Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

තමාව පාලනය කරගන්න දරුවාට උගන්වන්න

තමාව පාලනය කරගන්න දරුවාට උගන්වන්න

ප්‍රශ්නය

අවුරුදු හයක් වයස ඔයාගේ දරුවා එයාව පාලනය කරගන්න පොඩ්ඩක්වත් දන්නේ නැහැ. එයා ආස කරන දෙයක් දැක්කොත් ඒ වෙලාවෙම එයාට ඒක ඕනේ. කේන්ති ගියාම සමහර වෙලාවට එයා බෙරිහන් දෙනවා. ඔයා මෙහෙම කල්පනා කරනවා. ‘දරුවා මේ විදිහට හැසිරෙන එක සාමාන්‍ය දෙයක්ද? ලොකු වෙද්දී මේ ගතිය ඇරිලා යයිද? තමාව පාලනය කරන විදිහ දැන් ඉඳලාම එයාට කියලා දෙන්න වෙයිද?’

දැනගන්න ඕන දේ

අද සමාජය තමාව පාලනය කරගන්න දිරි දෙන්නේ නැහැ. ආචාර්ය ඩේවිඩ් වොල්ෂ් කියන්නේ මෙහෙමයි. ‘අපි කරන්න ඕනෙ අපිට ඕන දේ කියලා හුඟක් අය කියනවා. මිනිසුන් සාර්ථක වෙනවා දකින්න කැමති උපදේශකයන් වුණත් වැරදි උපදෙස් දීලා සල්ලි ගරාගන්න අය වුණත් තමන්ට ඕන දේ කොහොමහරි ඉටු කරගන්න උනන්දු කරනවා.’ *

තමාව පාලනය කරගන්න පොඩි කාලේදීම උගන්වන්න. සමීක්ෂණයකින් හෙළි වුණු දේ බලන්න. අවුරුදු 4ක් වයස දරුවන් පිරිසකට මාෂ්මෙලෝ එක ගාණේ දීලා කිව්වා ඕනෙ නම් දැන්මම කන්න පුළුවන් හැබැයි ටික වෙලාවක් හිටියොත් තව මාෂ්මෙලෝ එකක් දෙනවා කියලා. පාසැල් අධ්‍යාපනය හමාර වුණාට පස්සේ ඔප්පු වුණේ අවුරුදු 4දී ටික වෙලාවක් හිටිය ළමයි අනිත් අයට වඩා මානසිකව, අධ්‍යාපන කටයුතු සහ අනිත් අයත් එක්ක ඇසුරු කිරීම සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්නවා කියලයි.

තමාව පාලනය කරගන්න කියලා දුන්නේ නැත්නම් පාඩුව දරුවාටයි. දරුවෙක් ලබාගන්න අද්දැකීම්වලින් මොළයේ ස්නායු අතර තියෙන සම්බන්ධක වර්ධනය වෙනවා කියලා සමීක්ෂකයන් විශ්වාස කරනවා. ආචාර්ය ඩෑන් කින්ඩ්ලන් මෙහෙම කියනවා. “දරුවා ඉල්ලන හැම දේම දෙනවා නම් ඒ වගේම තමන්ගේ වාරේ එන කල් ඉන්න, තමන් ආස කරන දෙයක් ලැබෙන කල් කාලයක් බලන් ඉන්න සහ වැරදි පෙලඹවීම් ප්‍රතික්ෂේප කරන්න ඉගැන්නුවේ නැත්නම් අනාගතයේදී දරුවා මානසිකව ශක්තිමත් වෙයි කියලා හිතන්න බැහැ.” *

මොනවද කරන්න පුළුවන්?

ආදර්ශවත් වෙන්න. ඔයා ඔයාවම පාලනය කරගන්න කෙනෙක්ද? වාහන තදබදයකට අහු වුණාම කේන්ති යනවාද? පෝළිම් පනිනවාද? අනිත් අය කතා කරද්දී මැදට පැනලා ඒකට බාධා කරනවාද? “දරුවන්ට තමාව පාලනය කරගන්න උගන්වන්න පුළුවන් හොඳම විදිහ තමයි අපේ ආදර්ශය” කියලා කින්ඩ්ලන් කියනවා.—රෝම 12:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ප්‍රතිඵල ගැන කියා දෙන්න. ආසාවන් පාලනය කරගන්න විදිහ අනුව හොඳ හෝ නරක ප්‍රතිඵල විඳින්න වෙන බව දරුවාට තේරෙන විදිහට කියලා දෙන්න. උදාහරණෙකට කෙනෙක් කරපු දෙයක් නිසා දරුවාට කේන්ති ගිහිල්ලා නම් මෙහෙම හිතලා ඒක නැති කරගන්න උදව් කරන්න. ‘පළිගත්තොත් හරි යයිද නැත්නම් හිත් රිදෙයිද? ඊට වඩා හොඳ ක්‍රමයක් නැද්ද? උදාහරණෙකට එකේ ඉඳන් දහයට ගණින එක නැත්නම් එතැනින් අයින් වෙන එක උදව් වෙයිද?’—ගලාති 6:7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අගය කරන්න. දරුවා තමාව පාලනය කරගද්දී ඒක අගය කරන්න. හැම තිස්සෙම තමාව පාලනය කරගන්න එක ලේසි නැති වුණත් ඒක කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා කියලා දරුවාට කියලා දෙන්න. බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසෙකු තමාවම පාලනය කර නොගන්නේ නම් ඔහු පවුර කඩා බිඳ දැමූ නුවරක් මෙනි.” (හිතෝපදේශ 25:28) “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්.”—හිතෝපදේශ 16:32.

පෙරහුරු කරන්න. ප්‍රශ්නයක් විසඳන ‘හරි විදිහත්’ ‘වැරදි විදිහත්’ ගැන දරුවා එක්ක කතා කරන්න. ඒක රඟ දක්වන්නත් පුළුවන්. පින්තූර, පුංචි රූකඩ වගේ දේවල් අරගෙන දරුවාට ආස හිතෙන විදිහට ඒක කරන්න. තමාව පාලනය කරගන්න එක කේන්ති ගන්නවාට වඩා හොඳයි කියලා කාවද්දන්න උත්සාහ කරන්න.—හිතෝපදේශ 29:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඉවසන්න. “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 22:15) ඒ නිසා දරුවෙක් දවසෙන් දෙකෙන් තමාව පාලනය කරගන්න ඉගෙනගනියි කියලා හිතන්න එපා. පොතක මෙහෙම සඳහන් වුණා. ‘දරුවෙක්ව පුහුණු කරන එක දිගු කාලීන දෙයක්. ඒක වේගයෙන් වෙන්නේ නැහැ. සමහර වෙලාවට දරුවා අසමත් වෙයි. ඒත් තමාව පාලනය කරගන්න දරුවෙක්ට වයස 12දී මත්ද්‍රව්‍ය ගන්න එකෙනුත් 14දී ලිංගික ඇසුරේ යෙදෙන එකෙනුත් වැළකිලා ඉන්න හැකියාව තියෙනවා.’—Teach Your Children Well.

^ 6 ඡේ. No: Why Kids—of All Ages—Need to Hear It and Ways Parents Can Say It නමැති පොතෙන්.

^ 8 ඡේ. Too Much of a Good Thing—Raising Children of Character in an Indulgent Age නමැති පොතෙන්.