Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

පරිණාමය විශ්වාස කරන්න පුළුවන්ද?

පරිණාමය විශ්වාස කරන්න පුළුවන්ද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

පරිණාමය ඇත්තක් නම් අපේ ජීවිතවලට කිසි අරමුණක් නැහැ. හැබැයි අපිව කවුරු හරි නිර්මාණය කළා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ ජීවිතේට අරමුණක් තියෙනවා කියලයි.

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. පොඩි කාලේ ඉඳන් ඇලෙක්ස් විශ්වාස කෙරුවේ හැම දෙයක්ම දෙවියන් නිර්මාණය කළා කියලා. ඒත් ඉස්කෝලේ ජීව විද්‍යා ගුරුවරයා පරිණාමය ඇත්තක් කියලා ඔප්පු කරන්න උත්සාහ කළා. තමන් විශ්වාස කරන දේ මෝඩ අදහසක් කියලා අනිත් අය හිතනවාට ඇලෙක්ස් කැමති වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ‘පරිණාමය ඇත්තක් කියලා ඔප්පු කරලා තියෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න මම කවුද’ කියලත් එයා හිතුවා.

ඇලෙක්ස්ගේ තත්වේ ඔයා හිටියා නම් ඉස්කෝලේ පොතේ තියෙන නිසා ඔයා පරිණාමය විශ්වාස කරනවාද?

හිතලා බලන්න

නිර්මාණය කළා කියන අයත් ඉබේ ඇති වුණා කියන අයත් හුඟක් වෙලාවට එහෙම කියන්නේ ස්ථිර පදනමක් ඇතුව නෙමෙයි.

  • හැම දෙයක්ම නිර්මාණය කළා කියලා සමහරු විශ්වාස කරන්නේ ඒ අයට පල්ලියේ එහෙම උගන්නලා තියෙන නිසයි.

  • හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලා තවත් අය විශ්වාස කරන්නේ ඒ අයට ඉස්කෝලේ එහෙම උගන්නලා තියෙන නිසයි.

මේ ප්‍රශ්න ගැන හිතන්න

බයිබලයේ මෙහෙම කියනවා. “ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) ඒක පිළිගන්න පුළුවන් දෙයක් නේද?

හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලා කියන එක හරියට මේ නිවස ඉබේ හැදුණා කියලා කියනවා වගේ දෙයක්

සමහරු කියන්නේ මෙහෙමයි. ‘විශ්වයේ හැම දෙයක්ම මහා පිපුරුමකින් ඉබේ ඇති වුණා.’

1. මහා පිපුරුමක් ඇති වුණේ කොහොමද? ඇති කළේ කවුද?

2. තර්කානුකූල දේ වෙන්නේ මොකක්ද? හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියන එකද? නැත්නම් මොකක් හරි දේකින් ඇති වුණා, කවුරු හරි කෙනෙක් නිර්මාණය කළා කියන එකද?

සමහරු කියන්නේ මෙහෙමයි. ‘මිනිසුන් පරිණාමය වුණේ සතුන්ගෙන්.’

3. මිනිසුන් පරිණාමය වුණේ වානරයන්ගෙන් නම් මිනිසුන්ගේ බුද්ධි මට්ටමයි වානරයන්ගේ බුද්ධි මට්ටමයි අතර ලොකු වෙනසක් තියෙන්නේ ඇයි?

4. සරලම සෛලයක් වුණත් හුඟක් සංකීර්ණ ඇයි?

සමහරු කියන්නේ මෙහෙමයි. ‘පරිණාමය ඔප්පු කරලයි තියෙන්නේ.’

5. එහෙම කියන අය ඒ ගැන තියෙන සාක්ෂි ඇත්තද කියලා හොයලා බලලා තියෙනවාද?

6. බුද්ධිමත් අය පිළිගන්නේ පරිණාමය කියලා හිතන නිසා කීදෙනෙක් පරිණාමය පිළිගන්න පෙලඹිලා තියෙනවාද?

“හිතන්න ඔයා කැලෑවක් මැද්දේ ඇවිදගෙන යද්දී ලීවලින් හදලා තියෙන ලස්සන ගෙයක් දැක්කා කියලා. ‘ඉබේම ලී ටික එකතු වෙලා මේ ගේ ලස්සනට හැදිලානේ’ කියලා ඔයා හිතනවාද? නැහැනේ. ඒක වෙන්න බැරි දෙයක්. එහෙමනම් මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලා අපි විශ්වාස කරන්න ඕනද?”—ජූලියා.

“මුද්‍රණාලයක පිපිරීමක් ඇති වෙලා තීන්ත හැම තැනම විසි වෙලා ගිහින් ශබ්දකෝෂයක් ඉබේ හැදුණා කියලා කවුරු හරි කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවාද?”—ග්වෙන්.

දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

බයිබලයේ අපිට උනන්දු කරන්නේ “බුද්ධිමත්” විදිහට හිතන්න කියලයි. (රෝම 12:1) ඒ කියන්නේ ඔයා දෙවියන්ව පිළිගන්න ඕනෙ මේ දේවල් නිසා නෙමෙයි

  • හැඟීම් (දෙවි කෙනෙක් ඉන්නවා කියලා මට හිතෙනවා)

  • සමාජයේ බලපෑම (මේ පැත්තේ හැමෝම දෙවියන්ව විශ්වාස කරනවා)

  • කාගෙ හරි බලපෑම (මගේ අම්මා තාත්තා දෙවිව විශ්වාස කරන නිසා මටත් එහෙම කරන්න වුණා)

දෙවියන් ඉන්නවා කියලා ඔයාට තියෙන විශ්වාසය සාක්ෂි ඇතුව ඔයාටම තහවුරු කරගන්න.

“අපේ ටීචර් පන්තියේදී ශරීරයේ අවයව ක්‍රියා කරන විදිහ ගැන කියපු දේවල් අහගෙන ඉද්දී දෙවි කෙනෙක් ඉන්න ඕන කියලා මට හොඳටම පැහැදිලි වුණා. අපේ ඇඟ ඇතුලේ නොදැනුවත්වම කොච්චර දේවල් වෙනවාද? ලොකු, පොඩි හැම අවයවයක්ම හරිම පුදුමාකාරයි.”—තෙරේසා.

“උස බිල්ඩිමක්, ලොකු නැවක්, කාර් එකක් දැක්කාම ‘බුද්ධිමත් කෙනෙක් මේක හදන්න ඇති’ කියලා මං හිතනවා. උදාහරණයකට කාර් එකක් ගැන බලන්න. ඒක වැඩ කරන්න හැම පුංචි කෑල්ලක්ම හරි විදිහට ක්‍රියා කරන්න ඕනේ. ඉතිං කාර් එකක් හදන්න බුද්ධිමත් කෙනෙක් ඉන්න ඕනෙ නම් අපි ගැන මොනාද කියන්න පුළුවන්?”—රිචඩ්.

“මං විද්‍යාව ගැන වැඩිදුර ඉගෙනගද්දී පරිණාමය ගැන තිබුණු විශ්වාසය අඩු වුණා. ඇත්තටම ජීවය නිර්මාණය කළා කියලා විශ්වාස කරන එක පරිණාමය විශ්වාස කරන එකට වඩා ලේසියි.”—ඇන්තනි.

ටිකක් හිතන්න

විද්‍යාඥයන් කාලයක් තිස්සේ පරිණාමය ගැන පර්යේෂණ කරනවා. ඒත් තවමත් හැමෝටම එකඟ වෙන්න පුළුවන් විදිහේ මතයක් එයාලා අතර නැහැ. එයාලාට එක මතයකට එන්න බැරි නම් ඔයාට පරිණාමය ගැන සැකයක් ඇති වෙන එක සාධාරණයි නේද?