Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

උත්තර දුන්නේ බයිබලයෙන්මයි

උත්තර දුන්නේ බයිබලයෙන්මයි
  • ඉපදුණ අවුරුද්ද: 1950

  • රට: ස්පාඤ්ඤය

  • අතීතයේදී: කන්‍යා සොහොයුරියක්

මගේ අතීතය:

මං ඉපදුණේ ස්පාඤ්ඤයේ පිටිසර ගම්මානෙක. අපිට පුංචි ගොවිපොළක් තිබුණා. පවුලේ දරුවන් 8දෙනාගෙන් 4වෙනියා මමයි. අපි හිටියේ හරිම සතුටින්. ඒ කාලේ ස්පාඤ්ඤයේ පවුලකින් දරුවෙක් සෙමනේරියට හරි කන්‍යාරාමයට හරි බැඳෙන එක සාමාන්‍ය දෙයක්. අපේ පවුලේ 3දෙනෙක්ම ඒ තීරණය ගත්තා.

මගේ අක්කා හිටියේ ස්පාඤ්ඤයේ අගනුවර තියෙන කන්‍යාරාමයක. අවුරුදු 13දී මමත් ඒකට බැඳුණා. නීතිවලට යට වෙලා, යාච්ඤා කර කර තපස් ජීවිතයක් ගත කරපු ඒ අය අතරේ වැඩි කතාබහක්, සුහදකමක් තිබුණේ නැහැ. අපි පාන්දරින්ම පල්ලි ගියාට මට මෙලෝදෙයක් තේරුණේ නැහැ. ගීතිකා කිව්වේ, පූජාව තිබ්බේ ලතින් භාෂාවෙන්. මට දෙවියන් ගැන ලොකු භක්තියක් තිබුණෙත් නැහැ. කන්‍යා සොහොයුරියන්ට කතා කරන්න අවසර තිබුණේ කෑමෙන් පස්සේ පැය බාගයක් විතරයි. අක්කාව දැක්කත් වැඩි දෙයක් කතා කරන්න හම්බ වුණේ නැහැ. ගෙදර මතක් වුණාම ලොකු පාළුවක් දැනුණා. මම නිතරම ඇඬුවා. ඔය විදිහට කාලේ ගෙවිලා ගියා.

දෙවියන් ගැන ලොකු භක්තියක් තිබුණේ නැතත් අවුරුදු 17දී මම කන්‍යා සොහොයුරියක් වුණා. ඒත් මට දෙවියන්ගේ කැඳවීමක් තියෙනවාද නැද්ද කියන එක ගැන ලොකු සැකයක් තිබුණා. අනික් කන්‍යා සොහොයුරියන් නම් කිව්වේ ඔය වගේ සැක තියෙන අයට අන්තිමෙට යන්න වෙන්නේ අපායට තමයි කියලා. ඒත් මගේ සැකය නම් අඩු වුණේ නැහැ. මම දැනගෙන හිටියා යේසුස් මිනිසුන්ට උගන්වපු, උදව් කරපු කෙනෙක් මිසක් හුදෙකලා චරිතයක් නෙමෙයි කියලා. (මතෙව් 4:23-25) අවුරුදු 20ක් වෙද්දී මං පැවිදි ජීවිතයට සමු දෙන්න තීරණය කරපු වෙලාවේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය කිව්ව දෙයින් මම පුදුම වුණා. ඔය වගේ සැකයක් තියෙනවා නම් හොඳම දේ ඉක්මනින්ම මෙහෙන් යන එක කියලා එයා කිව්වේ අනිත් අයට මම සැකය බෝ කරයි කියලා වෙන්න ඇති.

ගෙදර ආවම අම්මායි තාත්තායි මාව තේරුම්ගත්තා. අපේ ගමේ රස්සාවල් හොයාගන්න අමාරු හින්දා ජර්මනියේ හිටපු මල්ලි ගාවට මං ගියා. ඒ වෙද්දී එයා කොමියුනිස්ට් කණ්ඩායමක බැහැලා වැඩ කරපු සාමාජිකයෙක්. කම්කරු හා කාන්තා අයිතීන් වෙනුවෙන් එයාලා එක්ක එකතු වෙලා සටන් කරපු කාලේ මම ගොඩක් සතුටු වුණා. මමත් ඒකේ සාමාජිකයෙක් වෙලා ඒකෙම කෙනෙක් එක්ක විවාහ වුණා. මට දැනුණේ මම අනිත් අය වෙනුවෙන් යමක් කරනවා කියලයි. කොමියුනිස්ට් පත්‍රිකා බෙදන්න, විරෝධතා පෙළපාලිවල යන්න මමත් පටන්ගත්තා.

කල් යද්දී මට තේරුණා කොමියුනිස්ට්වාදීනුත් කියන දේ කරන අය නෙමෙයි කියලා. ඒක හොඳටම තේරුණේ 1971දී වෙච්ච දේකින්. ස්පාඤ්ඤයේ ඒකාධිපති පාලනයට විරුද්ධ අපේ තරුණ කණ්ඩායමක් ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල ස්පාඤ්ඤ තානාපති කාර්යාලයට ගිනි තිබ්බා. එහෙම විරෝධය පළ කරන එක වැරදියි කියලා මට වැටහුණා.

ලොකු පුතා ඉපදුණාම මගේ මහත්තයට මං කිව්වා ආයේ කොමියුනිස්ට් රැස්වීම්වලට යන්නේ නැහැ කියලා. කණ්ඩායමේ එක යාළුවෙක්වත් මාවයි පුතාවයි බලන්න ආවේ නැති එක ගැන මං දුක් වුණා. ඔය කාලෙදී තමයි ජීවිතේ අරමුණ මොකක්ද, මේ සමාජය යහමඟට ගන්න හදන එකේ පලක් තියෙනවාද කියලා මම කල්පනා කළේ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

1976 දවසක ස්පාඤ්ඤ ජාතික සාක්ෂිකාර යුවළක් අපේ ගෙදරට ඇවිත් සඟරා වගයක් දුන්නා. ආයෙත් එයාලා ආවම දුක් වේදනා, අසාධාරණය, උස් පහත් භේද වගේ දේවල් තියෙන්නේ ඇයි කියලා මං ඇහුවා. එක දිගට අහපු ඒ ප්‍රශ්නවලට බයිබලෙන්ම උත්තර දුන්නම මං පුදුම වුණා. ඒ නිසා මම බයිබලය පාඩම් කරන්න කැමති වුණා.

මම මුලින්ම පාඩම් කළේ නිකං තොරුතුරු දැනගන්න වුණත් වැඩි කල් යන්න කලින් මායි මහත්තයයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ වෙද්දී අපිට දරුවෝ දෙන්නෙක් හිටියා. සාක්ෂිකරුවන් ගෙදරටම ඇවිල්ලා අපිව එයාලගේ නමස්කාර මධ්‍යස්ථානයේ පවත්වන රැස්වීම්වලට එක්කගෙන ගියා. එහෙදී අපේ දරුවන්ව බලාගන්නත් උදව් කළා. සාක්ෂිකරුවන් ගැන මට ලොකු ආදරයක් ඇති වුණා.

ඒත් ආගම්වල උගන්වන දේවල් ගැන මට තිබුණ සැක දුරු වෙලා තිබුණේ නැහැ. පවුලේ අයව බලන්න ස්පාඤ්ඤයට ගියාම මගේ මාමාව මුණගැහුණා. එයා පූජකයෙක්. මම බයිබලය පාඩම් කරනවාට එයා සතුටු වුණේ නැහැ. මම ස්පාඤ්ඤයේ ඉන්න සාක්ෂිකරුවන් එක්කත් බයිබලය පාඩම් කළා. එයාලත් ජර්මනියේ ඉන්න අය වගේ මගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ බයිබලයෙන්මයි. මම ආපහු ජර්මනියට ගියාම දිගටම බයිබලය පාඩම් කරනවා කියලා හිතාගත්තා. මහත්තය දිගටම පාඩම් කළේ නැතත් මම අධිෂ්ඨානය වෙනස් කළේ නැහැ. 1978දී මම බව්තීස්ම වෙලා යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකාරියක් වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

බයිබලයේ තියෙන නිවැරදි දැනුම, අරමුණක් ඇතුව ජීවත් වෙන්නත් අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්නත් මට උදව් වෙලා තියෙනවා. උදාහරණයකට 1 පේතෘස් 3:1-4 භාර්යාවන්ට උනන්දු කරන්නේ “ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න” ඔවුන්ට “ගැඹුරු ගෞරවය” දක්වන්න කියලයි. ඒ වගේම “තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න. දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි” කියලත් එතන කියනවා. මවක්, බිරිඳක් විදිහට මගෙන් ඉටු වෙන්න ඕන වගකීම් ඉටු කරන්න බයිබලයේ තියෙන ඒ ප්‍රතිපත්ති මට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

මම සාක්ෂිකරුවෙක් වෙලා දැනට අවුරුදු 35ක් විතර වෙනවා. මගේ දරුවෝ 5දෙනාගෙන් 4දෙනෙක් ඇතුළු මුළු ලෝකෙම ඉන්න සහෝදරයන් එක්ක දෙවියන්ට සේවය කරන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන මට ගොඩක් සතුටුයි.