Skip to content

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන්ව ඔයාගේ යාළුවෙක් කරගන්න නම් මුලින්ම ඔයා ඔහු ගැන දැනගන්න ඕනේ. ඒ වගේම දෙවියන් සතුටු වෙන විදිහට ඔයා දේවල් කරන්න ඕනේ. ඔයා එහෙම කරද්දී “ඔහු ඔබට ළං වෙයි” කියලා බයිබලයේ කියනවා. (යාකොබ් 4:8) ඒ වගේම “ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි” කියලත් බයිබලයේ කියනවා.—ක්‍රියා 17:27.

 දෙවියන්ව යාළුවෙක් කරගන්න කරන්න ඕන දේවල්

 බයිබලය කියවන්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.”—2 තිමෝති 3:16.

  •  තේරුම: බයිබලයේ කර්තෘ දෙවියන්. බයිබලයට ඇතුළත් කරන්න ඕනෙ මොන තොරතුරුද කියලා ඔහු බයිබලය ලියපු අයට දැන්නුවා. අපි මොන වගේ ජීවිතයක් භුක්ති විඳිනවාටද දෙවියන් කැමති කියලා ඔහු මේ විශේෂ පොතෙන් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ආදරය, යුක්තිය, දයාව වගේ දෙවියන්ගේ ගතිලක්ෂණ ගැනත් ඔහු බයිබලය මාර්ගයෙන් අපිට දැනුම් දීලා තියෙනවා.—නික්මයාම 34:6; ද්විතීය කතාව 32:4.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? හැම දවසකම බයිබලය කියවන්න. (යොෂුවා 1:8) කියවපු දේ ගැන හොඳට කල්පනා කරලා ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මේ කොටසින් දෙවියන් ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?’—ගීතාවලිය 77:12.

     උදාහරණෙකට යෙරෙමියා 29:11 කියවලා ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘දෙවියන් කැමති මම ප්‍රශ්න ගැටලු අද්දකිනවාටද නැත්නම් සාමකාමී ජීවිතයක් ගත කරනවාටද? දෙවියන් මට දඬුවම් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ද නැත්නම් ඔහුට ඕනෙ මට හොඳ අනාගතයක් ලබා දෙන්නද?’

 දෙවියන්ගේ නිර්මාණ දිහා හොඳට බලන්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.”—රෝම 1:20.

  •  තේරුම: චිත්‍රයක් දිහා බලද්දී ඒ චිත්‍රය ඇඳපු කෙනා මොන වගේ කෙනෙක්ද කියලා අපිට හොඳට තේරුම්ගන්න පුළුවන්. සංකීර්ණ යන්ත්‍රයක් දිහා බලද්දී ඒක නිෂ්පාදනය කරපු කෙනා කොයි වගේද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. ඒ වගේ දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් ගැන හොඳට බලද්දී දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. උදාහරණයකට මිනිස් මොළය කොයි තරම් සංකීර්ණද, ඒකේ කොයි තරම් තොරතුරු ගබඩා කරන්න පුළුවන්ද කියන එක ගැන හිතද්දී දෙවියන් කොච්චර ප්‍රඥාවන්තද කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම ඉර සහ තරු පිට කරන ශක්තිය ගැන හිතද්දී දෙවියන් කොච්චර බලවත් කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.—ගීතාවලිය 104:24; යෙසායා 40:26.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? අවට පරිසරයේ තියෙන දේවල් දිහා බලලා ඒ දේවල් ගැන තව හොඳින් ඉගෙනගන්න කාලය ගන්න. එහෙම කරද්දී ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘ස්වාභාවික පරිසරයේ තියෙන මේ පුදුමාකාර සැකැස්ම දිහා බලද්දී ඒකෙන් දෙවියන් ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?’ a ඒත් අවට පරිසරය දිහා බැලුවා කියලා අපේ නිර්මාතෘ ගැන හැම තොරතුරක්ම දැනගන්න අපිට බැහැ. ඒ නිසයි ඔහු අපිට බයිබලය දීලා තියෙන්නේ.

 දෙවියන්ගේ නම පාවිච්චි කරන්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි. ඔහු මට කන්නලව් කරන්නේය. එවිට මම ඔහුට උත්තර දෙන්නෙමි.”—ගීතාවලිය 91:14, 15.

  •  තේරුම: යෙහෝවා කියන දෙවියන් ඔහුගේ නාමය දැනගෙන ඒක ගෞරවනීය විදිහට පාවිච්චි කරන අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා. b (ගීතාවලිය 83:18; මලාකි 3:16) දෙවියන් තමන්ගේ නම අපිට දැනුම් දීලා තියෙන එකෙන් ඔහු කවුද කියලා අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඔහු කියලා තියෙනවා “මාගේ නාමය යෙහෝවාය” කියලා.—යෙසායා 42:8.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? දෙවියන් ගැන කතා කරන හැම වෙලාවකම යෙහෝවා කියන ඔහුගේ නම පාවිච්චි කරන්න.

 යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.”—ගීතාවලිය 145:18.

  •  තේරුම: යෙහෝවා දෙවියන් තමන්ට විශ්වාසයෙන් යාච්ඤා කරන අයට ළං වෙනවා. යාච්ඤාව කියන්නේ අපි දෙවියන්ට කරන නමස්කාරයට ඇතුළත් එක කොටසක්. ඒකෙන් දෙවියන් ගැන අපේ හිතේ තියෙන ගෞරවය පෙන්වන්න අපිට පුළුවන්.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? දෙවියන්ට නිතරම යාච්ඤා කරන්න. (1 තෙසලෝනික 5:17) ඔයා මුහුණ දෙන ප්‍රශ්න වගේම ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්න.—ගීතාවලිය 62:8. c

 දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.”—හෙබ්‍රෙව් 11:6.

  •  තේරුම: දෙවියන්ට ළං වෙන්න නම් අපිට දෙවියන් ගැන විශ්වාසයක් තියෙන්නම ඕනේ. බයිබලයේ කියන විදිහට විශ්වාස කරනවා කියලා කියන්නේ නිකම්ම දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එක විතරක් නෙවෙයි. ඒකට දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන එක ඒ කියන්නේ ඔහුගේ පොරොන්දු, ඔහු දීලා තියෙන මඟ පෙන්වීම් ඇතුළු හැම දෙයක්ම විශ්වාස කරන එක ඇතුළත් වෙනවා. කෙනෙක් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න නම් ඔයා එයාව විශ්වාස කරන එක හරිම වැදගත්.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න දැනුම හුඟක් වැදගත්. (රෝම 10:17) ඒ නිසා බයිබලය හොඳින් අධ්‍යයනය කරලා දෙවියන් ගැනත් ඔහු දීලා තියෙන මඟ පෙන්වීම් ගැනත් විශ්වාසයක් ඇති කරගන්න. ඔයාට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් ආසාවෙන් ඉන්නවා. d

 දෙවියන් සතුටු වෙන දේවල් කරන්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.”—1 යොහන් 5:3.

  •  තේරුම: දෙවියන්ට තියෙන ආදරය නිසා ඔහු දීලා තියෙන ආඥාවලට උපරිමයෙන්ම කීකරු වෙන අයට යෙහෝවා දෙවියන් ළං වෙනවා.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඔයා බයිබලය අධ්‍යයනය කරද්දී දෙවියන් කැමති මොනවාටද, අකමැති මොනවාටද කියලා හොඳින් අඳුරගන්න. ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ නිර්මාතෘව සතුටු කරන්න මං කරගන්න ඕනෙ මොන වගේ වෙනස්කම්ද?’—1 තෙසලෝනික 4:1.

 දෙවියන්ට කීකරු වෙලා ප්‍රයෝජන අද්දකින්න

  •  බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.”—ගීතාවලිය 34:8.

  •  තේරුම: දෙවියන් කොයි තරම් යහපත් කෙනෙක්ද කියලා බලන්න කියලා දෙවියන් ඔයාට ආරාධනා කරනවා. දෙවියන්ගේ ආදරය, ඔහු උදව් කරන විදිහ අද්දකිද්දී ඔහුට ළං වෙන්න ඔයා නිකම්ම පෙලඹෙයි.

  •  ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඔයා බයිබලය කියවලා දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න. එතකොට ඒවා කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා ඔයාටම තේරෙයි. (යෙසායා 48:17, 18) දැනටමත් එහෙම කරපු අය ලබලා තියෙන ප්‍රයෝජන දිහා හොඳට බලන්න. දෙවියන්ගේ උදව්වෙන් එයාලා අභියෝග ජය අරන් තියෙන විදිහ, එයාලගෙත් එයාලගේ පවුලේ අයගෙත් ජීවිත තවත් සාර්ථක වෙලා තියෙන විදිහ, එයාලා නියම සතුට අද්දකින විදිහ එතකොට ඔයා දකියි. e

 දෙවියන්ව යාළුවෙක් කරගන්න එක ගැන තියෙන වැරදි අදහස්

 වැරදි මතය: දෙවියන් හුඟක් බලවත්, උසස් කෙනෙක් නිසා ඔහුට ළං වෙන්න අපිට බැහැ.

 ඇත්ත මේකයි: විශ්වයේ ඉන්න බලවත්ම, උසස්ම කෙනා දෙවියන් වුණත් ඔහුට ළං වෙන්න කියලා ඔහු අපිට ආරාධනා කරනවා. දෙවියන්ගේ යාළුවන් වුණ ස්ත්‍රීන්, පුරුෂයන් හුඟදෙනෙක් ගැන බයිබලයේ වාර්තා කරලා තියෙනවා.—ක්‍රියා 13:22; යාකොබ් 2:23.

 වැරදි මතය: දෙවියන් අභිරහසක්. ඒ නිසා ඔහු ගැන දැනගන්න අපිට බැහැ.

 ඇත්ත මේකයි: දෙවියන් ගැන සමහර දේවල් අපිට හරියටම තේරුම්ගන්න බැරි බව ඇත්ත. උදාහරණයකට දෙවියන්ට තියෙන්නේ මොන වගේ ශරීරයක්ද කියලා අපිට තේරුම්ගන්න බැහැ. මොකද දෙවියන්ව අපිට පේන්නේ නැහැ. ඒත් අපිට දෙවියන් ගැන දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම බයිබලයේ පැහැදිලිව කියනවා සදාකාල ජීවිතය ලබාගන්න නම් අපි දෙවියන් ගැන දැනගන්නම ඕනෙ කියලා. (යොහන් 17:3) අපේ නිර්මාතෘ වන දෙවියන් මොන වගේ කෙනෙක්ද, මේ පොළොව ගැනත් මිනිසුන් ගැනත් ඔහුට තියෙන අරමුණ මොකක්ද, ඔහු දීලා තියෙන ප්‍රමිති මොනවාද වගේ හුඟක් දේවල් අපිට තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට බයිබලයේ සඳහන් කරලා තියෙනවා. (යෙසායා 45:18, 19; 1 තිමෝති 2:4) ඒ වගේම කලින් කිව්වා වගේ දෙවියන්ගේ නම මොකක්ද කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 83:18) ඒ නිසා දෙවියන් ගැන දැනගන්න විතරක් නෙවෙයි ඔහුගේ යාළුවෙක් වෙන්නත් අපිට පුළුවන්.—යාකොබ් 4:8.

a දෙවියන් කොයි තරම් ප්‍රඥාවන්තද කියලා අවට පරිසරයේ තියෙන දේවලින් පේන්නේ කොහොමද කියලා දැනගන්න ‘නිර්මාණයක්ද?’ කියන ලිපි පෙළ බලන්න.

b හුඟදෙනෙක් කියන්නේ යෙහෝවා කියන නමේ තේරුම “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලයි. දෙවියන් ඔහුගේ නම අපිට දැනුම් දීලා තියෙන එක හරියට ඔහුම අපිට මෙහෙම කියනවා වගේ. ‘මම දෙයක් අරමුණු කළොත් ඒ දේ කරනවා. දෙයක් පොරොන්දු වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා.’

cදෙවියන් මගේ යාච්ඤා අහයිද?” කියන ලිපිය බලන්න.

d වැඩි විස්තර දැනගන්න ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලන්න.

eජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාව බලන්න.