මාක් 1:1-45

1  යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ ආරම්භය මෙයයි.  අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලෙහි මෙසේ ලියා තිබේ. එනම්, “(මම මාගේ පණිවිඩකරුව ඔබ ඉදිරියෙන් යවමි. ඔහු ඔබේ මඟ සූදානම් කරයි.)*+  සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය.”  එහි සඳහන් වූයේ මිනිසුන්ව බව්තීස්ම කරන පාළුකරයේ සිටි යොහන් නමැති තැනැත්තා ගැනයි. ඔහු පව්වලට සමාව ලබාගැනීම සඳහා පසුතැවිලි වෙන්න කියාත් එය බව්තීස්මය මගින් සංකේතවත් කරන්න කියාත් දේශනා කළේය.+  එහෙයින් යුදයේ සියලු පළාත්වලින් පැමිණි ජනයාද යෙරුසලමේ සියලු වැසියෝද ඔහු වෙතට ගොස් තමන් කර ඇති වැරදි ප්‍රසිද්ධියේ පිළිගත්තෝය.+ ඔහු ඔවුන්ව යොර්දාන් ගඟෙහි බව්තීස්ම කළේය.  යොහන් ඇඳගෙන සිටියේ ඔටු රෝමවලින් සෑදූ වස්ත්‍රයක්ය. ඔහුගේ ඉඟටිය වටා සම් පටියක්+ බැඳ තිබිණ. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+  ඔහු දේශනා කරමින් මෙසේ කීවේය. “මට වඩා බලවත් තැනැත්තෙක් මට පසුව පැමිණෙයි. නැමී, ඔහුගේ පාවහන් පටි ලිහන්න තරම්වත් මම වටින්නේ නැහැ.+  මම ඔබව බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් ඔහු ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙනුයි.”+  ඒ දවස්වලදී යේසුස්, ගලීලයේ නාසරෙත් නම් නුවරේ සිට පැමිණියේය. යොහන් ඔහුව යොර්දාන් ගඟෙහි බව්තීස්ම කළේය.+ 10  ඔහු දියෙන් උඩට මතු වූ සැණින්ම අහස විවර වී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට පැමිණි ආකාරය+ යොහන් දුටුවේය. 11  එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක් ස්වර්ගයෙන් නික්මුණේය. 12  එසැණින්ම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වූ නිසා ඔහු වනසතුන් සිටි පාළුකරයට ගොස්,+ 13  එහි දවස් හතළිහක් ගත කළේය.+ එහිදී සාතන් ඔහුව වරදකට හසු කරගන්න උත්සාහ කළේය.+ පසුව දේවදූතයෝ ඇවිත් ඔහුට උපස්ථාන කළෝය.+ 14  මේ අතරතුර යොහන්ව අත්අඩංගුවට ගන්නා ලදි. ඉන්පසු යේසුස් ගලීලයට ගොස්+ දෙවිගේ ශුභාරංචිය දේශනා කරමින්,+ 15  මෙසේ කීවේය. “නියමිත කාලය දැන් සම්පූර්ණයි.+ දෙවිගේ රාජ්‍යය ළඟයි. ජනයෙනි, පසුතැවිලි වී+ ශුභාරංචිය කෙරෙහි ඔබට විශ්වාසයක් ඇති බව පෙන්වන්න.” 16  දිනක් යේසුස් ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ+ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ දියට දැල් හෙළමින් සිටිනවා දුටුවේය. 17  යේසුස්, “මා පසුපස එන්න. මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරන්නම්”+ කියා ඔවුන්ට කීවේය. 18  ඔවුහු වහාම තම දැල් පසෙක තබා ඔහු අනුව ගියහ.+ 19  වෙරළේ ටික දුරක් ගිය ඔහුට සෙබදීගේ පුතුන් දෙදෙනා වූ යාකොබ්ව සහ යොහන්ව හමු විය. ඔවුහු තම ඔරුවෙහි ඉඳ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය.+ 20  යේසුස් ඒ මොහොතේදීම ඔවුන්ටත් අඬගැසුවේය. ඔවුහුද ඔරුවේ කුලීකරුවන් සමඟ සිටි තම පියා වූ සෙබදීගෙන් සමුගෙන ඔහු පසුපස ගියෝය. 21  පසුව ඒ සියලුදෙනාම කපර්ණවුමට+ පැමිණියෝය. සබත් දවස උදා වීමත් සමඟම ඔහු එහි සිනගෝගයට ඇතුල් වී උගන්වන්න පටන්ගත්තේය. 22  ඔහු ඉගැන්වූ ආකාරය ගැන රැස්ව සිටි අය මවිතයට පත් වූහ.+ මන්ද ඔහු නීතිය පිටපත් කරන්නන් මෙන් නොව දෙවි මත රඳා සිටිමින් ඉගැන්වූවේය.+ 23  එම සිනගෝගයෙහි භූතයෙකුගේ ග්‍රහණයට හසු වී සිටි මිනිසෙක් සිටියේය. ඔහු කෑගසමින්,+ 24  මෙසේ කීවේය. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි? ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවිගේ+ ශුද්ධ තැනැත්තා+ ඔබයි.” 25  නමුත් යේසුස් භූතයාට තදින් කතා කර, “නිහඬ වී, ඔහුගෙන් පිට වෙන්න”+ කියා අණ කළේය. 26  එවිට භූතයා එම මිනිසාට තදින් වෙවුලන්නත් යටි ගිරියෙන් කෑගසන්නත් සලස්වා ඔහුගෙන් පිට විය.+ 27  එය දුටු ජනයා කොතරම් විස්මයට පත් වුණාද කිව්වොත් ඔවුහු තම තමන් අතරේ මෙසේ කතා වුණෝය. “මොකක්ද මේ සිදු වුණේ? මේ වගේ උගන්වන කෙනෙක් නම් මීට කලින් අපි දැකලා නැහැ. ඔහුට මොන තරම් බලයක් තිබෙනවාද! ඔහු අණ කරන විට භූතයන් පවා ඔහුට කීකරු වෙනවා.”+ 28  එහෙයින් ඔහු පිළිබඳ ඒ ආරංචිය ඉක්මනින් ගලීලය පුරාම පැතිර ගියේය.+ 29  පසුව යාකොබ් සහ යොහන් සමඟ සිනගෝගයෙන් පිට වූ යේසුස්, ඔවුන් සමඟ සීමොන්+ සහ අන්දෘගේ නිවසට ගියේය. 30  සීමොන්ගේ බිරිඳගේ මවට+ උණ රෝගය වැලඳී+ ඇඳට වී සිටි නිසා ඔවුහු ඉක්මනින්ම ඇය ගැන ඔහුට කීවෝය. 31  ඔහු ඇය සිටි තැනට ගොස් ඇගේ අතින් අල්ලා ඇයට නැඟිටින්න උපකාර කළේය. එවිට ඇගේ උණ රෝගය සුව වූ අතර+ ඇය ඔවුන්ට සංග්‍රහ කරන්නද පටන්ගත්තාය.+ 32  සවස් වී හිරු බැස ගිය පසු ජනයා රෝගීව සිටි+ සියල්ලන්ව සහ භූතයන් ආවේශ වූ+ අයව ඔහු වෙතට ගෙනෙන්න පටන්ගත්හ. 33  ඇත්තෙන්ම මුළු නුවරම පාහේ එම නිවසේ දොරකඩ අසල රැස්ව සිටියහ. 34  ඔහු විවිධ රෝගවලින් පෙළුණු+ බොහෝදෙනෙකුව සුව කළේය. බොහෝ භූතයන්වද දුරු කළේය. නමුත් ඔහු ක්‍රිස්තුස් බව ඒ භූතයන් දැන සිටි නිසා ඔහු ඔවුන්ට කතා කරන්න ඉඩ නොදුන්නේය.+ 35  පසුදා හිමිදිරියේ එළිය වැටෙන්නත් පෙර ඔහු නැඟිට පාළු තැනකට ගොස්+ යාච්ඤා කරන්න පටන්ගත්තේය.+ 36  මේ අතරතුරේදී සීමොන් සහ ඔහු සමඟ සිටි අය මහත් වෙහෙසක් දරමින් ඔහුව සොයා ගියෝය. 37  ඔවුහු ඔහුව හමු වූ විට, “සියලුදෙනාම ඔබව සොයනවා” කියා ඔහුට කීවෝය. 38  නමුත් ඔහු, “අපි වෙන තැනකට යමු. අනික් ගම්බද පළාත්වල ඇති නුවරවලත් මට දේශනා කරන්න අවශ්‍යයි.+ මම ආවේ ඒ කාර්යය සඳහායි”+ කියා ඔවුන්ට කීවේය. 39  එලෙස ඔහු සිනගෝගවල දේශනා කරමින්ද භූතයන්ව දුරු කරමින්ද+ මුළු ගලීලය පුරාම ගියේය. 40  එක්තරා අවස්ථාවක ලාදුරු රෝගියෙක් ඔහු වෙතට ඇවිත් දණින් වැටී, “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න”+ කියා ඉතා බැගෑපත්ව ඔහුට පැවසුවේය. 41  එවිට යේසුස්ට ඔහු ගැන මහත් අනුකම්පාවක් ඇති විය.+ ඔහු තම අත දිගු කර ඔහුව ස්පර්ශ කර, “මා කැමතියි. පවිත්‍ර වෙන්න”+ කියා ඔහුට කීවේය. 42  ඒ මොහොතේදීම ලාදුරු රෝගය සුව වී ඔහු පවිත්‍ර විය.+ 43  එම මිනිසාව ඉක්මනින්ම පිටත් කර යැවූ යේසුස්, ඔහුට මෙලෙස තදින් අවවාද කළේය. 44  “මේ ගැන කාටවත් කිසිම දෙයක් කියන්න එපා. පූජකයා ඉදිරියට ගොස්+ ඔහුට ඔබව පරීක්ෂා කරන්න ඉඩ දෙන්න. ඉන්පසු මෝසෙස් අණ කළ ආකාරයට+ ඔබේ පූජාව ඔප්පු කරන්න. ඔබ සුව වී ඇති බවට එය පූජකයන්ට සාක්ෂියක් වෙයි.”+ 45  නමුත් එම මිනිසා පිටත් වූ පසු සිදු වූ දේ ගැන ගිය ගිය තැන්වල ප්‍රචාරය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසිද්ධියේ කිසි නුවරකට ඇතුල් වෙන්න යේසුස්ට නොහැකි විය. එහෙයින් ඔහු පිටත පාළු ප්‍රදේශවල රැඳී සිටියේය. නමුත් සෑම පළාතකින්ම ජනයා ඔහු වෙතට දිගින් දිගටම පැමිණියෝය.+

පාදසටහන්

වරහන් තුළ ඇති කොටස උපුටාගෙන තිබෙන්නේ මලා 3:1නි.