Skip to content

අලුත් උපතක් ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

අලුත් උපතක් ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “අලුත් උපතක්” කියන යෙදුම යොදාගෙන තියෙන්නේ අලුත් උපතක් ලබන කෙනෙක් සහ දෙවියන් අතර තියෙන මිත්‍රත්වයේ අලුත් ආරම්භයක් විස්තර කරන්නයි. (යොහන් 3:3, 7) අලුත් උපතක් ලබන අයව දෙවියන් තමන්ගේ දරුවන් විදිහට පිළිගන්නවා. (රෝම 8:15, 16; ගලාති 4:5; 1 යොහන් 3:1) දරුවෙක්ව නීත්‍යනුකූලව හදාගන්න භාරගත්තට පස්සේ ඒ දරුවා ඒ පවුලෙම සාමාජිකයෙක් වෙනවා වගේ අලුත් උපතක් ලබන අයත් දෙවිගේ පවුලේ සාමාජිකයෙක් වෙනවා.—2 කොරින්ති 6:18.

කෙනෙක් අලුත් උපතක් ලබන්නේ ඇයි?

 “කෙනෙකුට දෙවිගේ රාජ්‍යය දකින්න කැමති නම් ඔහු අලුත් උපතක් ලැබිය යුතුයි” කියලා යේසුස් කිව්වා. (යොහන් 3:3) කෙනෙක්ට ක්‍රිස්තුස් එක්ක එකතු වෙලා දේවරාජ්‍යයේ පාලකයෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ අලුත් උපතක් ලැබුවොත් විතරයි. දේවරාජ්‍යය පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන් නිසා අලුත් උපත “ස්වර්ගයෙහි වෙන් කර” තියෙන උරුමයක් විදිහට බයිබලයේ විස්තර කරලා තියෙනවා. (1 පේතෘස් 1:3, 4) තමන්ට ක්‍රිස්තුස් එක්ක ‘රජකම් කරන්න’ ලැබෙනවා කියන ස්ථීර නිසැකකම දෙවියන් ඒ අයට දෙනවා.—2 තිමෝති 2:12; 2 කොරින්ති 1:21, 22.

කෙනෙක් අලුත් උපතක් ලබන්නේ කොහොමද?

 ඒ කාරණය ගැන කතා කරද්දී යේසුස් කිව්වේ අලුත් උපතක් ලබන අය “මුලින්ම වතුරෙන් බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන අලුත් ජීවිතයක් ඇරඹිය යුතුයි” කියලයි. (යොහන් 3:5) යේසුස් ඒකෙන් අදහස් කළේ වතුරේ ගිලිලා බව්තීස්ම වුණාට පස්සේ දෙවිගේ බලයෙන් බව්තීස්ම වෙන්න ඕනෙ කියන එකයි.—ක්‍රියා 1:5; 2:1-4.

 අලුත් උපතක් ලබපු පළවෙනි කෙනා යේසුස්. යේසුස් යොර්දාන් ගඟේ ගිලිලා බව්තීස්ම වුණාට පස්සේ දෙවියන් තම බලයෙන් යේසුස්ව අභිෂේක (බව්තීස්ම) කළා. ආයෙත් ස්වර්ගයට යන බලාපොරොත්තුව ඇතුව දෙවියන්ගේ පුතා විදිහට යේසුස් අලුත් උපතක් ලැබුවේ ඒ අවස්ථාවෙදියි. (මාක් 1:9-11) ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් ශරීරයක් ඇතුව යේසුස්ව නැවත නැඟිටුවීමෙන් දෙවියන් යේසුස්ගේ බලාපොරොත්තුව ඉටු කළා.—ක්‍රියා 13:33.

 අලුත් උපතක් ලබන අනිත් අයත් දෙවිගේ බලය ලබන්න කලින් වතුරෙන් බව්තීස්ම වෙනවා. a (ක්‍රියා 2:38, 41) ඊටපස්සේ එයාලට ස්වර්ගයේ ජීවත් වීමේ ස්ථීර බලාපොරොත්තුව ලැබෙනවා. දෙවියන් එයාලව නැවත නැඟිටුවලා ඒ බලාපොරොත්තුව ඉටු කරනවා.—1 කොරින්ති 15:42-49.

අලුත් උපත ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: ගැලවීම ලබන්න නැත්නම් ක්‍රිස්තියානියෙක් වෙන්න නම් කෙනෙක් අලුත් උපතක් ලබන්නම ඕනේ.

 ඇත්ත මේකයි: යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ පාලනයට හවුල් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් උපතක් ලබපු අය විතරක් නෙවෙයි. දේවරාජ්‍යයේ යටත්වැසියන් විදිහට පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා. (1 යොහන් 2:1, 2; එළිදරව් 5:9, 10) පාරාදීස පොළොවේ සදහටම ජීවත් වෙන්න ඒ අයට අවස්ථාව ලැබෙනවා.—ගීතාවලිය 37:29; මතෙව් 6:9, 10; එළිදරව් 21:1-5.

 වැරදි මතය: තමන් අලුත් උපතක් ලබනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්.

 ඇත්ත මේකයි: දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එක සහ ගැලවීම ලබන එක, එක පිරිසකට විතරක් සීමා වෙලා නැහැ. හැමෝටම ඒ අවස්ථාව තියෙනවා. (1 තිමෝති 2:3, 4; යාකොබ් 4:8) ඒ වුණත් අලුත් උපතක් ලබන්නේ එහෙමත් නැත්නම් දෙවිගේ බලයෙන් අභිෂේක කරන්නේ කාවද කියලා තීරණය කරන්නේ දෙවියන්. බයිබලයේ කියන විදිහට කෙනෙක් අලුත් උපතක් ලබනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ “කෙනෙකුගේ පෞද්ගලික ආශාව හෝ ඔහු දරන වෑයම” මත නෙවෙයි.” (රෝම 9:16) අලුත් උපතක් කියන යෙදුමට ‘ඉහළින් කරන තෝරාගැනීම’ කියන අදහස ඇතුළත්.

a එහෙම වුණේ නැති එකම අවස්ථාව කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධ සිද්ධියයි.—ක්‍රියා 10:44-48.