Skip to content

පටුනට යන්න

4වෙනි කොටස

ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්

ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්

“එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.”—හිතෝපදේශ 13:10

ජීවත් වෙන්න අපි කාටත් සල්ලි ඕනේ. (හිතෝපදේශ 30:8) ඇත්තම කියනවා නම් “මුදල ආරක්ෂාවක්.” (දේශනාකාරයා 7:12) එත් ඔය දෙන්නා අතරට ප්‍රශ්න ගේන්න නම් සල්ලිවලට ඉඩ දෙන්න එපා. (එෆීස 4:32) අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද කියලා දෙන්නම එකතු වෙලා සැලසුම් කරන්න. ඒක කරන්න දෙන්නා අතරේ හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ.

1 සැලැස්මක් ඕනෙමයි

බයිබලයේ මෙහෙම කියනවා: “කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) ආදායමට සරිලන විදිහට වියදම් පිරිමහගන්නේ කොහොමද කියලා දෙන්නා එකතු වෙලා ගණන් බලන්න. (ආමොස් 3:3) ඕන කරන්නේ මොනවද, ඒවා ගන්න කීයක් වැය කරන්න පුළුවන්ද කියලා හිතන්න. (හිතෝපදේශ 31:16) යමක් ගන්න අතේ සල්ලි තිබුණු පලියට ඒක ගන්න ඕනෙමයි කියලා හිතන්න එපා. ණය නොවී ඉන්න බලන්න. අතේ තියෙන ගාණට වැඩියෙන් වියදම් කරන්න එපා.—හිතෝපදේශ 21:5; 22:7.

මෙහෙම කරලා බලන්න:

  • මාසේ අන්තිමට අතේ වැඩිපුර ගාණක් ඉතුරු වුණොත් ඒකෙන් මොනවද කරන්නේ කියලා දෙන්නාම එකතු වෙලා තීරණය කරන්න

  • ආදයමට වඩා වියදම සැරයි නම් වියදම් කපන්න පුළුවන් සැලැස්මක් ගැන හිතන්න. උදාහරණෙකට කඩ කෑමවලට නිකරුණේ වියදම් කරන්නේ නැතුව ගෙදරම කෑම ටික හදාගන්න

2 අවංක වෙන්න, ආදායමට අනුව ජීවත් වෙන්න

බයිබලයේ මෙහෙම කියනවා: “යෙහෝවා දෙවි ඉදිරියේ පමණක් නොව මිනිසුන් ඉදිරියෙහිත් අවංකව කටයුතු කිරීම ගැන සැලකිලිමත් වෙමු.” (2 කොරින්ති 8:21) කීයක් හම්බ කරනවද, කීයක් වියදම් කළාද කියලා එයාට ඇත්තම කියන්න.

ලොකු ගාණක් යට කරන්න, වැඩි ගාණක දෙයක් මිල දී ගන්න ඉස්සෙල්ලා ඒ ගැන එයාත් එක්ක කතා කරන්න. (හිතෝපදේශ 20:18) කතාබහ කරලා වියදම් කරනවා නම් හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ලැබෙන පඩිය ඔයාට අයිති එකක් කියලා හිතනවා වෙනුවට පවුලටම අයිති එකක් කියලා හිතන්න.—1 තිමෝති 5:8.

මෙහෙම කරලා බලන්න:

  • හැම පොඩි වියදමක්ම අනිත් කෙනාගෙන් අහලා කරන්න බැරි නිසා තනියම කොච්චර ගාණක් වියදම් කරන්න පුළුවන්ද කියලා කතා කරගන්න

  • කතාබහ කරලා තීරණයකට එන්න ප්‍රශ්නයක් ඇති වෙනකල්ම ඉන්න එපා