9:25, 26) ඒත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී රොටි සහ වයින් ඔහුගේ ශරීරය හා රුධිරය බවට පත් වෙනවා නම් රොටි සහ වයින් ගන්න අය ඒක කරන හැම අවස්ථාවකම ඔහුගේ ජීවිතය නැවත නැවත පූජා කරනවා වගේ.

  •   යේසුස් කිව්වේ “මාව පූජා කිරීමට” කියලා නෙමෙයි “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලයි.—1 කොරින්ති 11:24.

 රොටි සහ වයින් ආශ්චර්යවත් විදිහට යේසුස්ගේ ශරීරය සහ රුධිරය බවට හැරෙනවා කියලා හිතන අය ඔවුන්ගේ විශ්වාසය පදනම් කරගෙන තියෙන්නේ සමහර බයිබල් පදවලට අනුවයි. උදාහරණෙකට හුඟක් බයිබල් පරිවර්තනවල වයින් ගැන යේසුස් කියද්දී “මාගේ ලේය” කියලා සඳහන් කරලා තියෙනවා. (මතෙව් 26:28) කොහොමවුණත් යේසුස් කිව්ව දේ මේ විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්. ‘මෙයින් නියෝජනය වන්නේ මගේ රුධිරයයි.’ හුඟක් අවස්ථාවලදී වගේ මේ අවස්ථාවෙදිත් ඉගැන්නුවේ උපමාලංකාරයක් පාවිච්චි කරලයි.—මතෙව් 13:34, 35.

රොටි සහ වයින් ගන්න සුදුස්සෝ කවුද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වද්දී රොටි සහ වයින් ගන්නේ කීපදෙනෙක් විතරයි. ඒකට හේතුව මොකක්ද?

 යෙහෝවා දෙවියන් සහ පුරාණ ඊශ්‍රායෙල් ජාතිය අතර පිහිටුවලා තිබුණ ගිවිසුම වෙනුවට යේසුස් වැගිරුව රුධිරය මගින් “අලුත් ගිවිසුමක්” පිහිටෙව්වා. (හෙබ්‍රෙව් 8:10-13) ඒ අලුත් ගිවිසුමට ඇතුළත් අය තමයි යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවේදී රොටි සහ වයින් ගන්නේ. දෙවියන් විශේෂ ආකාරයකින් “කැඳවනු ලැබූ අය” මිසක් හැම ක්‍රිස්තියානියෙක්ම ඒවා ගන්නේ නැහැ. (හෙබ්‍රෙව් 9:15; ලූක් 22:20) ඒ අය යේසුස් ක්‍රිස්තුස් එක්ක ස්වර්ගයේ පාලනය කරන්න හවුල් වෙනවා. ඒ වරප්‍රසාදය ලැබෙන්නේ 1,44,000දෙනෙක්ට විතරයි.—ලූක් 22:28-30; එළිදරව් 5:9, 10; 14:1, 3.

 යේසුස් එක්ක පාලනය කරන්න ස්වර්ගයට ගන්න ‘කුඩා රැළට’ අමතරව පොළොවේ සදාකාල ජීවනය ලබන “මහත් සමූහයක්” ඉන්නවා. (ලූක් 12:32; එළිදරව් 7:9, 10) ඒ අය රොටි සහ වයින් ගත්තේ නැතත් යේසුස්ගේ ජීවිතය අපි හැමෝම වෙනුවෙන් පූජා කරපු නිසා ඒක අගය කරන්න අපිත් ඒ අවස්ථාවට සහභාගි වෙනවා.—1 යොහන් 2:2.

a ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට යොමු දක්වද්දී සමහර බයිබල් පරිවර්තනවල “යම් පමණ වර” කියලා සඳහන් කරලා තියෙනවා. සමහරු හිතනවා කී සැරයක් පවත්වන්න ඕනෙද කියලා අඟවන්න ඒක දාලා තියෙනවා කියලා. ඒත් මුල් ග්‍රීක භාෂාවේ අර්ථයට අනුව ඒකේ නිවැරදි අදහස තමයි “සෑම අවස්ථාවකදීම” නැත්නම් “සෑම වතාවකදීම” කියන එක.—1 කොරින්ති 11:25, 26.

b The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge, IVවෙනි වෙළුම, 43-44වෙනි පිටු සහ McClintock and Strong’s Cyclopedia, VIIIවෙනි වෙළුමේ, 836වෙනි පිටුව බලන්න.

c The New Cambridge History of the Bible, 1වෙනි වෙළුම, 841වෙනි පිටුව බලන්න.

d නවීන යුදෙව් දිනදර්ශනයේ නීසාන් මාසේ පටන්ගන්න දවස තීරණය කරන්නේ තාරකා ශාස්ත්‍රයට අනුව නව සඳ පිහිටන විදිහටයි. හැබැයි මුල් සියවසේදී ඒ ක්‍රමය නෙමෙයි පාවිච්චි කෙරුවේ. ඒ වෙනුවට මාසය පටන්ගන්න දවස තීරණය කෙරුවේ යෙරුසලමට නව සඳ මුලින්ම පෙනුණ අවස්ථාවට අනුවයි. ඒ දවස දැන් තාරකා ශාස්ත්‍රයට අනුව නව සඳ පිහිටන දවසට පස්සේ දවස හෝ දවස් කීපයකට පස්සේ දවසක් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරන දිනය නවීන යුදෙව් අය පාස්කුව පවත්වන දිනයට වඩා වෙනස් වෙන්න ඒක එක හේතුවක්.