Skip to content

පටුනට යන්න

5වෙනි කොටස

මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්

මව්පියන් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න නම්

“කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”—කොලොස්සි 3:12

විවාහය කියන්නේ අලුත් පවුලක ආරම්භයක්. අම්මාටයි තාත්තාටයි ඔයා කොච්චර ආදරේ, ගෞරවේ කළත් බැන්ඳට පස්සේ ඔයාගේ සැමියා, බිරිඳ තමයි මේ ලොකේ ඔයාට ඉන්න වැදගත්ම කෙනා. ඒත් ඔයාගේ දෙමාපියන්ට නම් ඒක පිළිගන්න ටිකක් අමාරු වෙයි. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් දෙමාපියන්ව සතුටින් තියන අතරෙම පවුල් ජීවිතේ සතුටින් ගත කරන්නත් ඔයාට පුළුවන්. ඒ ප්‍රතිපත්ති දෙමාපියන්ට විතරක් නෙමෙයි අනිත් නෑදෑයන් සම්බන්ධයෙනුත් අදාළයි.

1 මව්පියන්ට ඔයාගේ ජීවිතේ දෙන්න ඕන තැන අඳුනගන්න

බයිබලයේ මෙහෙම කියනවා: “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.” (එෆීස 6:2) ඔයා මොන වයසක හිටියත් අම්මාටයි තාත්තාටයි ගෞරවෙන්, ආදරෙන් සලකන්න ඕනේ. ඔයා වගේම එයාත් එයාගේ දෙමාපියන්ට ආදරෙන් සලකන්න ඕනෙ කියලා තේරුම්ගන්න. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාවක් නැහැ.’ ඒ නිසා එයා ඔයාට වඩා එයාගේ දෙමාපියන්ට ආදරෙයි කියලා හිතලා වධ වෙන්න එපා.—1 කොරින්ති 13:4; ගලාති 5:26.

මෙහෙම කරලා බලන්න:

  • ‘ඔයාගේ පවුලේ අය හැමදාම කතා කරන්නේ මාව පහත් කරලා,’ ‘ඔයාගේ අම්මා ඉතින් කවදාවත් මං කරපු දේකට හොඳක් කිව්වේ නෑනේ’ වගේ දේවල් නොකියා ඉන්න අදිටන් කරගන්න

  • දෙමාපියන් ගැන එයාට හැඟෙන විදිහ තේරුම්ගන්න

2 අවශ්‍ය දේ කෙළින් ඒත් ආදරෙන් කියන්න

බයිබලයේ මෙහෙම කියනවා: “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24) කොච්චර කරදඬු උස්මහත් වුණත් බැඳලා වෙනම පවුල් ජීවිතයක් ගත කළත් දෙමාපියන්ට තමන්ගේ දරුවාව පේන්නේ තාමත් පොඩි දරුවෙක් විදිහට. ඒ නිසා අනවශ්‍ය විදිහට ඔය දෙන්නාගේ පවුල් ජීවිතේට ඒ අය ඇඟිලි ගහන්න ඉඩ තියෙනවා.

ඔය දෙන්නා දැන් වෙනම පවුලක් නිසා ඔයගොල්ලන්ගේ වැඩවලට මැදිහත් වෙන්න දෙමාපියන්ට ඉඩ දෙන්න ඕනෙ යම් සීමාවකට විතරයි. ඒ සීමාව මොකක්ද කියලා දෙන්නා කතාබහ කරලා ඒ ගැන කෙළින් ඒත් හිත රිද්දන්නේ නැතුව දෙමාපියන්ට කියන්න. (හිතෝපදේශ 15:1) නිහතමානිකම, මෘදුකම, ඉවසීම වගේ ගුණාංග ඔයා ළඟ තියෙනවා නම් “එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්” දෙමාපියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන් වෙනවා.—එෆීස 4:2.

මෙහෙම කරලා බලන්න:

  • අම්මලා ඔය දෙන්නාගේ ජීවිතේට ඇඟිලි ගහනවා වැඩියි කියලා තේරුණොත් නිදහස් වෙලාවක් බලලා ඔයාගේ සැමියා, බිරිඳ එක්ක ඒ ගැන කතා කරන්න

  • මොනවද කරන්න පුළුවන් කියලා විසඳුමකට එන්න