Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

එකඟතාවකට එන්න නම් . . .

එකඟතාවකට එන්න නම් . . .

ප්‍රශ්නය

මෙහෙම හිතන්න. ඔයා කැමති දේකට ඔයාගේ නෝනා හරි මහත්තයා හරි කැමති නැහැ. ඒ වගේ වෙලාවක ඔයා මොනවද කරන්නේ?

  1. කැමති දේ කරගන්න කල් ඔයාගේ මතයේම එල්ලිලා ඉන්නවා.

  2. අනිත් කෙනාගේ කැමැත්තට ඔහේ ඉඩ හරිනවා.

  3. කතා කරලා එකඟතාවකට එනවා.

ඔබට හිතෙයි ‘එකඟතාවකට එන්න ගියොත් නම් දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ඕන දේ වෙන්නේ නැහැ’ කියලා.

ඒත් ඔය දෙන්න හරි විදිහට කතා කරලා එකඟතාවකට ආවොත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් කොහොමද කියලා බලමු.

ඔබ දැනගත යුතු දේ

දෙන්නගෙම සහයෝගය ඕනේ. විවාහ වෙන්න කලින් ඔයා තීරණ ගන්න ඇත්තේ තනියම. ඒත් දැන් එහෙම බැහැ. දෙන්නම තමන්ගේ කැමැත්තට වඩා විවාහය රැකගන්න මුල් තැන දෙන්න ඕනේ. ඒක අවාසියක් කියලා හිතන්න එපා. ඒ ගැන ඇලෙක්සැන්ඩ්‍රා මෙහෙම කිව්වා. “තනියම තීරණයක් ගන්නවාට වඩා දෙන්නා එකතු වෙලා ගන්න තීරණවල වාසි වැඩියි.”

තමාගේ මතයේම එල්ලිලා ඉන්න එපා. “සැමියා හරි බිරිඳ හරි කියන හැම දේටම එකඟ වෙන්න ඕන නැහැ. ඒත් එයා හිතන විදිහ, එයා ඉන්න තත්වය ගැන එයාගේ පැත්තෙනුත් හිතලා බලන්න. මොකක් හරි දෙයක් ගැන කතා කරද්දී, ඕක හරියන්නේ නැහැ කියලා අඟවන්න උත්සාහ කරනවා නම් ඒ සාකච්ඡාවෙන් තේරුමක් වෙන්නේ නැහැ” කියලා විවාහ උපදේශකයෙක් වන ජෝන් එම්. ගොට්මන් කියනවා. *

කැප කිරීම් කරන්න. හැම වෙලේම තමන්ට ඕන දේ විතරක් කරගන්න කැමති කෙනෙක් එක්ක ජීවත් වෙන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා අනිත් කෙනා වෙනුවෙන් ඔයාගේ ආශාවන් කැප කරන්න සිද්ධ වෙයි. ඒ ගැන බිරිඳක් වන ජූන් මෙහෙම කිව්වා. “මහත්තයාගේ සතුට ගැන හිතලා සමහර වෙලාවට එයා කැමති දේට මං කැමති වෙනවා. එයත් මං වෙනුවෙන් ඒකම කරනවා. බැන්දට පස්සේ වෙන්න ඕනෙ ඒකනේ.”

 මොනවද කරන්න පුළුවන්?

පටන්ගන්න විදිහ ගැන ටිකක් හිතන්න. හිත රිදෙන විදිහට සාකච්ඡාවක් පටන්ගත්තොත් හුඟක් වෙලාවට ඒක ඉවර වෙන්නෙත් ඒ විදිහටමයි. ඒ නිසා බයිබලයේ තියෙන මේ උපදෙස අදාළ කරගන්න. “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.” (කොලොස්සි 3:12) එතකොට බහින්බස් වීම් නැහැ. ප්‍රශ්න විසඳගන්නත් ලේසියි.කොලොස්සි 4:6 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

එකඟ වෙන්න පුළුවන් දේවල් හඳුනාගන්න. කතාව වාදයකට පෙරලෙනවා නම් ඒකෙන් පේන්නේ දෙන්නා අවධානය දීලා තියෙන්නේ අදහස් ගැටෙන තැන්වලට විතරයි කියන එකයි. ඒ නිසා එකඟ වෙන්න පුළුවන් තැන් හඳුනාගන්න. ඒකට මෙහෙම කරලා බලන්න.

යම් කාරණයකදී එකඟතාවකට එන්න අමාරු නම් දෙන්නම කොළ දෙකක් අරං දෙකට බෙදලා එක පැත්තක ඒ කාරණය ගැන ඔබට “වෙනස් කරන්න අකමැති දේවල්” ලියන්න. අනිත් පැත්තේ ඒ කාරණයේදී ඔබට “වෙනසක් කරන්න පුළුවන් දේවල්” ලියන්න. ඊටපස්සේ දෙන්නම එකතු වෙලා ලියපු කරුණු ටික බලන්න. වෙනසක් කරන්න අකමැතියි කියපු දේවල් වුණත් කතා කරලා එකඟතාවකට එන්න පුළුවන් කියලා එතකොට තේරෙයි. සමහර කාරණා කොහොමත්ම වෙනස් කරන්න බැරි වෙයි. ඒත් ඒවා ලියපු නිසා දෙන්නා අතර මතු වෙලා තියෙන ප්‍රශ්නය පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් වෙයි.

හිතේ තියෙන අදහස් කියන්න. විසඳගන්න අමාරු කාරණාවලදී දෙන්නම තමන්ගේ හිතේ තියෙන අදහස් නොසඟවා කියන්න. එතකොට කවදාවත් තනියම හිතලා විසඳගන්න බැරි දෙයක් එකතු වෙලා ලේසියෙන්ම විසඳගන්න පුළුවන් වෙයි.දේශනාකාරයා 4:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හිතන විදිහ වෙනස් කරගන්න. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.” (එෆීස 5:33) ඒ විදිහට දෙන්නා අතර ආදරය, ගෞරවය දෝරෙ ගලනවා නම් අනිත් කෙනාගේ අදහස් ගැන හිතලා බලන්නත් තමන් හිතපු විදිහ වෙනස් කරගන්නත් කැමති වෙයි. ස්වාමිපුරුෂයෙක් වන කැමරන් ඒ ගැන මෙහෙම කිව්වා. “කවදාවත් කරන්න නොහිතපු දෙයක් සැමියා හරි බිරිඳ හරි කියපු නිසා කෙරුවොත් කාලයක් ගියාට පස්සේ ඒකෙ වටිනාකම තේරෙයි.”උත්පත්ති 2:18 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 12 ඡේ. The Seven Principles for Making Marriage Work නමැති පොතෙන්.