Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

යාච්ඤා කරන්න ඕනෙද?

යාච්ඤා කරන්න ඕනෙද?

‘දෙවියන් හැම දේම දන්නවා නම්, මගේ හිතේ තියෙන දේත් දන්නවා නම් මං යාච්ඤා කරන්නේ මොකටද’ කියලා ඔබ හිතයි. යේසුස් කිව්වේ “ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා” කියලයි. (මතෙව් 6:8) පුරාණ ඊශ්‍රායෙලයේ හිටපු දාවිත් රජත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, මාගේ මුඛයෙන් වචනයක් පිට වෙන්නත් කලින් මා පැවසීමට යන දේ ඔබ දන්නෙහිය.” (ගීතාවලිය 139:4) එහෙමනම් අපි යාච්ඤා කරන්න ඕන ඇයි? ඒකට උත්තරේ බයිබලයෙන් බලමු. *

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”යාකොබ් 4:8

යාච්ඤාව දෙවියන්ට ළං වෙන්න මඟක්

යෙහෝවා * දෙවියන් හැම දෙයක් ගැනම දන්නවා කියලත් ඔහුට තොරතුරු මතක තියාගන්න අසීමිත හැකියාවක් තියෙනවා කියලත් බයිබලයේ කියනවා. (ගීතාවලිය 139:6; රෝම 11:33) ඒත් ඔහු තමන්ට නමස්කාර කරන අය ගැන තොරතුරු රැස් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපිට හිතෙන විදිහ ගැන දැනගන්නයි දෙවියන් කැමති. (ගීතාවලිය 139:23, 24; යාකොබ් 4:8) අපේ අවශ්‍යතා ගැන පියාණන් දන්නවා වුණත් ඒ ගැන ඔහුට යාච්ඤාවෙන් කියන්න කියලා යේසුස් දිරිගැන්නුවේ ඒ නිසයි. (මතෙව් 6:6-8) අපි දෙවියන්ට අපේ හිතේ තියෙන දේවල් කියන තරමටම ඔහුත් අපිට ළං වෙනවා.

යාච්ඤා කරන්න ඕන මොනවා ගැනද කියලා අපිට හිතාගන්න බැරි අවස්ථා මතු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී වචනවලට පෙරළගන්න බැරි අපේ හැඟීම් තේරුම්ගන්නත් අපේ අවශ්‍යතා හොඳින් තේරුම් අරගෙන ඒවා ඉටු කරලා දෙන්නත් දෙවියන්ට පුළුවන්. (රෝම 8:26, 27; එෆීස 3:20) ඒ වගේ අවස්ථාවකදී අපි කවදාවත් නොහිතපු විදිවලින් පවා දෙවියන් අපිට උදව් කරපු හැටි තේරුම්ගනිද්දී අපි ඔහුට ළං වෙනවා.

හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?

දෙවියන් තම විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවලට සවන් දුන්නත් සමහර අයගේ යාච්ඤාවලට සවන් දුන්නේ නැහැ. ඒ ඇයි කියලා බයිබලයේ කියනවා. උදාහරණයකට අතීත ඊශ්‍රායෙලයේ සැහැසියාව දසත පැතිරිලා තිබුණු කාලයක අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් දෙවියන් තම සෙනඟට කිව්වේ “ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි. මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත” කියලයි. (යෙසායා 1:15) ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන්ගේ නීතිවලට පිටුපාන අයගේ වගේම වැරදි චේතනාවෙන් යදින අයගේ යාච්ඤා ඔහු අහන්නේ නැහැ කියන එකයි.හිතෝපදේශ 28:9; යාකොබ් 4:3.

බයිබලයේ මෙහෙමත් කියලා තියෙනවා. ‘දෙවිගේ කැමැත්තට එකඟව අපි යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා.’ (1 යොහන් 5:14) ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ඉල්ලන ඕනම දෙයක් ඔහු දෙනවා කියන එකද? නොදෙන අවස්ථාත් තියෙනවා. උදාහරණයකට ‘ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවක්’ ඉවත් කරලා දෙන්න කියලා යේසුස්ගේ අනුගාමියෙක් වූ පාවුල් තුන් වතාවක්ම දෙවියන්ගෙන් ඉල්ලුවා. (2 කොරින්ති 12:7, 8) සමහරවිට ඒක ඔහුගේ ඇස්වල කාලයක් පුරා තිබුණු දෝෂයක් වෙන්න ඇති. ඒක ඔහුට මොන තරම් වදයක් වෙන්න ඇද්ද! ඒ වෙනකොට ලෙඩුන් සුව කරන්නත් මිය ගිය කෙනෙකුව නැවත නැඟිටුවන්නත් දෙවියන් බලය දී තිබුණත් සුව නොවන තමන්ගේ රෝගය දරාගන්න පාවුල්ට සිදු වුණා. (ක්‍රියා 19:11, 12; 20:9, 10) ඔහු දෙවියන්ගෙන් ඉල්ලුව දේ හිතපු විදිහටම ඉටු නොවුණත් ඒක දරාගන්න දෙවියන් දුන්න උපකාරයට ඔහු ගොඩක් ස්තුතිවන්ත වුණා.2 කොරින්ති 12:9, 10.

“අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.”1 යොහන් 5:14

සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ යාච්ඤාවලට ආශ්චර්යවත් විදිහට පිළිතුරු ලැබුණා. (2 රාජාවලිය 20:1-7) එහෙම වුණේ කලාතුරකින්. තමන්ගේ යාච්ඤාවලට පිළිතුරු නොලැබුණාම දෙවිගේ සමහර සේවකයන් කලකිරුණා. උදාහරණයකට දාවිත් රජ මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට මාව අමතක කරන්නෙහිද? සදහටම ඔබ එසේ කරන්නෙහිද?” (ගීතාවලිය 13:1) ඒත් ඒ විශ්වාසවන්ත සේවකයා වන දාවිත්, ඊට කලින් වතාවලදී යෙහෝවා දෙවියන් තමාට පිහිට වෙලා තියෙන විදිහ මතක් කරගත්තාම ඔහුගේ විශ්වාසය ශක්තිමත් වුණා. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “ඔබේ මහත් ප්‍රේමය ගැන මම විශ්වාස කළෙමි.” (ගීතාවලිය 13:5) දාවිත් රජ වගේ අදත් දෙවිගේ සේවකයන්ට තමන් ඉල්ලන දේ ලැබෙන තුරු දෙවියන්ගෙන් ඉල්ලන්න සිද්ධ වෙයි.රෝම 12:12.

යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කොහොමද?

අපිට අත්‍යවශ්‍ය දේ දෙනවා.

දරුවන්ට ආදරේ දෙමව්පියන් දරුවන් ඉල්ලන හැම දේම දෙන්නේ නැහැ. ඉල්ලන වෙලාවෙම දෙන්නෙත් නැහැ. ඒ හා සමානව අපි දෙවියන්ගෙන් ඉල්ලන දේවල් අපි බලාපොරොත්තු වෙන විදිහට, අපි හිතන වෙලාවට නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් අපේ නිර්මාතෘ දෙවියන් වන යෙහෝවා අපිට ආදරේ නිසා ඇත්තටම අවශ්‍ය දේවල් නිසි වෙලාවෙදී නිසි විදිහට දෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.ලූක් 11:11-13.

ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම් අපිට බයිබලයෙන් ලැබිලා ඇති

අපි නොහිතන විදිහට උපකාර කරනවා.

කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ඉල්ලලා දෙවියන්ට අපි යාච්ඤා කළා කියලා හිතන්න. අපේ යාච්ඤාවට ආශ්චර්යවත් විදිහට උත්තරයක් නොලැබුණු හින්දා දෙවියන් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දීලා නැහැ කියලා හිතන එක හරිද? නැහැ. නොහිතපු විදිහකින් දෙවියන් පිහිට වෙලා තියෙනවාද කියලා කල්පනා කරලා බලන එක හොඳයි. සමහරවිට අපේ කිට්ටු යාළුවෙක් අපිට අවශ්‍ය වෙලාවෙදී උදව් කරලා ඇති. (හිතෝපදේශ 17:17) අපිට උදව් කරන්න ඒ යාළුවාව පෙලඹුවේ දෙවියන් වෙන්න බැරිද? එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙවියන් අපිට බයිබලයෙන් දීලා ඇති.2 තිමෝති 3:16, 17.

අවශ්‍ය වෙලාවට අපිට උදව් කරන්න දෙවියන් අපේ යාළුවන්ව පොලඹවන්න ඉඩ තියෙනවා

දෙවියන් තම සේවකයන්ගේ ප්‍රශ්න ගැටලු ඉවත් කරනවා වෙනුවට බොහෝ අවස්ථාවලදී ඒවාට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දෙනවා. (2 කොරින්ති 4:7) උදාහරණයකට යේසුස් අසීරු අවස්ථාවකට මුහුණ දුන්න වෙලාවේ, පියාණන්ගේ නමට කැළලක් ඇති වෙයි කියන බය නිසා ඒක ඉවත් කරන්න කියලා පියාණන්ට කන්නලව් කළා. නමුත් ඒක ඉවත් කරනවා වෙනුවට දෙවියන් දේවදූතයෙක් එවලා ඔහුව ශක්තිමත් කළා. (ලූක් 22:42, 43) ඒ වගේ අපිට ශක්තිය අත්‍යවශ්‍ය වෙලාවකදී අපේ යාළුවෙක් මාර්ගයෙන් දෙවියන් අපිව දිරිගන්වන්න ඉඩ තියෙනවා. (හිතෝපදේශ 12:25) දෙවි ඒ වගේ අපි නොහිතන ක්‍රමවලිනුත් අපේ යාච්ඤාවලට පිළිතුරු දෙනවා කියන එකත් මතක තියාගන්න.

සුදුසු කාලයේදී පිළිතුරු දෙනවා.

දෙවියන් “සුදුසු කාලයේදී” ඔහුගේ නිහතමානී සේවකයන්ට උපකාර කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘස් 5:6) ඒ නිසා යාච්ඤාවලට පිළිතුරු ලැබෙන්න කල් ගියා වැඩියි කියලා හිතුණොත් දෙවියන් සලකන්නේ නැහැ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. ප්‍රඥාවෙන් පූර්ණ අපේ නිර්මාතෘ දෙවියන් අපිට යමක් දෙන්න සුදුසුම වෙලාව දන්නවා.

“මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.”1 පේතෘස් 5:6

මෙහෙම හිතන්න. ඔබට පොඩි පුතෙක් ඉන්නවා. එයා බයිසිකලයක් ඉල්ලනවා. ඉල්ලපු ගමන් ඔබ බයිසිකලයක් අරන් දෙනවාද? පුතාට දැන්ම බයිසිකලයක් අරන් දෙන එක සුදුසු නැත්නම් ඒක අරන් නොදෙන්න ඔබ තීරණය කරයි. හැබැයි සුදුසු කාලය ආවම බයිසිකලයක් අරන් දෙයි. ඒ වගේ අපි දිගටම දෙවියන්ට යාච්ඤා කරනවා නම් ඔහු අපේ සිතේ ඇති වන සුදුසු “ආශාවන්” නියමිත කාලයේදී ඉටු කරයි.ගීතාවලිය 37:4.

යාච්ඤාවලට අනිවාර්යයෙන්ම සවන් දෙනවා

අපේ යාච්ඤාවලට දෙවියන් සවන් දෙනවා කියන විශ්වාසය නැති කරගන්න එපා. ‘කියන්න නම් ලේසියි කරන්න තමයි අමාරු’ කියලා සමහරු කියයි. ඒත් අපි කාලයක් තිස්සේ ප්‍රශ්නයකට හෝ අයුක්තියකට මුහුණ දෙමින් ඉන්නවා නම් දෙවියන් ඒකට විසඳුමක් දෙනකම් බලාගෙන ඉන්න එක ලේසි නැහැ. හැබැයි මේක අමතක කරන්න එපා. යේසුස් කිව්වේ නොකඩවා යාච්ඤා කරන්න කියලයි.

ඒ ගැන යේසුස් උපමාවකින් පෙන්නුවා. අසාධාරණ විනිශ්චයකරුවෙක් ළඟට දුප්පත් වැන්දඹුවක් නිතර දෙවේලේ ගිහින් යුක්තිය ඉටු කරලා දෙන්න කියලා ඇවිටිලි කළා. (ලූක් 18:1-3) මුලින් ඔහු ඇයට උදව් කරන්න අකමැති වුණත් පස්සේ මෙහෙම හිතුවා. “මේ වැන්දඹුව ඇවිත් නිතර නිතර මට කරදර කරන නිසා මම ඇයට සාධාරණය ඉටු කර දිය යුතුයි. එහෙම නොකළොත් ඇය දිගින් දිගටම ඇවිත් මට එපා වන තරමට කරදර කරයි.” (ලූක් 18:4, 5) මෙය ලියා තිබුණු ග්‍රීක භාෂාවට අනුව විනිශ්චයකරු ඇගේ ඇවිටිල්ලට කන් දුන්නේ ඇය ඔහුගේ “නමට කැළලක් කරයි” කියන බයෙන්. * අසාධාරණ විනිශ්චයකරුවෙක් තමාගේ නමට වෙන කැළල නිසා වැන්දඹුවට යුක්තිය ඉටු කළා නම් අපිට ආදරේ කරන දෙවි පියාණන් ‘දිවා රෑ දෙකේම ඔහුට කන්නලව් කරන අය වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?’ යේසුස් කිව්වේ “ඉක්මනින්ම සාධාරණය ඉටු කර දෙන බව ස්ථිරයි” කියලයි.ලූක් 18:6-8.

“නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි.”ලූක් 11:9

උදව් ඉල්ලලා යාච්ඤා කළත් පිළිතුරු ලැබුණේ නැති නිසා අපි අධෛර්ය වෙලා ඇති. ඒත් දිගටම යාච්ඤා කරන එකෙන් පෙන්වන්නේ දෙවියන්ගේ උපකාරය අපිට නැතුවම බැහැ කියලයි. දෙවියන්ට කරන කන්නලව්වලට පිළිතුරු ලැබෙනවා කියලා දැනුණම අපි තවත් ඔහුට ළං වෙනවා. අපි සැක නොකර දිගටම දෙවියන්ගේ කැමැත්තට එකඟව ඉල්ලන දේවල් ඔහු අපිට දෙනවා කියලා විශ්වාසයි.ලූක් 11:9.

^ 3 ඡේ. දෙවියන් යාච්ඤාවලට සවන් දෙන්නේ ඔහුගේ කැමැත්තට අනුව යාච්ඤා කළොත් විතරයි. එහෙම කළොත් එයින් මොන තරම් ප්‍රයෝජන ලැබෙනවාද කියලා මේ ලිපියෙන් දැනගන්න ලැබෙයි. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 5 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

^ 22 ඡේ. වැන්දඹුවන්ට හා පියා නැති දරුවන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා එදා සිටි විනිශ්චයකරුවන්ට යෙහෝවා දෙවියන් අණ කළා.ද්විතීය කතාව 1:16, 17; 24:17; ගීතාවලිය 68:5.