Skip to content

පටුනට යන්න

ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඔයාත් වහල් වෙලාද?

ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඔයාත් වහල් වෙලාද?

“මම දවසකට පැය අටක් වීඩියෝ ගේම් ගහනවා. දැන් මට ඒක නවත්තගන්න බැහැ” කියලා ජෙනී කියනවා.

මොබයිල් ෆෝන් එක, අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නැතුව දවස් හතක් ඉන්න ඩෙනිස් උත්සාහ කළත් ඔහුට දවස් දෙකක්වත් ඉන්න බැරුව ගියා.

ජෙනී සහ ඩෙනිස් කියන්නේ යෞවන අය නෙමෙයි. ජෙනී ළමයි 4දෙනෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. ඩෙනිස්ට අවුරුදු 49යි.

ඉලෙක්ට්‍රොනික් උපකරණ * පාවිච්චි කරනවාද කියලා ඇහුවොත් ගොඩක් අය ඔව් කියයි. කාර්යාල වැඩකටයුතුවලට, විනෝදයක් ලබන්න හා වෙනත් අවස්ථාවලදී මේවා ප්‍රයෝජනවත්.

ඒත් ජෙනී හා ඩෙනිස් වගේ අද ඉන්න හුඟදෙනෙක් ඉලෙක්ට්‍රොනික් උපකරණවලට වහල් වෙලා. අවුරුදු 20ක් වයස නිකොල් කියන දේ බලන්න. “අකමැත්තෙන් වුණත් මට කියන්න වෙන්නේ මගේ හොඳම යාළුවා ෆෝන් එක කියලයි. මට ඒක නැතුව බැහැ. මට පැය භාගෙන් භාගෙට මෙසේජ් බලන පුරුද්දකුත් තියෙනවා. ඒ නිසා සිග්නල් නැති පැත්තකට ගියාම මට පිස්සු හැදෙනවා.”

සමහර අය මෙසේජ්, අප්ඩේට්ස් බලන්න රෑ තිස්සේ නැඟිටිනවා. ඒ අය මොන තරම් වහල් වෙලාද කියනවා නම් ඔවුන් පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ ටික වෙලාවකට හරි නැති වුණොත් ඔවුන්ට ඒක දරාගන්න බැහැ. සමහර පර්යේෂකයන් මේ වගේ තත්වයක් හඳුන්වන්නේ ඇබ්බැහි වීමක් කියලයි. ඒත් “ඇබ්බැහි වීමක්” කියලා කියන්න අකමැති අය “ගොඩ එන්න බැරි පුරුද්දක්,” “ලොකු ප්‍රශ්නයක්” වගේ යෙදුම් ඒකට පාවිච්චි කරනවා.

ඒ කොයි විදිහට කිව්වත් ඕනෑවට වඩා ඉලෙක්ට්‍රොනික් උපකරණ පාවිච්චි කරන එකෙන් වෙන්නේ හානියක්. සමහර වෙලාවට පවුලේ අය අතරේ තියෙන බැඳීම්වලට පවා බාධා ඇති වෙලා තියෙනවා. අවුරුදු 20ක් වයස දුවක් මෙහෙම කියනවා. “මං ගැන තාත්තා කිසිම දෙයක් දන්නේ නැහැ. තාත්තා මාත් එක්ක කතා කරන්නෙත් ෆෝන් එකෙන් ඊ-මේල් පණිවිඩ යව යවයි. තාත්තාට නම් ෆෝන් එකෙන් තොර ලෝකයක් නැහැ. තාත්තා මට ආදරේ ඇති. ඒත් ඒ ආදරේ මට දැනෙන්නේ නැහැ.”

ගොඩ එන්න මඟක්

චීනය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය වගේ රටවල්වල ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඇබ්බැහි වෙලා ඉන්න අයව මුදවාගන්න උදව් කරන මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. ඒ වගේ තැන්වල කරන්නේ ඇබ්බැහි වෙලා ඉන්න අයට දවස් ගාණකට කිසිම ඉලෙක්ට්‍රොනික් උපකරණයක් පාවිච්ච කරන්න නොදෙන එකයි. එහෙම තැනකින් උදව් ලබපු බ්‍රෙට් කියන තරුණයා ගැන බලන්න. ඔහු දවසකට පැය 16ක් විතර ඉන්ටනෙට් එකේ ගේම් ගහන්න පුරුදු වෙලා හිටියා. ඔහු මෙහෙම කියනවා. “ඉන්ටනෙට් එකට ගියාම මට ඒකෙන් ලැබෙන්නේ අමුතුම සතුටක්.” ඒත් ඒ කාලයේදී ඔහු රැකියාවක් කළේවත් පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙලා තිබුණේවත් නැහැ. ඔහුගේ යාළුවොත් ඔහුව අත්හැරලා ගිහින්. ඒ වගේ තත්වයකට පත් නොවී ඉන්න මොනවද කරන්න ඕන?

ඔයා ඉන්න තත්වය ගැන සෝදිසි කරලා බලන්න. ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔයාට මොන තරම් බලපෑමක් කරනවාද කියලා පහත තියෙන ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් දැනගන්න පුළුවන්.

  • ඉලෙක්ට්‍රොනික් උපකරණ හරි ඉන්ටනෙට් එක හරි පාවිච්චි කරන්න බැරි වුණොත් ඔයාට ඒක ලොකු අඩුවක් වගේ දැනෙනවාද?

  • ඔයා ඒ උපකරණ පාවිච්චි කරන එක නවත්වන්නේ එහෙම කරන්න තීරණය කරපු වෙලාව හුඟක් පහු වෙලාද?

  • මෙසේජ් එකක් ආපු ගමන්ම බලන්න පුරුදු වෙලා ඉන්න නිසා රෑට හරි හමං නින්දක් නැද්ද?

  • ඔයාගේ මේ පුරුද්ද නිසා පවුලේ අය එක්ක තියෙන බැඳීම පලුදු වෙලාද? ඒකට දෙන උත්තරේට පවුලේ අයත් එකඟ වෙයිද?

ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා පවුලේ අය වෙනුවෙන් කරන්න ඕන යුතුකම් හා වෙනත් වගකිම් වැනි “වඩා වැදගත් දේවල්” ඔයා පැහැර හරිනවාද? (ෆිලිප්පි 1:10) එහෙමනම් මොනවද කරන්න පුළුවන්?

සීමාවක් දාගන්න. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ කියලා කියනවා ඔයත් අහලා ඇති. ඒ නිසා ඔයා ඉලෙක්ට්‍රොනික් උපකරණ පාවිච්චි කරන්නේ ව්‍යාපාර කටයුතුවලට එහෙමත් නැත්නම් විනෝදයක් ලබන්න වුණත් සීමාවක් ඇතුව පාවිච්චි කරන්න. කොච්චර වෙලා පාවිච්චි කරනවාද කියලා තීරණය කරලා ඒකට ඇලිලා ඉන්න.

යෝජනාවක්: අවශ්‍ය නම් පවුලේ කෙනෙක්ගේ හරි යාළුවෙක්ගේ හරි උපකාරය ලබාගන්න. බයිබලයේ මෙහෙම කියනවා. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. . . . ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.”—දේශනාකාරයා 4:9, 10.

ආසාව “ඇබ්බැහි” වීමක් දක්වා දුර දිග යන්න ඉඩ තියෙනවා

ඉක්මනින්ම තොරතුරු ලබාගන්නත් ඒවා බෙදාහරින්නත් පහසු නිසා අද කාලේ ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසාම ඒවාට ඇති වන ආසාව “ඇබ්බැහි වීම” දක්වා දුර දිග යන්නත් ඉඩ තියෙනවා. ඒත් ප්‍රයෝජනයක් ලැබෙන විදිහට කාලය පාවිච්චි කරනවා නම් ඉලෙක්ට්‍රොනික් උපකරණ නිසා ඔයා කාලය නාස්ති කරගන්න එකක් නැහැ.—එෆීස 5:16.

^ 5 ඡේ. මේ ලිපියේ “ඉලෙක්ට්‍රොනික් උපකරණ” කියද්දී ඉන් අදහස් වෙන්නේ වීඩියෝ, සංගීතය, වීඩියෝ ක්‍රීඩා, පින්තූර, ඊ-මේල්, කෙටි පණිවිඩ සහ විවිධ තොරතුරු හුවමාරු කරන්න පුළුවන් උපකරණ ගැනයි.