Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

නැන්දම්මයි මාමණ්ඩියි එක්ක හොඳින් ඉන්නේ කොහොමද?

නැන්දම්මයි මාමණ්ඩියි එක්ක හොඳින් ඉන්නේ කොහොමද?

ප්‍රශ්නය

“අපේ පවුලේ ප්‍රශ්නයක් වුණාම මගේ බිරිඳ ඒක එයාගේ අම්මලට කියනවා. ඊටපස්සේ එයාගේ තාත්තා ඒ ගැන මට උපදෙස් දෙනවා. ඒක තමයි මට අල්ලන්නේ නැත්තේ.”—ජේම්ස්. *

“‘පුතා නැති පාළුව මට හරියට දැනෙනවා’ කියලා මගේ නැන්දම්මා හැම තිස්සෙම කියනවා. ඒ දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියේ කියලත් එයා කියනවා. එහෙම කියද්දී, ඒ දෙන්නව වෙන් කළේ මමනේ. මං නිසානේ එයා දුක් විඳින්නෙ කියලා මට හිතෙනවා.”—නටාෂා.

ඒ වගේ පොඩි පොඩි දේවල් පවුලේ ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

දැනගන්න ඕන දේ

දෙන්නෙක් බැන්දම ඒ අය වෙනම පවුලක්. පුරුෂයෙක් විවාහ වුණාට පස්සේ “තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය” කියලා බයිබලයේ කියනවා. බිරිඳගේ පැත්තෙන් වෙන්නෙත් ඒකමයි. විවාහ වුණාට පස්සේ දෙන්නා “එක් කෙනෙකු මෙන් වන්නෝය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා දැන් ඒ දෙන්නා වෙනම පවුලක්.මතෙව් 19:5.

මුලින්ම හිතන්න ඕනේ ඔයාගේ බිරිඳ හරි සැමියා හරි ගැනයි. විවාහ උපදේශකයෙක් වන ජෝන් ගොට්මන් මෙහෙම කියනවා. “හැම තිස්සෙම අනිත් කෙනාගේ සතුට ගැන හිතන්න ඕන කියලා විවාහ වුණු දෙන්නෙක් මතක තියාගන්න අවශ්‍යයි. සමහර අවස්ථාවලදී ඔබේ බිරිඳට හරි සැමියාට හරි සම්පූර්ණ සහයෝගය දෙන්න නම් ඔයාගේ දෙමව්පියන් එක්ක පවුලේ අයත් එක්ක තියෙන බැඳීම ටිකක් අඩු කරගන්න සිද්ධ වෙයි.” *

සමහර දෙමාපියන්ට හැඩගැහෙන්න ලේසි නැහැ. තරුණ සැමියෙක් මෙහෙම කියනවා. “බඳින්න කලින් මගේ බිරිඳ හැම දෙයක්ම කළේ අම්මලාගෙන් අහලා. ඒත් බැන්දට පස්සේ ඒක වෙනස් වුණු නිසා එයාගේ අම්මට ඒක දරාගන්න ලේසි වුණේ නැහැ.”

අලුතින් බැන්ද අයට හැඩගැහෙන්න ලේසි නැහැ. කලින් සඳහන් කරපු ජේම්ස් මෙහෙම කිව්වා. “අපි යාළුවන්ව ආශ්‍රය කරන්නේ තෝරලා බේරලා. ඒත් නැන්දම්මව මාමණ්ඩිව අපිට තෝරන්න බැහැ. කෙනෙක් ඒ ගැන කිව්වේ ‘නැන්දම්මා මාමණ්ඩි කියන්නේ ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයාට අනිවාර්යයෙන් ආශ්‍රය කරන්න වෙන යාළුවෝ දෙන්නෙක්’ කියලයි. ඔයාට රුස්සන්නේ නැති වුණත් දැන් ඒ අයත් ඔයාගේ නෑයෝ!”

මොනවද කරන්න පුළුවන්?

දෙමව්පියන් ගැන ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක සහයෝගයෙන් විසඳගන්න. “සමාදානය සොයා, එය ලුහුබඳින්න” කියලා බයිබලයේ කියන දේ එහෙම කරන්න ඔබට උදව් වෙයි.ගීතාවලිය 34:14.

ඒක කරන්න පුළුවන් විදිහක් තේරුම්ගන්න පහත සඳහන් කරලා තියෙන උදාහරණ බලන්න. ඒ ප්‍රතිපත්ති නැන්දම්මා, මාමණ්ඩි එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න දෙන්නටම උපකාරයක් වෙයි.

එයාගේ අම්මත් එක්ක ඔබ මීට වඩා හොඳින් ඉන්නවටයි එයා කැමති කියලා ඔබේ බිරිඳ කියනවා. ඒත් ඔබට නැන්දම්මා එක්ක පෑහිලා වැඩ කරන එක ලේසි නැහැ.

මෙහෙම කරලා බලන්න: ඒ ප්‍රශ්නය ගැන ඔබේ බිරිඳ එක්ක කතා කරන්න. පොඩි පොඩි වෙනස්කම් කරන්නත් කැමති වෙන්න. ඔබ බිරිඳව ආදරයෙන් රැකබලා ගන්න පොරොන්දු වුණු නිසා නැන්දම්මා ගැන ඔබට හැඟෙන දේ ගැන හිතනවාට වඩා බිරිඳගේ සතුට ගැන හිතන්න. ඒ සාකච්ඡාවේදී ඔබට නැන්දම්මා එක්ක මීට වඩා පෑහිලා ඉන්න පුළුවන් විදිහක් දෙකක් ගැන කතා කරන්න. ඊටපස්සේ ඒවා ඒ විදිහට කරන්න. එහෙම කරනවා දැක්කාම බිරිඳට ඔබ ගැන තියෙන ආදරය ගෞරවය තවත් වැඩි වෙයි.1 කොරින්ති 10:24 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඔයා හැම තිස්සෙම හිතන්නේ මගේ සතුටට වඩා ඔයාගේ දෙමව්පියන්ගේ සතුට ගැනයි කියලා ඔබේ සැමියා ඔබට කියනවා.

මෙහෙම කරලා බලන්න: ඒ ප්‍රශ්නය ගැන ඔබේ සැමියා එක්ක කතා කරන්න. ඔහුට හැඟෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න. දෙමව්පියන්ට දෙන්න ඕන ගෞරවය දෙන එක ගැන සැමියා අහිතක් හිතන එක වැරදියි. (හිතෝපදේශ 23:22) ඒත් ඔබ කතා කරන හා ක්‍රියා කරන විදිහෙන් ඔබේ දෙමව්පියන්ට වඩා ඔබ ඔහුට ආදරෙයි කියන එක ඔහුට දැනෙන්න ඕන කියලත් මතක තියාගන්න. සැමියාට එහෙම දැනෙනවා නම් ඔබ දෙමව්පියන්ට පෙන්වන ආදරය උදුරගන්න ඔහු උත්සාහ කරන එකක් නැහැ.එෆීස 5:33 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

බිරිඳ උපදෙස් ගන්නේ ඔබෙන් නෙමෙයි දෙමව්පියන්ගෙන්.

මෙහෙම කරලා බලන්න: මොන වගේ කාරණාවලදීද දෙමව්පියන්ගෙන් උපදෙස් ගන්නේ කියන එක ගැන බිරිඳත් එක්ක කතා කරලා තීරණයකට එන්න. තීරණ ගද්දී සාධාරණ වෙන්න. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ.ෆිලිප්පි 4:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 9 ඡේ. The Seven Principles for Making Marriage Work නමැති පොතෙන්.