Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

‘මං කොච්චර දරුණු කෙනෙක්ද කියලා මට තේරුණා’

‘මං කොච්චර දරුණු කෙනෙක්ද කියලා මට තේරුණා’
  • ඉපදුණ අවුරුද්ද: 1960

  • රට: ෆින්ලන්තය

  • අතීතයේදී: හෙවි මෙට්ල් ගායකයෙක්

මගේ අතීතය:

මං හැදුණේ ටුර්කු නගරයේ. අපේ ගෙවල් අවට ගොඩක් හිටියේ පොඩි පඩියකින් ජීවිතේ ගැට ගහගත්තු මිනිස්සු. මගේ තාත්තා බොක්සින් චැම්පියන් කෙනෙක් නිසා මායි මල්ලියි පොඩි කාලේ ඉඳලම බොක්සින් ඉගෙනගත්තා. ඉස්කෝලෙදී මම නිතරම වගේ ළමයි එක්ක ගහගත්තා. හැබැයි මං ඊට වඩා ලොකු ලොකු රණ්ඩුවලට පැටලුණේ දරුණු කල්ලියකට බැඳුණට පස්සේ. හෙවි මෙට්ල් සිංදු අහන්න පුරුදු වුණු මම හීන මැව්වේ රොක් ගායකයෙක් වෙන්නයි.

ඒ ආසාව නිසාම මම ඩ්‍රම් කීපයක් අරගෙන තව කට්ටියක් එක්ක එකතු වෙලා ගෲප් එකක් හදාගත්තා. අපි ලොකු ප්‍රසංගත් කළා. මම තමයි ප්‍රධාන ගායකයා. මං ආස වුණේ සිංදු කියද්දී කෑගහලා, උඩ පැනලා ස්ටේජ් එක දෙවනත් කරන්නයි. ස්ටේජ් එකේදී කලහකාරී විදිහට හැසුරුණු නිසාත් අපිළිවෙළකට ඇඳ පැළඳගෙන හිටිය නිසාත් අපි ගොඩක් ජනප්‍රිය වුණා. අපි රෙකෝඩ් කරපු සිංදුවලින් අන්තිමට කරපු එකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ගෲප් එකේ ප්‍රචාරණ වැඩවලට අපි 1980 ගණන්වල එක්සත් ජනපදයට ගියාම නිව් යෝර්ක්වලයි ලොස් ඇන්ජලීස්වලයි ප්‍රසංග කීපයකුත් කළා. එහෙදී අපිට පුළුවන් වුණා සංගීත ක්ෂේත්‍රයේ නම් දරපු කීපදෙනෙක්ව අඳුනගන්න.

සිංදු කියන එක ලොකු සතුටක් වුණත් ජීවිතේ හිස්බවක් මට නිතරම දැනුණා. සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අය අනිත් අයව පාගලා ඉහළට එන්න හදන විදිහ දැකලා මම කලකිරුණා. කිසිම හරයක් නැති මගේ පිස්සු ජීවිතේ මට එපා වුණා. මට හිතුණේ මම හරිම නරක කෙනෙක් කියලයි. මැරුණට පස්සේ අපායේ පිච්චි පිච්චි ඉන්න වෙයි කියලා මට භයකුත් තිබුණා. මං එක එක ආගම්වල පොත් කියවලා මගේ හිතේ තිබුණ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. උදව් ඉල්ලලා මම නිතරම දෙවියන්ට යාච්ඤාත් කළා. ඒත් මං වගේ කෙනෙක්ට දෙවියන් උදව් කරයි කියලා මට හිතුණේ නෑ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

සිංදු කියනවට අමතරව මං තැපැල් කන්තෝරුවක පොඩි ජොබ් එකකුත් කළා. එතන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුත් වැඩ කළා. මගේ හිතේ තිබුණු ප්‍රශ්න ගොඩක් මං එයාගෙන් ඇහුවා. එයා ඒ හැම ප්‍රශ්නෙකටම බයිබලෙන් පැහැදිලි උත්තර දුන්න නිසා බයිබලේ ගැන තව ඉගෙනගන්න මං කැමති වුණා. සති ගාණක් බයිබල් පාඩම කරගෙන යද්දී සිංදු වගයක් රෙකෝඩ් කරන්න අපේ ගෲප් එකට ආරාධනාවක් ලැබුණා. අපේම ගීත ඇල්බමයක් එක්සත් ජනපදයේ නිකුත් කරන්න ඒක හොඳ අවස්ථාවක් නිසා ඒ වගේ චාන්ස් එකක් නම් ආයේ ජීවිතේටවත් ලැබෙන එකක් නෑ කියලා මම හිතුවා.

තව එක ගීත ඇල්බමයක් කළාට පස්සේ මගේ ජීවිතේ වෙනස් කරගන්නවා කියලා මාත් එක්ක පාඩම් කරපු කෙනාට මං කිව්වා. එයා වැඩිය මුකුත් නොකියා මට කිව්වා මතෙව් 6:24 යේසුස් කිව්ව දේ කියවලා බලන්න කියලා. එතන කියන්නේ “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ” කියලයි. ඒ වචන ටික මගේ හිතට හොඳට වැදුණා. යේසුස්ට කීකරු වෙන්න ඕන නිසා මම ගෲප් එකෙන් අයින් වෙන්න තීරණේ කළා. ඒක අහලා මාත් එක්ක පාඩම් කරපු කෙනා හුඟක් සතුටු වුණා.

බයිබලේ මගේ අඩුපාඩු පෙන්නපු කැඩපතක් වගේ. (යාකොබ් 1:22-25) මං කොච්චර දරුණු කෙනෙක්ද කියලා ඒක කියවද්දී මට තේරුණා. මං හරිම ආඩම්බර, සංගීත ලෝකයේ ලොකු නමක් හදාගන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මම නිතරම අසභ්‍ය වචන පාවිච්චි කළා, ගහගත්තා, සිගරට් බිව්වා, වෙරි වෙනකම් බිව්වා. බයිබලේ තියෙන දේවල් එක්ක බලද්දී මං ගත කරන්නේ කොච්චර පහත් ජීවිතයක්ද කියලා හිතලා මට මං ගැනම කලකිරුණා. ඒ නිසා මගේ ජීවිතේ කොහොමහරි වෙනස් කරගන්න ඕන කියලා මං හිතාගත්තා.—එෆීස 4:22-24.

“අපේ දෙවි පියාණන් දයාවන්ත, වැරදි ගැන තැවිතැවී ඉන්න අයව සනසවන දෙවි කෙනෙක්”

බයිබලේ පාඩම් කරන්න ගත්ත මුල් කාලෙදී කලින් කරපු වැරදි ගැන මට දරාගන්න බැරි දුකක් දැනුණා. හැබැයි මාත් එක්ක පාඩම් කරපු කෙනා මාව නිතරම ශක්තිමත් කළා. යෙසායා 1:18 තියෙන දෙවිගේ මේ පොරොන්දුව එයා මට පෙන්නුවා. “ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.” අපේ දෙවි පියාණන් දයාවන්ත, වැරදි ගැන තැවිතැවී ඉන්න අයව සනසවන දෙවි කෙනෙක් කියලා තේරුම්ගන්න ඒ බයිබල් පදේ විතරක් නෙමෙයි තව හුඟක් බයිබල් පද මට උදව් වුණා.

කාලයත් එක්කම යෙහෝවා දෙවියන් ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. ඒ නිසා මං මගේ ජීවිතේ දෙවියන්ට කැප කරලා 1992දී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වල තිබුණු සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකදී බව්තීස්ම වුණා.—ගීතාවලිය 40:8.

මං දැන් අද්දකින ආශීර්වාද:

යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතරේ දැන් මට හොඳ යාළුවෝ ඉන්නවා. අපි ඉඳලා හිටලා එකතු වෙලා සිංදුවක් දෙකක් කියලා විනෝද වෙනවා. සංගීතය කියන්නේ යෙහෝවා දෙවිගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. (යාකොබ් 1:17) මට දෙවිගෙන් ලැබුණු තවත් වටිනා තෑග්ගක් තියෙනවා. ඒ තමයි මගේ ආදරණීය බිරිඳ, ක්‍රිස්ටිනා. දුකේදිත් සැපේදිත් එයා මං ළඟින්ම ඉන්නවා. මගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම මං එයත් එක්ක කතා කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ නැත්නම් මං මෙලහකටත් ජීවතුන් අතර නැතුව ඇති. ඉස්සර මං නිතරම ප්‍රශ්න ගැටලුවලට පැටලුණා. හැබැයි දැන් එහෙම නෑ. දැන් මං ගත කරන්නේ අර්ථවත් ජීවිතයක්.