Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?

නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?

ප්‍රශ්නය

අද තාක්ෂණය හුඟක් දියුණු නිසා වෙන කවරදාකටත් වඩා හුඟදෙනෙක් එක්ක අපිට යාළු මිත්‍රකම් පවත්වන්න ලේසියි. ඒත් ඒ හැමෝම අපි ගැන සැලකිලිමත්ද කියන එක ප්‍රශ්නයක්. ඒ ගැන යෞවනයෙක් මෙහෙම කියනවා. “යාළුවෝ හිටියට මට එයාලා එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා කියලා කියන්න බැහැ. ඒත් මගේ තාත්තට නම් අවුරුදු ගාණක් තිස්සේ ආශ්‍රය කරන හොඳ යාළුවෝ ඉන්නවා.”

කාලයක් පවතින හොඳ යාළුකම් ඇති කරගන්න මේ කාලේ මෙච්චරම අමාරු ඇයි?

දැනගන්න ඕන දේ

තාක්ෂණයත් වගකියන්න ඕනේ. මෙසේජ් යවන එකෙන්, අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරගන්න එකෙන් කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක වුණත් හොඳ යාළුකමක් ඇති කරගන්න පුළුවන් කියලා හුඟක් අය හිතනවා. ඒ ගැන එක පොතකත් මෙහෙම කියනවා. “අද කාලේ මුණගැහිලා කතාබහ කරන්නේ හරිම අඩුවෙන්. ඉගෙනගන්න වයසේ ඉන්න අය පවා යාළුවන්ට ෆෝන් එකෙන්, පරිගණකයෙන් මෙසේජ් යවනවා මිසක් මුණගැහිලා කතා කරන්නේ නැති තරම්.”—Artificial Maturity.

ෆෝන් එකෙන්, අන්තර්ජාලයෙන් හොයාගන්න යාළුවෝ අපිට හරිම කිට්ටුයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් බ්‍රයන්ගේ * අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “යාළුවන්ට මෙසේජ් කරලා, එයාලා හොඳින්ද කියලා හොයලා බලන පුරුද්දක් මට තියෙනවා. එයාලත් මං ගැන ඒ වගේ සැලකිලිමත්ද කියලා දැනගන්න මට ඕන වුණ නිසා මං ටික කාලෙකට එයාලට මෙසේජ් කරන එක නවත්තලා බැලුවා. මං ගැන හොයලා බැලුවේ ටිකදෙනයි. සමහර අය මං හිතපු තරම් කිට්ටු යාළුවෝ නෙමෙයි කියලා ඒකෙන් මට තේරුණා.”

මෙසේජ් කරන එකෙන් යාළුකම් තවත් ශක්තිමත් වෙනවා නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම වෙන්න නම් අපිට දැනටමත් ඒ කෙනාත් එක්ක යාළුකමක් තියෙන්න ඕනේ. මිතුරු සමාජ වෙබ් අඩවිවලින්, මෙසේජ්වලින් කරන්නේ දෙන්නෙක්ව සම්බන්ධ කරවන එක මිසක් ඔවුන් අතර බැඳීමක් ඇති කරන එක නෙමෙයි. බැඳීමක් ඇති වෙන්න නම් ඒ දෙන්නම ඒකට වෑයමක් ගන්න ඕනේ.

කරන්න පුළුවන් දේ

හොඳ යාළුවෙක් කියන්නේ කාටද කියලා තේරුම්ගන්න. හොඳ යාළුවෙක් කියන්නේ “සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව” ඉන්න කෙනෙක් කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 18:24) ඔයාටත් ඕන ඒ වගේ යාළුවෝ නේද? ඔයාත් ඒ වගේ යාළුවෙක්ද? උත්තරේ දැනගන්න මෙහෙම කරන්න. මුලින්ම ඔයා යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන හොඳ ගුණාංග 3ක් ලියන්න. ඊළඟට හොඳ යාළුවෙක් වෙන්න ඔයා කරන දේවල් 3කුත් ලියන්න. දැන් මෙහෙම හිතන්න. ‘අන්තර්ජාලයෙන් ආශ්‍රය කරන යාළුවෝ කීදෙනෙක්ට මං බලාපොරොත්තු වෙන ගුණාංග තියෙනවාද? ඔයාගේ ගුණාංග ගැන යාළුවෝ මොනවා කියයිද?’—බයිබල් ප්‍රතිපත්තිය: ෆිලිප්පි 2:4.

වැදගත් දේට මුල් තැන දෙන්න. හුඟක් වෙලාවට අන්තර්ජාලය හරහා යාළුකම් පවත්වන්නේ එක වගේ දේවල්වලට කැමති අය. ඒත් කැමති අකමැති දේවල් සමාන වෙනවාට වඩා වටින්නේ දෙන්නාම උසස් සදාචාර ප්‍රමිතිවලට ගරු කරන එකයි. ලියෑන් මෙහෙම කියනවා. “මට යාළුවෝ ගොඩක් නැහැ. ඉන්නේ හරිම ටික දෙනෙක්. ඒත් එයාලා හැමවෙලේම හරි දේ කරන්න මට උදව් කරනවා.”—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 13:20.

මුණගැහිලා කතා කරන්න. එහෙම කරද්දී එයාගේ මුහුණේ ඉරියව්වලින්, හඬ උස් පහත් වෙන විදිහෙන් සහ අංග චලනවලින් ඇත්තටම එයා කියන්න හදන දේ තේරුම්ගන්න පුළුවන්. ඒත් අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරද්දී ඒ දේ කරන්න ලේසි නැහැ.—බයිබල් ප්‍රතිපත්තිය: 1 තෙසලෝනික 2:17.

ලියුමක් ලියන්න. ඒක ඉස්සර කාලේ කරපු දෙයක් කියලා ඔයාට හිතෙයි. ඒත් කෙනෙක් ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න ලියුම් ලියන එක හොඳ ක්‍රමයක්. අද මිනිස්සු ගොඩක් කාර්යබහුල නිසා අනිත් අය ගැන ඒ වගේ සැලකිලිමත් වෙන්නේ නැති තරම්. කවදාවත් ලියුමක් ලැබිලා නැති තරුණයෙක් ගැන එක් කතුවරියක් එයාගේ පොතක සඳහන් කළා. (Alone Together) මිනිස්සු ලියුම් ලියපු කාලේ මතක් කරන ඒ තරුණයා මෙහෙම කියනවලු. “අනේ ඒ කාලේ මමත් හිටියා නම් කොච්චර හොඳද?” යාළුවන්ට ලියුම් ලියන එක හොඳ දෙයක් කියලා ඔයාටත් හිතෙන්නේ නැද්ද?

මේක මතක තියාගන්න: නියම යාළුකමක් කියන්නේ යාළුවා ඉන්නවාද නැද්ද කියලා හොයලා බලනවාට වඩා වැඩි දෙයක්. ඒකට ආදරය, කරුණාව, ඉවසීම හා සමාව දීම වගේ හොඳ ගුණාංග පෙන්නන්න ඕනේ. ඒත් ඔයා යාළුවෝ ආශ්‍රය කරන්නේ ෆෝන් එකෙන්, පරිගණකයෙන් විතරයි නම් ඒක කරන්න ඔයාට බැරි වෙයි.

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.