Skip to content

පටුනට යන්න

නොපෙනෙන දෙවියන්ව දකින්න පුළුවන්ද?

නොපෙනෙන දෙවියන්ව දකින්න පුළුවන්ද?

“දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්” කියලා බයිබලයේ කියනවා. (යොහන් 4:24) ඒත් සමහර අය දෙවියන්ව දැක තිබෙනවා කියලත් බයිබලයේ කියනවා. (හෙබ්‍රෙව් 11:27) එහෙම වෙන්නේ කොහොමද? ඇත්තටම ‘නොපෙනෙන දෙවියන්ව’ දකින්න පුළුවන්ද?කොලොස්සි 1:15.

උපතින්ම අන්ධ කෙනෙක් ගැන හිතන්න. ඔහුට අවට ලෝකයේ සිදු වෙන කිසිම දෙයක් ගැන දැනගන්න බැරිද? එහෙම කියන්න බැහැ. අවට ඉන්න අය ගැන, තිබෙන දේවල් ගැන හා සිදු වෙන දේවල් ගැන ඔහු තොරතුරු ලබාගන්නවා. අපි දකින්නේ “ඇස්වලින් නෙමෙයි මනසින්” කියා අන්ධ කෙනෙක් පැවසුවා.

ඒ හා සමානව ඔබට දෙවියන්ව ඔබේ පියවි ඇස්වලින් දකින්න බැරි වුණත් ‘සිත් නමැති ඇස්වලින්’ දකින්න පුළුවන්. (එෆීස 1:19, පැරණි අනුවාදය) එහෙම කරන්න පුළුවන් ක්‍රම තුනක් බලමු.

“දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය” කිරීමෙන්

සාමාන්‍ය අයට වඩා අන්ධ අයට ඇසීමේ හා දැනීමේ හැකියාව වැඩියි. ඔවුන් ඒ හැකියාවෙන් දකින්න බැරි දේවල් ගැන අවබෝධයක් ලබාගන්නවා. ඒ හා සමානව අපිට දෙවියන්ව නොපෙණුනත් අවට ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙන් අපේ නිර්මාතෘ දෙවියන්ව දැනගන්න පුළුවන්. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.රෝම 1:20.

පෘථිවි නිවහන ගැන ටිකක් හිතන්න. එය නිර්මාණය කර තිබෙන්නේ අපිට ප්‍රීතියෙන් ජීවිතය භුක්ති විඳින්න පුළුවන් විදිහටයි. මද සුළඟක පහස ලබද්දී, සීත දවසක හිරු රශ්මියේ උණුසුම දැනෙද්දී, දිව පිනා යන පළතුරක රසය දිවට දැනෙද්දී, කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ඇසෙද්දී අපි මොන තරම් සතුටක් ලබනවාද! එයින් අපේ නිර්මාතෘ දෙවියන් මොන තරම් සැලකිලිමත්ද කරුණාවන්තද ත්‍යාගශීලීද කියා පැහැදිලි වෙනවා.

විශ්වය නිරීක්ෂණය කරද්දී ඔබට දෙවියන් ගැන දැනගන්න පුළුවන් මොනවාද? අහස් කුස දෙස බලද්දී දෙවියන් සතු අතිමහත් බලය හෙළි වෙනවා. මෑතකදී විද්‍යාඥයන් සොයාගත් කරුණුවලින් පෙනී යන්නේ විශ්වය ප්‍රසාරණය වෙනවා පමණක් නෙමෙයි එය සිදු වෙන වේගයත් එන්න එන්නම වැඩි වෙන බවයි. එහෙම වෙන්නේ මොන බලයෙන්ද කියා ඔබ රාත්‍රී අහස දෙස බලා කල්පනා කර ඇති. බයිබලයේ සඳහන් වෙන්නේ නිර්මාතෘ දෙවියන්ට ‘අතිමහත් ශක්තියක්’ තිබෙනවා කියායි. (යෙසායා 40:26) දෙවියන්ගේ නිර්මාණවලින් ඔහු “බලයෙන් ඉතා උසස්” බවත් ‘සියලු බලැති දෙවියන්’ බවත් පැහැදිලි වෙනවා.යෝබ් 37:23.

“දෙවි කවුද කියා පැහැදිලි කර” දුන් තැනැත්තා

අන්ධ දරුවන් දෙදෙනෙක්ගේ මවක් මෙසේ පැවසුවා. “දරුවන්ට කාරණා අවබෝධ කරලා දෙන්න ඔයාට ඇහෙන ඔයා දකින හැම දෙයක් ගැනම දරුවන්ට විස්තර කරන එක වැදගත්. ඔයා ඒ අයගේ ඇස් දෙක වෙන්න.” අපිටත් දෙවියන් ගැන දැනගන්න පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ දේ කළේ දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස්. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත. නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ පියාණන් සමීපයෙහිම සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.” (යොහන් 1:18) ඔහු දෙවියන්ගේ මුල්ම නිර්මාණයයි. දෙවියන් විසින්ම නිර්මාණය කළ එකම පුත්‍රයායි. ඒ නිසා නොපෙනෙන දෙවියන්ව දකින්න අපිට උපකාර කළ හැකි එකම තැනැත්තා ඔහුයි.

දෙවියන් සමඟ දීර්ඝ කාලයක් සිටි යේසුස් දෙවියන් ගැන මෙසේ පැවසුවා:

  • දෙවියන් දිගටම වැඩ කරනවා. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා.”යොහන් 5:17.

  • දෙවියන් අපේ අවශ්‍යතාවන් ගැන දන්නවා. “ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා.”මතෙව් 6:8.

  • දෙවියන් අපට ත්‍යාගශීලීව සපයනවා. “ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් . . . දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.”මතෙව් 5:45.

  • දෙවියන්ට අපි හැම කෙනෙක්වම වටිනවා. “ගේකුරුල්ලන් දෙදෙනෙකුව විකුණන්නේ ඉතා සුළු මුදලකටයි. උන්ගෙන් එකෙක් බිමට ආවත් ඒ බව පියාණන් දන්නවා. එසේනම් ඔබ ගැන කිව හැක්කේ කුමක්ද? ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා. ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද? එමනිසා කිසිම දෙයකට බිය නොවන්න.”මතෙව් 10:29-31.

නොපෙනෙන දෙවියන්ව දකින්න සැලැස්වූ මිනිසෙක්

අන්ධ අය කාරණා තේරුම්ගන්න ආකාරය වෙනස්. උදාහරණයකට අන්ධ කෙනෙක් සෙවණකට ගියොත් ඔහුට දැනෙන්නේ සිසිලසක් විතරයි. එතැනට හිරු එළිය නොවැටෙන බව ඔහුට තේරුම්ගන්න බැහැ. ඒකට හේතුව මුළුමනින්ම අන්ධ කෙනෙකුට සෙවණවත් හිරු එළියවත් දකින්න බැරි වීමයි. ඒ වගේ, නොපෙනෙන යෙහෝවා දෙවියන්ව අපිට තනියෙන් තේරුම්ගන්න බැරි නිසයි ඔහුගේ ගුණාංග හා පෞද්ගලිකත්වය ඒ විදිහටම විදහාපෙන්වූ කෙනෙක්ව දෙවියන් පොළොවට එව්වේ.

ඔහු යේසුස්. (ෆිලිප්පි 2:7) යේසුස් තම පියාණන් ගැන කියා දුන්නා පමණක් නෙමෙයි ඔහු මොන වගේ කෙනෙක්ද කියා තමා ජීවත් වූ ආකාරයෙන් පෙන්නුවා. යේසුස්ගේ ගෝලයෙක් “ස්වාමීනි, අපට පියාණන්ව පෙන්නන්න” කියා පැවසූ විට “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියා යේසුස් පැවසුවා. (යොහන් 14:8, 9) යේසුස් ක්‍රියා කළ ආකාරයෙන් දෙවියන් ගැන ඔබට දැනගන්න පුළුවන් මොනවාද?

යේසුස් ප්‍රේමණීය, නිහතමානී හා ඕනෑම කෙනෙකුට ළං වෙන්න පුළුවන් කෙනෙක්. (මතෙව් 11:28-30) ඒ නිසා මිනිසුන් ඔහුට ළං වුණා. යේසුස් අනුන්ගේ දුක සැප බෙදාගත්තා. (ලූක් 10:17, 21; යොහන් 11:32-35) යේසුස් ගැන බයිබල් වාර්තා කියවන විට හෝ ඒවාට සවන් දෙන විට ඔහු ක්‍රියා කළ ආකාරය සිතින් මවාගන්න. යේසුස් මිනිසුන් එක්ක කටයුතු කළ ආකාරය ගැන ගැඹුරින් සිතා බලනවා නම් දෙවියන්ගේ ගුණාංග ගැන දැනගන්නත් ඔහුට ළං වෙන්නත් හැකි වෙයි.

සම්පූර්ණ චිත්‍රය දකින්න

අන්ධ කෙනෙක් ලෝකය දකින ආකාරය ගැන පොතක මෙසේ සඳහන් වුණා. “ඔහුට ඇහෙන, දැනෙන හා හැඟෙන දේවල් මගින් ඔහු තොරතුරු එකතු කරගන්නවා. ඊටපස්සේ පින්තූරයක් මවාගන්නවා.” ඒ වගේ, දෙවියන්ගේ නිර්මාණ නිරීක්ෂණය කිරීමෙන්, දෙවියන් ගැන යේසුස් පැවසූ දේවලින් හා යේසුස් පියාණන්ගේ ගුණාංග විදහා පෑ ආකාරයෙන් ඔබට යෙහෝවා දෙවියන් ගැන අවබෝධ කරගන්න පුළුවන්. එවිට දෙවියන් ඔබට සැබෑ පුද්ගලයෙක් වෙයි.

පුරාණයේ විසූ යෝබ්ගේ අද්දැකීමත් එයයි. මුලින් ඔහු “කිසි අවබෝධයක් නොමැතිව” දෙවියන් ගැන කතා කළා. (යෝබ් 42:3) ඒත් දෙවියන්ගේ නිර්මාණ සලකා බැලීමෙන් පසු ඔහු මෙසේ පැවසුවා. “මම කලින් ඔබ ගැන අසා තිබුණත් දැන් මාගේ ඇස් දෙකෙන්ම ඔබව දකින්නෙමි.”යෝබ් 42:5.

ඔබටත් යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න පුළුවන්

ඔබටත් යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න පුළුවන්. (1 ලේකම් 28:9) නොපෙනෙන දෙවියන් ගැන දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කරයි.