Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?

විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?

ප්‍රශ්නය

ආදරය කරන කාලේ දෙන්නට දෙන්නා හොඳට ගැළපෙනවා කියලයි හිතුවේ. ඒත් විවාහ වුණාට පස්සේ ඔබ බලාපොරොත්තු වුණ දේවල් ඒ විදිහටම වෙන්නේ නැති නිසා ඔබ ඉන්නේ ලොකු කලකිරීමකින්.

ඒත් විසඳුමක් නැහැ කියලා හිතන්න එපා. ඔබේ බැඳීම ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. මුලින්ම, කලකිරුණේ මොන වගේ දේවල් නිසාද කියලා හිතලා බලමු.

ඇයි එහෙම වෙන්නේ?

යථාර්ථයට මුහුණ දෙන්න සිදු වීම. විවාහ ජීවිතය රෝස මල් යහනාවක් කියලා හිතාගෙන විවාහ වුණ අයට ඇත්ත තත්වයට මුහුණ දෙන්න අමාරුයි. ඒ වගේ කෙනෙක්ට ගෙදරදොරේ වැඩ, දරුවන්ගේ වැඩ සහ නෑයන් එක්ක කටයුතු කරන එක වගේ සාමාන්‍ය දේවලින් පවා විවාහ ජීවිතේ සතුට අහිමි වෙන්න පුළුවන්. අනිත් අතට මුදල් ප්‍රශ්න, පවුලේ කෙනෙක්ගේ දරුණු අසනීපයක් වගේ දේවල් නිසාත් විවාහ ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්.

වෙනස් අදහස් ඉවසන්න බැරිකම. අදහස් ගැළපෙන්නෙ නැහැ කියලා ආදරය කරන කාලේ තේරුණත් ඒවා එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් බැන්දට පස්සේ සැමියා හෝ බිරිඳ වියදම් කරන විදිහ, කතා බහ කරන විදිහ, ප්‍රශ්න විසඳන විදිහ ඔබ කරන විදිහට වඩා වෙනස් කියලා දැනෙන්න පටන්ගන්නවා. ආදරය කරන කාලේ ඉවසුවත් දැන් ඔබට ඉවසන්න බැහැ.

දෙන්නට දෙන්නා දුරස් වීම. කාලයක් තිස්සේ හිත රිදෙන දේවල් කියන කරන නිසාත්, ප්‍රශ්න විසඳගන්නේ නැති නිසාත් දෙන්නට දෙන්නා දුරස් වෙන්න පුළුවන්. තත්වය කොයි තරම් දරුණු වෙන්න පුළුවන්ද කිව්වොත් සමහර විට ඔබට වෙන කෙනෙකුට ළං වීමට තරම් සිතක් පහළ වෙන්නත් පුළුවන්.

බලාපොරොත්තු සුන් වීම. තමන්ට ගැළපෙනම කෙනා ලැබුණා කියලා හිතාගෙන සමහරු ලස්සන ජීවිතයක් ගත කරන්න සිහින මවනවා. ඒ සිහින විවාහ ජීවිතේ විනාශ වෙන්න හේතුවක්. ප්‍රශ්නයක් ඇති වුණාම තමයි දැනගන්නේ දෙන්නගේ අදහස් වෙනස් කියලා. ඔබ හිතුව දේ වැරදියි කියලා තේරුම්ගන්නේ ඒ වේලාවටයි.

මොනවාද කරන්න පුළුවන්?

වැරදි දකිනවාට වඩා හොඳ දකින්න. මෙහෙම කරලා බලන්න. සැමියාට හෝ බිරිඳට තියෙන හොඳ ගති ගුණ 3ක් ලියාගෙන නිතරම ඒක ඔබ ළඟ තියාගන්න. කැමති නම් ඔබේ ෆෝන් එකේ හරි ඔබ දෙදෙනාගේ පුංචි ෆොටෝ එකක පිටිපස්සේ හරි ලියලා තියාගන්න. නිතරම ඒක බලන්න. සමාදානයෙන් ජීවත් වෙන්නත් වැරදි දකිනවාට වඩා හොඳ දකින්නත් ඒක ඔබට උදව් වෙයි.රෝම 14:19 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

එකට කාලය ගත කරන්න සැලසුම් කරන්න. බඳින්න කලින් නම් මුණ ගැහෙන්න, එකට කාලය ගත කරන්න කොහොමහරි සැලසුම් කරනවා. ඇයි දැන් බැරි ඒ විදහට කරන්න. බඳින්න කලින් කළා වගේ දැනුත් එකට කාලය ගත කරන්න සැලසුම් කරන්න. එතකොට දෙන්නා අතර තියෙන බැඳීම ශක්තිමත් වෙන නිසා ඕනම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්නත් පුළුවන් වෙයි.හිතෝපදේශ 5:18 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හිතට දැනෙන දේ කියන්න. සැමියා හෝ බිරිඳ කිව්ව දෙයක් හරි කරපු දෙයක් හරි නිසා හිත රිදුණා නම් ඒක අමතක කරන්න. නැත්නම් ඒ ගැන එයත් එක්ක කතා කරන්න. තරහව හිතේ තියාගෙන කතා නොකර ඉන්න එක විසඳුමක් නෙමෙයි. ප්‍රශ්නයක් වුණාම පුළුවන් තරම් ඉක්මනින් ඒක කතා කරලා විසඳගන්න. කල් දාන්න එපා.එෆීස 4:26 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සැමියා හෝ බිරිඳ කිව්ව දෙයක් හරි කරපු දෙයක් හරි නිසා හිත රිදුණා නම් ඒක අමතක කරන්න

ඔබ හිතන දේට වඩා අනිත් කෙනාගේ චේතනාව දැනගන්න. දෙන්නගෙන් කාටවත් වුවමනාවක් නැහැ අනික් කෙනාව රිද්දන්න. ඒත් නොදැනුවත්ව කෙනෙක් අතින් අනික් කෙනාගේ හිත රිදිලා කියලා තේරුණා නම් සමාව ඉල්ලන්න. ඒ වගේ හිත් රිදවීම් නොවෙන්න මොනවද කරන්න පුළුවන් කියලා දෙන්නම එකතු වෙලා කතා කරන්න. බයිබලයේ දීලා තියෙන මේ උපදෙස පිළිපදින්න. “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. . . . කැමැත්තෙන්ම සමාව දෙන්න.”එෆීස 4:32.

බලාපොරොත්තු වන දේවල් ගැන සාධාරණ වෙන්න. විවාහ වන අයට “දුෂ්කරතාවලට” මුහුණ දෙන්න වෙනවා කියලා බයිබලයේත් කියනවා. (1 කොරින්ති 7:28) ප්‍රශ්නයක් වුණ ගමන්ම මම වැරදි කෙනාවයි තෝරගෙන තියෙන්නේ කියලා හිතන්නේ නැතුව ප්‍රශ්නේ විසඳගන්න බලන්න. නිතරම ‘ඉවසන්නත්’ ‘මුළු හදවතින්ම සමාව දෙන්නත්’ පුරුදු වෙන්න.කොලොස්සි 3:13.