Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

හොඳ සවන් දෙන්නෙක් වෙන්නේ කොහොමද?

හොඳ සවන් දෙන්නෙක් වෙන්නේ කොහොමද?

ප්‍රශ්නය

“ඔයාට මං කියන දේ ඇහුණේ නැද්ද?” කියලා ඔබේ බිරිඳ කියනවා. ඒත් ඔබ හිතන්නේ “මං අහගෙනනේ හිටියේ” කියලා. පෙනෙන විදිහට බිරිඳ කියපු දේ ඔබ හරියට අහගෙන ඉඳලා නැහැ. අන්තිමේදී මේක මුල පුරන්නේ බහින් බස් වීමකට.

මේ වගේ බහින් බස් වීම් වළක්වාගන්න නම් ඔබ අහගෙනයි හිටියේ කියලා හිතුවත් යම් දේවල් නිසා බිරිඳ කියන දේවල් මඟහැරෙන්න පුළුවන් කියන එක තේරුම්ගන්න ඕනෙ. ඒ මොනවද කියලා අපි දැන් බලමු. *

ඇයි එහෙම වෙන්නේ?

අවධානය වෙන තැනක හෝ වෙහෙස නිසා. එක පැත්තකින් දරුවන්ගේ කෑගැහිල්ල, සද්දෙට රූපවාහිනියත් දාලා, ඒ මදිවට වැඩපොළේ සිදු වුණු ප්‍රශ්නයක් ගැනත් ඔබ කල්පනා කරමින් ඉන්නවා. මේ වෙලාවේ ඔබේ බිරිඳ ඇවිත් කියනවා “රෑට යාළුවෝ කට්ටියක් ගෙදරට එනවා” කියලා. ඒ ගැන ලොකු විස්තරයකුත් කියනවා. ඔබ “හරි හරි” කියලා කිව්වත් බිරිඳ කියපු දේට සම්පූර්ණයෙන්ම අවධානය දුන්නා කියලා ඔබ හිතනවාද? නැහැ නේද?

වැරදි නිගමන නිසා. බිරිඳ මේ විදිහට කතා කරන්නේ එයාගේ හිතේ මොකක් හරි දෙයක් තියෙන නිසයි කියලා ඔබ වැරදි නිගමනයකට එනවා. උදාහරණයකට “මේ සතියේ හැමදාම ඔයා රෑ වෙනකම් වැඩ කළා නේද?” කියලා ඔබේ බිරිඳ කියනවා. මේක කිව්වේ ඔබේ වරදක් පෙන්වන්න කියලා හිතලා, ඔබ කියනවා “ඔයාගේ වියදම් අඩු වුණා නම් මට මෙච්චර වැඩ කරන්න වෙන්නේ නැහැනේ” කියලා. එතකොට බිරිඳ කේන්තියෙන් කියනවා “මං ඔයාගේ වරදක් පෙන්නුවා නෙමෙයි” කියලා. බිරිඳ ඒ වගේ දෙයක් කියන්න ඇත්තේ සති අන්තයේ ඔබත් සමඟ නිවාඩු පාඩුවේ ඉන්න හිතාගෙන වෙන්න ඇති.

විසඳුම් දෙන්න ඉක්මන් වෙන නිසා. මාසි * කියන කාන්තාව මෙහෙම කියනවා. “වෙලාවකට මහත්තයාට මං දේවල් කියන්නේ හිතේ බර අඩු කරගන්න. ඒත් එයා කලබල වෙලා විසඳුම් දෙන්න හදනවා. මට ඕන වුණේ එයා මං කියන දේ අහගෙන ඉන්න එක විතරයි.” මාසි කතාව කියලා ඉවර කරන්න කලින් මයික් විසඳුම් දෙන්න ඉක්මන් වුණා. ඒත් බිරිඳට අවශ්‍ය වුණේ ඒ දේ නෙමෙයි.

ගැටලුව මොකක් වුණත් ඔබටත් පුළුවන් හොඳ සවන්දෙන්නෙක් වෙන්න.

මොනවද කරන්න පුළුවන්?

හොඳින් අවධානය දෙන්න. බිරිඳට වැදගත් දෙයක් කියන්න තියෙනවා. නමුත් ඔබ ඉන්නේ ඇයට ඇහුම්කන් දෙන්න පුළුවන් තත්වයක නෙමෙයි. එහෙමනම් ඇහුම්කන් දෙනවා වගේ බොරුවට මවාපාන්න එපා. ඔබ වැඩක් කරමින් ඉන්නවා නම් ඒක නතර කරලා ඇහුම්කන් දෙන්න උත්සාහ කරන්න. නැත්නම් වැඩේ ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න කියලා ඇයට කියන්න.—යාකොබ් 1:19 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දෙදෙනාම එකම වෙලාවේ කතා කරන්න එපා. බිරිඳටත් කතා කරන්න අවස්ථාවක් දෙන්න. ඒ වෙලාවේදී ඇයව නතර කරන්න හෝ යමක් කියන්න උත්සාහ කරන්න එපා. හොඳින් ඇහුම්කන් දෙන්න. ඇය කතා කර අවසන් වුණාට පස්සේ ඔබට පුළුවන් කතා කරන්න.—හිතෝපදේශ 18:13 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ප්‍රශ්න අහන්න. ප්‍රශ්න ඇහුවොත් බිරිඳ කියන්න හදන දේ හොඳින් තේරුම්ගන්න පුළුවන්. කලින් සඳහන් කළ මාසි මෙහෙම කියනවා “මම හරි ආසයි මයික් මගෙන් ප්‍රශ්න අහනවා නම්. එතකොට මං දන්නවා මයික් මං කියන දේ අහගෙනයි ඉන්නේ කියලා.”

කියන දේට වඩා අදහස් කරන දේ තේරුම්ගන්න. ඉරියව්වලින් සහ කටහඬේ ස්වරයෙන් යමක් කියන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. “ප්‍රශ්නයක් නැහැ” කියලා ඇය කිව්වත් කියන විදිහෙන් ඇත්තටම ඇය අදහස් කළේ ඒක නෙවෙයි කියලා තේරුම්ගන්න පුළුවන්. සමහරවිට “ඔයා කවද්ද මට උදව්වක් කළේ” කියලා කිව්වත් ඒකෙන් “ඔයාට මාව වටින්නේ නැහැ” කියන එක අදහස් වෙන්න පුළුවන්. කියපු දේට වඩා ඇය කියන්න හදපු දේ තේරුම්ගත්තොත් අනවශ්‍ය වාද වළක්වාගන්න පුළුවන්.

නිතරම හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ අකමැති දෙයක් බිරිඳ කියනවා නම් මඟහැර යන්න හෝ ඇහෙන්නේ නැහැ වගේ ඉන්න එපා. උදාහරණයකට ඔබේ අඩුපාඩුවක් ගැන කියනවා නම් මොනවද කරන්නේ? අවුරුදු 60ක් පුරා විවාහ ජීවිතයක් ගත කළ ග්‍රෙගරි මෙහෙම කියනවා. “මොනවා කිව්වත් අහගෙන ඉන්න. බිරිඳ කියන දේවල් ගැන ඔබ සැලකිල්ලක් දක්වනවා කියලා පෙන්වන්න. මේක ලේසි නැහැ. ඒත් ප්‍රයෝජන තියෙනවා.”—හිතෝපදේශ 18:15 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අවංකවම සැලකිල්ලක් දක්වන්න. කෙනෙක් ගැන සැලකිලිමත් නම් එයාට හොඳින් ඇහුම්කන් දෙන්න පෙලඹෙනවා. ඒකට මුලපුරන්නේ ආදරයයි. ඔබ බිරිඳ ගැන අවංක සැලකිල්ලක් දක්වනවා නම් ඇයට ඇහුම්කන් දෙන්න ලොකු වෑයමක් දරන්න ඕන වෙන්නේ නැහැ. ඔබ මේ විදිහට කරනවා නම් ඔබ මේ බයිබල් උපදෙස පිළිපදිනවා. “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 5 ඡේ. මෙම ලිපියේ තොරතුරු බිරිඳකටත් අදාළයි.

^ 9 ඡේ. නම් වෙනස් කර ඇත.