Skip to content

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන ආඥාව බයිබලයේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. (නික්මයාම 20:12; ද්විතීය කතාව 5:16; මතෙව් 15:4; එෆීස 6:2, 3) ඒ ආඥාවට දේවල් හතරක් ඇතුළත්.

  1.   එයාලව අගය කරන්න. ඔයා වෙනුවෙන් ඔයාගේ අම්මායි තාත්තායි කරලා තියෙන හැම දේකටම එයාලට ස්තුති කරන්න. යම් මඟ පෙන්වීම් දෙද්දී ඒවා වටින දේවල් විදිහට සලකලා ඒවා අගය කරන්න. (හිතෝපදේශ 7:1, 2; 23:26) බයිබලයේ කියන්නේ ඔයාගේ දෙමාපියන් ඔයාට “ගෞරවයක්” කියලයි. ඒ කියන්නේ එයාලා ගැන ඔයාට ආඩම්බර වෙන්න පුළුවන්.—හිතෝපදේශ 17:6.

  2.   එයාලට තියෙන අධිකාරිය පිළිගන්න. දෙවියන් ඔයාගේ අම්මාටයි තාත්තාටයි අධිකාරියක් දීලා තියෙනවා. විශේෂයෙන්ම ඔයා එයාලා යටතේ ඉන්න කෙනෙක් නම් එයාලට තියෙන අධිකාරියට ඔයා ගෞරවය කරන්නම ඕනේ. කොලොස්සි 3:20 දරුවන්ට කියන්නේ “සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි” කියලයි. දෙමාපියන් යටතේ ඉද්දී යේසුත් කැමැත්තෙන්ම ඔහුගේ දෙමාපියන්ට කීකරු වුණා.—ලූක් 2:51.

  3.   එයාලට ගෞරවයෙන් සලකන්න. (ලෙවී කතාව 19:3; හෙබ්‍රෙව් 12:9) ඒකට ඔයා කියන දේවල් වගේම ඒ දේවල් කියන විදිහත් ඇතුළත්. ඇත්ත, සමහර දෙමාපියන් කරන කියන දේවල් නිසා එයාලට ගෞරවය කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ වගේ වෙලාවලදී එයාලට අගෞරවය කරන දෙයක් කියන්නෙවත් කරන්නෙවත් නැතුව ඉඳලා එයාලට ගෞරවය කරන්න ඔයාට පුළුවන්. (හිතෝපදේශ 30:17) කෙනෙක් තමන්ගේ අම්මාට හරි තාත්තාට හරි නරක විදිහට කතා කරන එක බරපතළ වරදක් කියලා බයිබලයේ කියනවා.—මතෙව් 15:4.

  4.   එයාලට ඕනෙ කරන දේවල් දීලා එයාලව බලාගන්න. ඔයාගේ දෙමාපියන් වයසට යද්දී එයාලට ඔයාගේ උදව් ඕනෙ වෙයි. එයාලට ඕනෙ කරන දේවල් ගැන හොයලා බලලා ඒ දේවල් දෙන්න ඔයාගේ උපරිමය කරනවා නම් ඔයාට පුළුවන් එයාලට ගෞරව කරන්න. (1 තිමෝති 5:4, 8) යේසුත් ඒක කළා. මැරෙන්න ටිකකට කලින් යේසුස් ඔහුගේ අම්මාව බලාගන්න ඕන කරන සැලසුම් යෙදුවා.—යොහන් 19:25-27.

පියාටත් මවටත් ගෞරව කරන එක ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: අම්මාටයි තාත්තාටයි ඔයා ගෞරව කරනවා නම් ඔයාගේ විවාහ ජීවිතේ හැම දෙයක්ම කරන්න ඕනෙ එයාලට ඕනෙ විදිහට.

 ඇත්ත මේකයි: පවුලේ අනිත් බැඳීම්වලට වඩා විවාහ බැඳීමට මුල් තැනක් දෙන්න ඕනෙ කියලා බයිබලයේ කියනවා. උත්පත්ති 2:24 කියන්නේ මෙහෙමයි. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය.” (මතෙව් 19:4, 5) යුවළකට ඒ දෙන්නාගෙම දෙමාපියන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. (හිතෝපදේශ 23:22) ඒත් එයාලව සම්බන්ධ කරගන්න ඕනෙ කොයි තරම් දුරකටද කියලා තීරණය කරන්න විවාහ යුවළකට නිදහස තියෙනවා.—මතෙව් 19:6.

 වැරදි මතය: ඔයාගේ අම්මාටයි තාත්තාටයි ඔයා ගැන ඕනෙම තීරණයක් ගන්න පුළුවන්.

 ඇත්ත මේකයි: දෙවියන් දෙමාපියන්ට යම් අධිකාරියක් දීලා තිබුණත් ඒකට යම් සීමාවක් තියෙනවා. දෙවියන්ට තියෙන අධිකාරිය ඉක්මවලා යන අධිකාරියක් කිසිම කෙනෙක්ට නැහැ. උදාහරණෙකට දෙවියන්ට අකීකරු වෙන්න කියලා මහාධිකරණයෙන් නීතියක් දාපු වෙලාවේ යේසුස්ගේ ගෝලයන් කිව්වේ “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිට” කියලයි. (ක්‍රියා 5:27-29) ඒ වගේ දරුවොත් දෙමාපියන්ට කීකරු වෙන්නේ “දෙවිගේ කැමැත්තට එකඟව.” (එෆීස 6:1) ඒ කියන්නේ දෙවියන් කියලා තියෙන දේකට පටහැනි දෙයක් කරන්න කියලා දෙමාපියන් කිව්වොත් දරුවෝ ඒකට කීකරු වෙන්නේ නැහැ.

 වැරදි මතය: අම්මාටයි තාත්තාටයි ගරු කරනවා නම් ඔයාත් එයාලගේ ආගම අදහන්න ඕනේ.

 ඇත්ත මේකයි: අපි නමස්කාර කරන්නේ දෙවියන් පිළිගන්න විදිහටද කියලා හොයලා බලන්න කියලා බයිබලයේ කියනවා. (ක්‍රියා 17:11; 1 යොහන් 4:1) එහෙම කරන කෙනෙක් දෙමාපියන්ගේ ආගම අදහන එක නතර කරන්න ඉඩ තියෙනවා. තමන්ගේ දෙමාපියන්ගේ ආගම ඇදහුවේ නැති, දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු හුඟක් අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. ආබ්‍රහම්, රූත්, සහ පාවුල් ඒ අතරින් කීපදෙනෙක්.—යොෂුවා 24:2, 14, 15; රූත් 1:15, 16; ගලාති 1:14-16, 22-24.

 වැරදි මතය: අම්මාටයි තාත්තාටයි ගරු කරනවා නම් එයාලා මැරුණාට පස්සේ ඔයා එයාලා වෙනුවෙන් දේවල් කරන්න ඕනේ.

 ඇත්ත මේකයි: බයිබලයේ කියන්නේ “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි” කියලයි. (ලූක් 4:8) මැරුණු අය වෙනුවෙන් දේවල් කරන එක හරියට එයාලට කරන නමස්කාරයක් වගේ. දෙවියන් ඒකට කැමති නැහැ. ඒ වගේම බයිබලයේ කියන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලයි. එයාලා වෙනුවෙන් කරන කිසිම දෙයක් එයාලා දන්නේ නැහැ. මිනිසුන්ට උදව් කරන්නවත් හානියක් කරන්නවත් එයාලට බැහැ.—දේශනාකාරයා 9:5, 10; යෙසායා 8:19.