Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

මහා තොරතුරු ගබඩාව

මහා තොරතුරු ගබඩාව

පරිගණක ක්ෂේත්‍රයේ අය ගබඩා කර තබන තොරතුරු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. විද්‍යාඥයන් උත්සාහ කරන්නේ ඒ සඳහා DNA අණුවක තොරතුරු ගබඩා කර තබාගැනීමේ සුවිශේෂී හැකියාව යොදාගන්නයි.

මේ ගැන සිතන්න: සෛල තුළ තිබෙන DNA අණුවල බිලියන ගණන් තොරතුරු ගබඩා වෙලා තියෙනවා. “පුරාණයේ විසූ ලෝම මැමත්ගේ ඇටකටුවලින් ලබාගත් DNAවලින් අද වුණත් ඒ සතා ගැන තොරතුරු අපිට ලබාගන්න පුළුවන්. DNA අණුවක් හරිම පුංචියි, හැබැයි හුඟක් තොරතුරු ගබඩා කරන්න පුළුවන්. ඒ සඳහා බලශක්තිය ඕනෙත් නැහැ. එහෙට මෙහෙට ගෙනියන්නත් ලේසියි.” එහෙම කිව්වේ අණුක ජීව විද්‍යාඥයෙක් වන නික් ගොල්ඩ්මන්. DNA අණුවකට තොරතුරු ඇතුල් කරන්න මිනිසුන්ටත් පුළුවන්ද? පර්යේෂකයන් කියන්නේ එහෙම කරන්න පුළුවන් කියලයි.

CD තැටි සහ පරිගණකවල තොරතුරු ගබඩා කරනවා හා සමානව විද්‍යාඥයන් විසින් තොරතුරු, පින්තූර සහ ශ්‍රව්‍ය පටිගත කිරීම් DNA අණුවක් තුළට ඇතුළත් කළා. ඇතුළත් කළ එම තොරතුරු පසු කාලයකදී ඒ විදිහටම ලබාගන්න පර්යේෂකයන්ට හැකි වුණා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ක්‍රමය යොදාගෙන කෘත්‍රිමව තැනූ DNA ග්‍රෑම් එකක, CD තැටි මිලියන තුනක පමණ ඇති තොරතුරු ගබඩා කළ හැකි බවයි. ඒ තොරතුරු අවුරුදු දහස් ගණනක් වුණත් සුරක්ෂිතව තියාගන්න පුළුවන් වෙයි කියාත් ඔවුන් සිතනවා. මේ ලෝකයේ ඩිජිටල් ක්‍රමයට ඇති සියලුම තොරතුරු මේ ක්‍රමයට ගබඩා කරන්න පුළුවන් වෙයි කියා ඔවුන් බලාපොරොත්තු වෙනවා. DNA අණුවක් “ලෝකයේ තියෙන හොඳම හාඩ් ඩ්‍රයිව් එක” කියලා හඳුන්වන්නෙත් ඒ නිසයි.

ඔබේ නිගමනය කුමක්ද? DNA අණුවක තොරතුරු ගබඩා කර තබාගැනීමේ සුවිශේෂී හැකියාව ඇති වුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?