Skip to content

පටුනට යන්න

දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්ද?

දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්ද?

බයිබලයේ ප්‍රශංසාවට ලක් කරලා තියෙන අය ගැන හිතලා ‘මට නම් ඒ වගේ වෙන්න බැහැ’ කියලා ඔයාට හිතිලා තියෙනවාද? ‘මං වගේ කෙනෙක්ට ධර්මිෂ්ඨ, යහපත්, හැම වෙලාවෙම හරි දේ කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්ද’ කියලා ඔයා හිතන්න ඉඩ තියෙනවා.

යෝබ් “වැරදි දෙයින් ඈත් වී සිටි අවංක මිනිසෙකි.”—යෝබ් 1:1

බයිබලයේ සඳහන් යෝබ් “වැරදි දෙයින් ඈත් වී සිටි අවංක” කෙනෙක්. (යෝබ් 1:1) ලොත්ට කිව්වේ “ධර්මිෂ්ඨ මිනිසා” කියලයි. (2 පේතෘස් 2:8) දෙවියන් ඉදිරියේ “යහපත්යයි සලකන දේ” කරපු කෙනෙක් කියලා දාවිත්ටත් කිව්වා. (1 රාජාවලිය 14:8) ඒත් ඒ අය ගැන හොඳින් හොයලා බැලුවොත් මේ දේවල් දැනගන්න පුළුවන්. (1) ඔවුන් වැරදි කළා. (2) ඔවුන්ගේ ආදර්ශයෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (3) අපි පව් කළත් අපිට පුළුවන් දෙවියන්ව සතුටු කරන්න.

ඔවුන් වැරදි කළා

“කිසි ප්‍රතිපත්තියක් නැති ජනයාගේ නින්දිත ක්‍රියා දැක බොහෝ සෙයින් දුක් වූ ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ලොත්ව දෙවි ගලවාගත්තේය.”—2 පේතෘස් 2:7

යෝබ්ට හදිසියේම කරදර ගොඩකට මුහුණ දෙන්න වුණාම මේක හරි අසාධාරණයක් කියලා හිතුණා. තමන් දෙවියන්ට විශ්වාසවන්තව හිටියත් නැතත් දෙවියන්ට නම් ගාණක්වත් නැහැ කියලයි ඔහු හිතුවේ. (යෝබ් 9:20-22) යෝබ් තමන් ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ඔප්පු කරන්න හදද්දී අනිත් අයට හිතුණේ දෙවියන්ට වඩා ඔහු ධර්මිෂ්ඨයි කියලා කියන්න හදනවා කියලයි.—යෝබ් 32:1, 2; 35:1, 2.

ලොත්ට තිබුණේ ඉක්මනින්ම තීරණයක් ගන්න. ඒත් ඔහු ඒ තීරණය ගන්න ප්‍රමාද වෙවී හිටියා. සොදොම් හා ගොමෝරාව කියන නගරවල හිටිය මිනිස්සු කරපු දේවල් දැක්කාම ලොත්ට ‘ලොකු වේදනාවක් දැනුණා.’ (2 පේතෘස් 2:8) ඒ නගර විනාශ කරනවා කියලත් ඉක්මනින්ම තමන්ගේ පවුලේ අයව අරගෙන නගරයෙන් පිට වෙන්න කියලත් දෙවියන් ලොත්ට කිව්වා. හරි නම් ලොකු කැක්කුමක් තිබුණ ලොත් ඉස්සෙල්ලම නගරයෙන් පිට වෙන්නයි තිබුණේ. ඒත් ඔහු ප්‍රමාද වෙවී හිටියා. අන්තිමේදී ඔහුවයි ඔහුගේ පවුලේ අයවයි බේරගන්න ආපු දේවදූතයන්ට සිද්ධ වුණා ඔවුන්ගේ අතින් අල්ලගෙන නගරයෙන් පිටතට ගෙනියන්න.—උත්පත්ති 19:15, 16.

දාවිත් ‘දෙවියන් යහපත්යයි සලකන දේ පමණක් කරමින් මුළු හදවතින්ම ඔහුගේ ආඥාවලට කීකරු වුණා.’—1 රාජාවලිය 14:8

දාවිත් එක අවස්ථාවකදී ආශාවන් පාලනය කරගන්නේ නැතුව වෙනත් කෙනෙක්ගේ බිරිඳක් එක්ක අනාචාරයේ යෙදුණා. ඒ මදිවට ඒක වහන්න ඇගේ ස්වාමිපුරුෂයාවත් මරලා දැම්මා. (2 සාමුවෙල් 11වෙනි පරිච්ඡේදය) දාවිත් කරපු දේ “යෙහෝවා දෙවි සැලකුවේ ඉතා දුෂ්ට ක්‍රියාවක්” හැටියටයි කියලා බයිබලයේ කියනවා.—2 සාමුවෙල් 11:27.

යෝබ්, ලොත් සහ දාවිත් වැරදි කළා. සමහර ඒවා බරපතළයි. ඒත් යෙහෝවා දෙවියන්ට කීකරුව ඉන්න ඒ තුන්දෙනාටම ලොකු ආශාවක් තිබුණා. තමන් කරපු වැරදි ගැන කනගාටු වුණ ඒ අය වැරදි හදාගත්ත නිසා දෙවියන්ගේ ප්‍රසාදය දිනාගත්තා. ඒ අය දෙවියන්ට විශ්වාසවන්ත අය කියලා බයිබලයේ තියෙන්නේ ඒ නිසයි.

ඔවුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අපිට පාපය උරුම වෙලා තියෙන නිසා අපි අතින් වැරදි වෙනවා. (රෝම 3:23) ඒත් වරදක් වුණාම ඒ ගැන කනගාටු වෙලා ඒ වරද නිවැරදි කරන්න අපිට පුළුවන් හැම දේම කරන්න ඕනේ.

යෝබ්, ලොත් සහ දාවිත් ඒ අයගේ වැරදි නිවැරදි කරගත්තේ කොහොමද? යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඔහු කිව්ව දේ වැරදියි කියලා දෙවියන් ඔහුට පෙන්වලා දුන්නාම ඒ ගැන අවංකවම පසුතැවිලි වෙලා හිතපු විදිහ වෙනස් කරගත්තා. (යෝබ් 42:6) දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරපු ලොත් සොදොම් සහ ගොමෝරාවේ හිටිය මිනිසුන්ගේ අශීලාචාර හැසිරීම හෙළාදැක්කා. හැබැයි ඔහු කරපු වරද තමයි නුවරින් පිට වෙන්න ප්‍රමාද වුණ එක. ඒත් ඔහු ඊටපස්සේ නුවරින් පිට වුණ නිසා බේරුණා. අනිත් එක, ඔහු දාලා ආපු දේවල් දිහා හැරිලා බැලුවෙත් නැහැ. දාවිත් දෙවියන්ගේ නීති කඩලා බරපතළ වරදක් කළත් අවංකවම පසුතැවිලි වෙලා ඔහුට අනුකම්පා කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා.—ගීතාවලිය 51.

පාපය උරුම වුණ අයගෙන් දෙවියන් සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒ තුන්දෙනාවම දෙවියන් සැලකුවේ යහපත් අය හැටියටයි. බයිබලයේ කියන විදිහට දෙවියන් “අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:14) එහෙමනම් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

දෙවියන් “අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.”—ගීතාවලිය 103:14

පව් කරන අපිටත් පුළුවන් දෙවියන්ව සතුටු කරන්න

දාවිත් ඔහුගේ පුතා වන සලමොන්ට කිව්ව දෙයින් දෙවියන්ව සතුටු කරන්න නම් අපි මොනවාද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන්. ඔහු කිව්වේ “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම, ප්‍රීතියෙන් ඔහුට සේවය කරන්න” කියලයි. (1 ලේකම් 28:9) “මුළු හදවතින්ම” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දෙවියන්ගේ කැමැත්ත දැනගෙන ඒ අනුව වැඩ කරන්නත් දෙවියන්ට ප්‍රේම කරන්නත් මුළු හිතින්ම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා කියන එකයි. ඒ වගේ කෙනෙක් වැරදි කරන්නේ නැහැ කියලා කියන්න බැහැ. ඔහු දෙවියන්ට කීකරුව සේවය කරන්නත් වරදක් පෙන්වලා දුන්නාම හදාගන්නත් වෑයම් කරනවා. යෝබ්ව “වැරදි දෙයින් ඈත් වී සිටි” කෙනෙක් හැටියටත් ලොත්ව “ධර්මිෂ්ඨ” කෙනෙක් හැටියටත් දාවිත්ව “යහපත්යයි සලකන දේ පමණක්” කරපු කෙනෙක් හැටියටත් සඳහන් වෙන්නේ ඔවුන් දෙවියන්ට ප්‍රේම කරපු, කීකරු වෙන්න කැමැත්තක් දක්වපු අය නිසයි. වැරදි කළත් දෙවියන්ව සතුටු කරන්න ඔවුන්ට පුළුවන් වුණා.

මුළු හදවතින්ම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කෙනෙක් ඔහුගේ කැමැත්ත කරන්නත් ඔහුට කීකරුව ඉන්නත් ලොකු ආශාවක් දක්වනවා

අපි හිතපු දෙයක් ගැන නැත්නම් කරපු කියපු දෙයක් ගැන පසුතැවෙනවා නම්, ලැජ්ජාවක් ඇති වෙනවා නම් මේ ලිපියේ සාකච්ඡා කරපු ආදර්ශවලින් පාඩමක් ඉගෙනගමු. පාපය උරුම කරගෙන තියෙන නිසා අපේ අතින් වැරදි වෙනවා කියලා දෙවියන් දන්නවා. ඒත් අපි ඔහුට ප්‍රේම කරලා කීකරු වෙයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා. දිගටම දෙවියන්ව සතුටු කරන්න අපි වෑයම් කරනවා නම් ඔහුව සතුටු කරනවා කියන නිසැකකම ඇතුව ඉන්න පුළුවන්.