Skip to content

නිර්මාණයක්ද?

මුහුදු කූඩැල්ලාගේ අපූරු සම

මුහුදු කූඩැල්ලාගේ අපූරු සම

 මුහුදු කූඩැල්ලා ජීවත් වෙන්නේ මුහුදු පතුලේ සහ කොරල්පරවල. උගේ ශරීරයේ සම මතුපිට පිටතට නෙරා ආපු ගැටිති සහ උල් දකින්න තියෙනවා. උගේ ශරීරය කොයි තරම් නම්‍යශීලීද කිව්වොත් විනාඩි කීපයක් ඇතුළත උගේ ශරීරය ඉටි වගේ මෙළෙක් කරගන්න හරි ගලක් වගේ තද කරගන්න හරි ඌට පුළුවන්. සමහරවිට තත්පර කීපයක් ඇතුළත වුණත් ඌට එහෙම කරගන්න පුළුවන්. මුහුදු කූඩැල්ලාට තියෙන ඒ පුදුමාකාර හැකියාව නිසා ඉක්මනින්ම ශරීරය මෙළෙක් කරගෙන ඕනෙම පුංචි කුහරයක් ඇතුළට රිංගලා හැංගෙන්න ඌට පුළුවන් වෙනවා. කුහරය ඇතුළට ගිය ගමන්ම ඌ ශරීරය තද කරගන්නවා. ඒ නිසා ඌව ගොදුරු කරගන්න හදන සතුන්ට ඌව එතැනින් එළියට ඇදලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරිම ඉක්මනින් තමන්ගේ ශරීරය වෙනස් කරගැනීමේ පුදුමාකාර හැකියාව මුහුදු කූඩැල්ලාට ලැබිලා තියෙන්නේ උගේ අපූරු සම නිසයි.

 මේ ගැන හිතන්න: සමේ ස්වභාවය තුන් ආකාරයකට වෙනස් කරගන්න මුහුදු කූඩැල්ලාට පුළුවන්. ඒ කියන්නේ සම ගලක් වගේ තද කරගන්න, යම් ප්‍රමාණයකට තද කරගන්න සහ ඉටි වගේ මෙළෙක් කරගන්න ඌට පුළුවන්. ඌ ඒ දේ කරන්නේ උගේ සමේ තියෙන තන්තු එකට සවි වීමට සැලැස්වීමෙන් සහ ලිහිල් වීමට සැලැස්වීමෙනුයි. සම තද කරගන්න උදව් වෙන ප්‍රෝටීනත් සම මෙළෙක් කරගන්න උදව් වෙන ප්‍රෝටීනත් ඌ ඒකට උපයෝගි කරගන්නවා.

 සම තද වෙන්න උදව් වෙන ප්‍රෝටීන නිපදවෙද්දී පටකවල තියෙන තන්තු අතරේ පුංචි පුරුක් හැදෙනවා. එතකොට තන්තු එකතු වෙලා සම හයි වෙනවා. සම මෙළෙක් කරන ප්‍රෝටීනවලින් තන්තු අතරේ තියෙන පුරුක් ලිහිල් වෙනවා. එතකොට තන්තු ඈත් වෙලා සම මෙළෙක් වෙනවා. සම කොච්චර මෙළෙක් වෙනවාද කියනවා නම් සම පේන්නේ හරියට දිය වෙලා යනවා වගෙයි.

 මුහුදු කූඩැල්ලාගේ සම වගේ අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය විදිහට සැකසෙන උපකරණ නිර්මාණය කරන්න විද්‍යාඥයන් උත්සාහ කරනවා. එයාලා ඉලක්ක කරන එක දෙයක් තමයි මොළයේ සිදු කරන සැත්කම්වලදී භාවිත කළ හැකි ඉතා සියුම් විද්‍යුත් සන්නායක නිර්මාණය කරන එක. මොළයේ නියමිත ස්ථානයේ තැන්පත් කරන්න පුළුවන් තරමට තද වෙන ඒ වගේම ඒක තැන්පත් කළාට පස්සේ ඉක්මනින්ම ආයෙත් මෙළෙක් වෙන විදිහේ විද්‍යුත් සන්නායක සකසන්නයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහේ විද්‍යුත් සන්නායක නිර්මාණය කරගන්න විද්‍යාඥයන් දරන වෙහෙස මල්පල ගැන්වුණොත් මොළයේ කරන සැත්කම් සාර්ථක වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? මුහුදු කූඩැල්ලාගේ අපූරු සම ඌට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කරපු නිසාද?