Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න

එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න

සැමියා පැවසුවේ: “මොකක් හරි ප්‍රශ්නයක් වුණාම රේචල් * ගොඩක් වෙලා අඬනවා. ඒ ගැන නිවිහැනහිල්ලේ කතා කරන්න උත්සාහ කළත් එයා කතා කරන්න කැමති නැහැ. මොනවා කළත් හරි යන්නේ නැහැ. ඒ වෙලාවට මට හිතෙනවා ඕන දෙයක් වෙච්චදෙන් කියලා පැත්තකට වෙලා ඉන්න.”

බිරිඳ පැවසුවේ: “එදා විල් ගෙදර එද්දී මම අඬ අඬයි හිටියේ. මම දුකෙන් ඉන්නේ ඇයි කියලා එයාට පැහැදිලි කරන්න උත්සාහ කළත් ඒක කියලා ඉවර කරන්න එයා මට ඉඩ දුන්නේ නැහැ. ඒක එච්චර බරපතළ දෙයක් නෙවෙයි, ඒක අමතක කරල දාන්න කියලා එයා මට කිව්වා. එතකොට මට තවත් දුක හිතුණා.”

විල් සහ රේචල්ට වගේ ඔබටත් හැඟී තිබෙනවාද? ඒ දෙදෙනාටම එකිනෙකා සමඟ කතා කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. නමුත් එය නිසි ලෙස කරන්නේ කෙසේද කියා ඔවුන් දන්නේ නැහැ. ඊට හේතුව කුමක්ද?

ස්ත්‍රීන් හා පුරුෂයන් අදහස් හුවමාරු කරගන්නේ එකිනෙකාට වෙනස් ආකාරයෙනුයි. ස්ත්‍රීන් තම හැඟීම් විවෘතව කතා කරන්න නිතරම ආශාවෙන් සිටිනවා. නමුත් බොහෝ පුරුෂයන් කැමති වෙන්නේ ගැටලු අවම කරගන්න හා ගැටලුවක් ඉක්මනින්ම විසඳාගැනීමටයි. මේ වෙනස තේරුම්ගෙන හොඳින් අදහස් හුවමාරු කරගැනීමට යුවළකට හැක්කේ කෙසේද? එකිනෙකාට ගරු කිරීමට ඉගෙනගැනීමෙන් එය කළ හැකියි.

අන් අයට ගරු කරන කෙනෙක් අනික් අයගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කරනවා. සමහරවිට ඔබ කුඩා කාලයේ සිට ඔබට වඩා උසස් හා දැනඋගත් අයට ගරු කරන්න ඇති. නමුත් විවාහ වූ පසු ඔබ හා සමාන තත්වයක සිටින ඔබේ සහකරු හෝ සහකාරියට ගරු කිරීම ඔබට අභියෝගයක් විය හැකියි. විවාහ වී වසර අටක් ගත වී ඇති ලින්ඩා පවසන දේ බලන්න. “අනිත් අය ෆිල් එක්ක කතා කරන කොට ෆිල් එයාලට හොඳින් ඇහුම්කන් දීලා එයාලව තේරුම්ගන්නවා. මට ඕනේ මං එයත් එක්ක කතා කරන කොටත් එයා ඒ දේම කරනවා දකින්නයි.” සමහරවිට ඔබේ මිතුරන් හා නාඳුනන අය සමඟ කතා කරද්දී ඔබ ඉවසීමෙන් ඇහුම්කන් දෙනවා ඇති. ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ කතා කරනවාත් ඇති. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ඔබ ක්‍රියා කරන්නෙත් එලෙසද?

සැමියා හා බිරිඳ එකිනෙකාට ගෞරවයෙන් සලකන්නේ නැත්නම් ඔවුන් එකිනෙකාව රුස්සන්නේ නැති තත්වයකට පත් වෙන්න පුළුවන්. එය ආරවුලක් දක්වා දුර දිග යා හැකියි. එක් ප්‍රඥාවන්ත පාලකයෙක් පැවසූ මේ දේ සලකා බලන්න. “රණ්ඩු දබර ඇති නිවසක සිට බොහෝ පුදපූජා ඔප්පු කරනවාට වඩා සමාදානයෙන් වියළි රොටි කැබැල්ලක් කෑම හොඳය.” (හිතෝපදේශ 17:1) බිරිඳට ගරු කරන්න කියා බයිබලයේ සැමියන්ට උනන්දු කරනවා. (1 පේතෘස් 3:7) “භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතු” බවත් එහි සඳහන් වෙනවා.—එෆීස 5:33.

එකිනෙකාට ගරු කරමින් අදහස් හුවමාරු කරගන්න පුළුවන් කොහොමද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ ඇති මඟ පෙන්වීම් කිහිපයක් දැන් සලකා බලමු.

හොඳින් සවන් දෙන්න

අභියෝගය:

බොහෝදෙනා සවන් දීමට වඩා කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔබත් එවැනි කෙනෙක්ද? “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි” කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 18:13) ඒ නිසා කතා කිරීමට කලින් හොඳින් සවන් දෙන්න. වසර 26ක් පුරා විවාහ ජීවිතයක් ගත කරන ෂෙරිල් මෙසේ පැවසුවා. “මට ඕනේ මගේ මහත්තයා මගේ ප්‍රශ්නෙට ඒ වෙලාවෙම විසඳුමක් දෙන එකවත් මම කියන දේට එකඟ වෙන එකවත් ප්‍රශ්නෙට හේතුව අවබෝධ කරගන්න එකවත් නෙවෙයි. මට ඕනේ මම කියන දේට හොඳින් ඇහුම්කන් දීලා මාව තේරුම්ගන්නවා දකින්නයි.”

අනික් අතට තම හැඟීම් ප්‍රකාශ කරන්න අදිමදි කරන ස්ත්‍රීන් හා පුරුෂයන්ද සිටිනවා. තම සැමියා ඔහුට හැඟෙන ආකාරය ගැන කතා කරන්නේ කලාතුරකින් බව මෑතකදී විවාහ වූ ලෝරි තේරුම්ගත්තා. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “එයාට හැඟෙන දේ එයා ලේසියෙන් කියන්නේ නැහැ. ඒ නිසා මට ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා.”

විසඳුමක්:

දෙදෙනා එක්ව ගත යුතු තීරණයක් ගැන කතා කරන්න අවශ්‍ය වූ විට ඔබ දෙදෙනාම සන්සුන්ව හා සැහැල්ලුවෙන් සිටින අවස්ථාවක් යොදාගන්න. නමුත් එක් කෙනෙක් කතා කිරීමට අකමැති නම් බයිබලයේ සඳහන් මෙම වදන් මතක තබාගන්න. “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.” (හිතෝපදේශ 20:5) ළිඳකින් වතුර අදින විට ඉක්මනින් එසේ කළොත් බාල්දියේ වතුර වැඩි ප්‍රමාණයක් හැලෙන්න පුළුවන්. ඒ හා සමානව ඔබගේ සහකරුට හෝ සහකාරියට කතා කරන්න බල කළොත් ඔහු හෝ ඇය තම සිතේ තිබෙන සියල්ල කීමට පෙලඹෙන එකක් නැහැ. ඒ නිසා ප්‍රශ්න අසද්දී කාරුණිකව හා ගෞරවනීයව එසේ කරන්න. ඔබ බලාපොරොත්තු වෙන අයුරින් අනික් තැනැත්තා හැඟීම් ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ ගැන ඉවසීමට පුරුදු වෙන්න.

ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ කතා කරන විට ‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට හා කෝප වීමට ප්‍රමාද වෙන්න.’ (යාකොබ් 1:19) හොඳින් ඇහුම්කන් දෙන කෙනෙක් අනික් කෙනාගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කරනවා. ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියට ගෞරව කරනවාද නැද්ද කියා ඔබ ඇහුම්කන් දෙන ආකාරයෙන් ඔහු හෝ ඇය තේරුම්ගන්නා බව මතක තබාගන්න.

ඇහුම්කන් දීම සම්බන්ධයෙන් අපට යේසුස්ගෙන් පාඩමක් ඉගෙනගත හැකියි. ඔහු හොඳින් සවන් දුන් කෙනෙක්. එක් අවස්ථාවක ලාදුරු රෝගියෙකුව සුව කිරීමට පෙර ඔහුට පැවසීමට තිබූ දෙයට යේසුස් හොඳින් සවන් දුන්නා. ඉන්පසු එම රෝගියා ගැන අනුකම්පාවක් ඇති වී ඔහු එම රෝගියාව සුව කළා. (මාක් 1:40-42) ඔබේ සහකරු හෝ සහකාරිය යමක් පවසන විට ඔබත් ඊට හොඳින් සවන් දෙන්න. ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙන්නේ හොඳින් ඇහුම්කන් දෙන කෙනෙක් මිස ඉක්මනින් විසඳුම් සොයන කෙනෙකුව නොවෙයි. ඒ නිසා ඔහුට හෝ ඇයට හැඟෙන ආකාරය තේරුම්ගන්න උත්සාහ කරන්න. ඉන්පසු ඔබට හැඟෙන ආකාරය පවසන්න. එසේ කිරීමෙන් ඔහුට හෝ ඇයට ගෞරව කරන බව පෙන්විය හැකියි.

මෙය අත්හදා බලන්න: ඔබගේ සහකරු හෝ සහකාරිය යමක් පවසන විට ඊට බාධා කරන්න එපා. හොඳින් සවන් දී ඔහුව හෝ ඇයව තේරුම්ගැනීමට අවංක උත්සාහයක් දරන්න.

ගෞරව කරන්න

අභියෝගය:

“යුවළක් කතාබහ කරන විට අපහාස කරමින් ඇනුම් පද කීම සහ අන් අය සමඟ ඔහුගේ හෝ ඇගේ වැරදි ගැන කතා කිරීම සාමාන්‍ය දෙයක් ලෙස රූපවාහිනී වැඩසටහන්වලින් පෙන්වනවා” කියා ලින්ඩා පවසනවා. අනික් අතට අගෞරවනීයව කතා කිරීම සාමාන්‍ය දෙයක්ව පවතින සමාජයක හැදී වැඩුණු අයද සිටිනවා. එවැනි අය විවාහ වූ පසු ඔවුන්ගේ පවුල් ජීවිතය තුළත් ඒ දේම කරන්න උත්සාහ කරනවා. කැනඩාවේ ජීවත් වෙන අයිවි පවසන දේ බලන්න. “මම හැදී වැඩුණේ ඇනුම් පද කියන, සැරෙන්, පහත් විදිහට කතා කරන මිනිසුන් ඉන්න සමාජයකයි.” ඉහත සඳහන් හේතූන් නිසා බොහෝ යුවළයන්ට එකිනෙකා සමඟ ගෞරවනීයව කතා කිරීම අභියෝගයක් විය හැකියි.

විසඳුමක්:

ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන අනික් අය සමඟ කතා කරන විට ඔහු හෝ ඇය ගැන ගෞරවයක් ඇති වන ආකාරයෙන් කතා කරන්න. “සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා” කිරීමට උත්සාහ දරන්න.—එෆීස 4:29.

ඔබ දෙදෙනා තනිව කතා කරන විට ඇනුම් පද කියමින් පහත් වචන භාවිත කරන්න එපා. එසේ කළ එක් බිරිඳක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. දාවිත් රජුගේ බිරිඳ වූ ඇය මීකල්. ඇය ඔහුව පහත් කරමින් මෙසේ පැවසුවා. ‘ඔබ හැසිරුණේ මෝඩයෙක් වගෙයි.’ ඇය පැවසූ දේ නිසා දාවිත්ගේ හිත රිදුණා. (2 සාමුවෙල් 6:20-23) එම සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? යුවළක් එකිනෙකා සමඟ කතා කරන විට හිත රිදෙන ආකාරයෙන් කතා කිරීම නුසුදුසු බවයි. (කොලොස්සි 4:6) විවාහ වී වසර අටක් ගත වූ පසුත් තමන් සහ බිරිඳ අතර එකඟ නොවීම් ඇති වන බව ෆිල් පැවසුවා. එවැනි අවස්ථාවලදී තමන් පවසන දේ නිසා තත්වය තවත් බරපතළ වන බව ඔහු අවබෝධ කරගත්තා. ඒ ගැන ඔහු පවසන දේ බලන්න. “වාද කරලා දිනන එක ඇත්තටම ජයග්‍රහණයක් නෙවෙයි. වඩා වැදගත් වෙන්නේ අපේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න උත්සාහ කරන එකයි. ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙන බව මම තේරුම්ගත්තා.”

ඇත්තෙන්ම ‘සන්තෝෂවත් යුග දිවියක්’ ගත කිරීමට නම් බිරිඳ සහ සැමියා එකිනෙකාට ගරු කළ යුතුයි.—රූත් 1:9.

මෙය අත්හදා බලන්න: ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් මෙසේ අසන්න. “අනිත් අය ඉස්සරහ මම ඔයාව පහත් කරනවා කියලා ඔයාට හිතෙනවාද? මගේ පැත්තෙන් හදාගන්න ඕන දෙයක් තියෙනවාද?” පිළිතුරු ලැබෙද්දී හොඳින් ඇහුම්කන් දී අඩුපාඩුකම් හදාගැනීමට උත්සාහ කරන්න.

වෙනස්කම් අවබෝධ කරගන්න

අභියෝගය:

විවාහක යුවළක් “එක් කෙනෙකු මෙන් වන්නෝය” කියා බයිබලයේ පවසා ඇති දේ අලුත විවාහ වූ සමහර අය වරදවා වටහාගෙන තිබෙනවා. (මතෙව් 19:5) ඔවුන් සිතන්නේ දෙදෙනාටම එකම අදහස් හෝ පෞද්ගලිකත්වයන් තිබිය යුතු බවයි. එසේ සිතීම වැරදි බව වැඩි කල් යන්න කලින් ඔවුන් තේරුම්ගන්නවා. ඊට හේතුව ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් වෙනස් නිසා යම් කාරණා ගැන ඔවුන් අතර එකඟ නොවීම් ඇති වීමයි. ඒ ගැන ලින්ඩා මෙසේ පැවසුවා. “අපි දෙන්නා අතර තියෙන ලොකුම වෙනස්කම තමයි සමහර කාරණා ගැන ෆිල්ට වඩා මම වධ වෙන එක. ඒ වගේ වෙලාවට මට කේන්ති යනවා. මට හිතෙන්නේ සමහර දේවල් ගැන මම හිතන තරම් එයා හිතන්නේ නැහැ කියලයි.”

විසඳුමක්:

දෙදෙනාගේ පෞද්ගලිකත්වයන් වෙනස් බව තේරුම්ගෙන එකිනෙකාට ගෞරවයෙන් සලකන්න. දෙදෙනාගේ පෞද්ගලිකත්වයන් වෙනස් වුණත් දෙදෙනාටම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. මේ ගැන සිතන්න. ඇස් සහ කන් වෙනස් අවයවයන් වුණත් එම අවයව සහයෝගයෙන් වැඩ කරනවා. ඒ නිසා ආරක්ෂාකාරීව පාර හරහා මාරු වීමට අපට හැකියි. අවුරුදු 30ක් පුරා විවාහ ජීවිතයක් ගත කරන ඇඩ්රීන් මෙවැනි දෙයක් පවසනවා. “අපි දෙන්නගේ අදහස් වෙනස් වුණත් බයිබල් ප්‍රතිපත්ති කඩ නොවන තාක් කල් අපි ඒවා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපි යුවළක් වුණත් අපේ පෞද්ගලිකත්වයන් වෙනස් කියලා අපි තේරුම් අරං ඉන්නවා.”

ඔබගේ අදහසට වඩා වෙනස් අදහසක් ඔබේ සහකරුට හෝ සහකාරියට තිබෙන අවස්ථාවලදී ඔබගේ අදහසට පමණක් වැඩි අවධානයක් දෙන්න එපා. ඔහුගේ හෝ ඇගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න. (ෆිලිප්පි 2:4) ඇඩ්රීන්ගේ සැමියා වන කයිල් මෙහෙම කියනවා. “මගේ බිරිඳ කියන හැම දේකටම මම එකඟ වෙන්නේ නැහැ. සමහර වෙලාවට මට ඒවා තේරෙන්නෙත් නැහැ. නමුත් මම මට වඩා මගේ බිරිඳට ආදරෙයි කියන එක මම නිතරම මතක් කරගන්නවා. එයා සන්තෝෂයෙන් ඉන්න කොට මටත් ඒක ලොකු සතුටක්.”

මෙය අත්හදා බලන්න: ඔබගේ බිරිඳ හෝ සැමියා ඔබට වඩා ඥානවන්තව ක්‍රියා කළ අවස්ථා හා තීරණ ගත් අවස්ථා ඇතුළත් ලැයිස්තුවක් සකසන්න.—ෆිලිප්පි 2:3.

සන්තෝෂවත් කල් පවතින යුග දිවියක් ගත කිරීමට නම් එකිනෙකාට ගෞරව කිරීම අත්‍යවශ්‍යයි. ලින්ඩා මෙසේ පවසනවා. “යුවළක් එකිනෙකාට ගරු කරන කොට ලොකු සහනයක් දැනෙනවා. ඇත්තටම පවුල් ජීවිතයේදී එකිනෙකාට ගෞරවයෙන් සැලකීම අත්‍යවශ්‍ය දෙයක්.”

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

ඔබගෙන්ම මෙසේ අසාගන්න

  • මගේ සහකරුගේ හෝ සහකාරියගේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් අපේ පවුලේ යහපතට දායක වී තිබෙන්නේ කෙසේද?

  • බයිබල් ප්‍රතිපත්ති කඩ නොවන තාක් කල් මගේ සහකරුගේ හෝ සහකාරියගේ කැමැත්තට ඉඩ දීම සුදුසු ඇයි?