Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

පාට වෙනස් කරන දැල්ලා

පාට වෙනස් කරන දැල්ලා

පරිසරයට අනුව හමේ පාට වෙනස් කරගෙන හැංගිලා ඉන්න දැල්ලාට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. එක වාර්තාවක ඒ ගැන මෙහෙම සඳහන් වෙනවා. “දැල්ලාගේ හමේ විවිධාකාර වර්ණ රටා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා ක්ෂණිකව වෙනස් කරන්නත් ඌට පුළුවන්.” දැල්ලා ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද?

මේ ගැන හිතන්න: දැල්ලාට තියෙන්නේ විනිවිද පෙනෙන හමක්. මේ විනිවිද පෙනෙන හමට යටින් තියෙන්නේ ක්‍රොමැටොෆෝස් කියලා හඳුන්වන විශේෂ සෛල වර්ගයකින් හැදුණු ස්තර කිහිපයක්. ඒ සෛලවල තියෙන මල්ලක් වැනි දෙයක් ඇතුලේ වර්ණක තැන්පත් වෙලා තියෙනවා. පාට වෙනස් කරන්න ඕන වුණාම මේ මලු ප්‍රසාරණය කරන්න කියලා දැල්ලාගේ මොළෙන් පණිවිඩයක් එනවා. මලු ප්‍රසාරණය වෙද්දී ඒවා ඇතුලේ තියන වර්ණකත් ප්‍රසාරණය වෙනවා. උගේ හමේ පාට හා රටාවන් වෙනස් වෙන්නේ ඒ නිසයි.

එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරුවන් පිරිසක් දැල්ලාගේ හමට සමාන කෘත්‍රිම හමක් නිර්මාණය කළා. ඔවුන් වර්ණක වෙනුවට භාවිත කළේ රබර්වලින් හදපු කලු පාට ද්‍රව්‍යක්. ඒ කෘත්‍රිම හමට විදුලිය ලබා දුන්නාම කලු පාට රබර් පැල්ලම් ප්‍රසාරණය වුණා. විදුලිය විසන්ධි කළාම නැවතත් ඒවා තිබුණු තත්වයටම පත් වුණා. ඒ විදිහට මේ කෘත්‍රිම හමේත් පාට වෙනස් වුණේ දැල්ලාගේ හම වගේමයි.

ඉන්ජිනේරුවෙක් වන ජොනතන් රොසිටර් ඒ ගැන මේ වගේ දෙයක් කිව්වා. ‘පාට වෙනස් වෙද්දී දැල්ලාගේ හම ක්‍රියා කරන විදිහ හරිම සරලයි.’ ක්ෂණිකව පාට වෙනස් වෙන ඇඳුම් නිර්මාණය කරන්න මේ තාක්ෂණය ප්‍රයෝජනවත් වෙයි කියලත් අනිත් අයට නොපෙනී ඉන්න හරි විලාසිතාවක් විදිහට හරි මිනිස්සු ඒ ඇඳුම් පාවිච්චි කරයි කියලත් ඔහු කිව්වා.

ඔයාගේ නිගමනය මොකක්ද? දැල්ලාට පාට වෙනස් කරන හැකියාව ලැබුණේ පරිණාමය වුණු නිසාද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළ නිසාද?