2 කොරින්ති 8:1-24

8  දැන් සහෝදරයෙනි, දෙවිගේ මහත් කරුණාව නිසා මැසිඩෝනියාවේ පිහිටි සභාවන්වල සිදු වූ දේ ගැන ඔබට යමක් පැවසීමට කැමැත්තෙමු.+  ඔවුන් සිටියේ දැඩි පීඩා හා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමිනි. ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුහු මහත් ප්‍රීතියකින් ත්‍යාගශීලීව කටයුතු කළෝය.+  ඔවුහු තමන්ට හැකි උපරිමයෙන් පරිත්‍යාගශීලී වූහ.+ මා කිසි සැකයක් නොමැතිව පවසන්නේ ඔවුන් තමන්ට කළ හැකි දේටත් වඩා උපරිමයෙන් කළ බවය.  එම සහෝදරයන් අපගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේ ශුද්ධ තැනැත්තන්ට උපකාර කිරීමේ සැලැස්මට දායක වීම සඳහා යම් දේවල් පරිත්‍යාග කරන්න ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන ලෙසය.+ ඔවුන් එසේ කළේ කිසිවෙකුගේ බල කිරීම මත නොව සිය කැමැත්තෙන්මය.  ඇත්තෙන්ම අප බලාපොරොත්තු වූවාටත් වඩා ඔවුහු කළෝය. මන්ද දෙවිගේ කැමැත්තට එකඟව ස්වාමීන් සහ අප වෙනුවෙන් මහත් කැපවීමකින් කටයුතු කිරීමට ඔවුහු පසුබට නොවූහ.+  එයින් දිරිගැන්වීමක් ලැබූ අපි, ඔබ විසින් කාරුණිකව පරිත්‍යාග කරන ලද සෑම දෙයක්ම එකතු කිරීමට තීතස්ට+ උනන්දු කළෙමු. අප එසේ කළේ එම එකතු කිරීමේ කටයුත්ත ඔබ අතරේ ආරම්භ කළ තැනැත්තා ඔහු වූ නිසාය.  දැන් ඔබ සෑම පැත්තකින්ම දියුණුවක් ලබා ඇති බව අපට පෙනේ.+ එනම් ඔබ තුළ ඇති විශ්වාසයද දැනුමද+ ඔබේ උනන්දුවද වැඩි වී ඇත. එසේම කතා කිරීමේ දක්ෂතාව අතින්ද අප ඔබට පෙන්වූ ප්‍රේමයට සමාන ප්‍රේමයක් පෙන්වීමෙන්ද ඔබ දියුණුවක් ලබා ඇත. දැන් අප ඔබෙන් ඉල්ලා සිටින්නේ කාරුණිකව අනුන්ට පරිත්‍යාග කිරීම අතිනුත් දියුණු වෙන්න කියාය.  මා මේ දේවල් ඔබට පවසන්නේ නියෝගයක් ලෙස නොවේ.+ මා එසේ කළේ වෙනත් සහෝදරයන් මේ කාරණය ගැන මහත් උනන්දුවකින් කටයුතු කරනවා වගේ ඔබත් සැබෑ ප්‍රේමයක් ඇතුව කටයුතු කරනවාද කියා දැක බලා ගැනීමට මට අවශ්‍ය නිසාය.  මන්ද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙන්වූ මහත් කරුණාව ගැන ඔබට අවබෝධයක් ඇත. ඔහු කිසි දෙයකින් අඩුවක් නැතුව ඉතා පොහොසත් තත්වයක සිටියත් ඔහු ඔබ වෙනුවෙන් දිලින්දෙක් විය.+ එසේ කළේ ඔහුගේ දිලිඳුකම තුළින් ඔබටත් පොහොසත් වීමට අවස්ථාව ලබා දීම සඳහාය.+ 10  මේ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න කැමැත්තෙමි.+ මීට වසරකට පමණ පෙර ඔබ ආරම්භ කළ මෙම කාර්යය අවසන් කිරීම සෑමදෙනෙකුටම ප්‍රයෝජනවත් වේ.+ එය ආරම්භ කළ අවස්ථාවේ ඒ සඳහා ඔබ තුළ මහත් උනන්දුවක් තිබුණා පමණක් නොව ඒ වෙනුවෙන් යම් පියවර ගැනීමටත් ඔබ තුළ පෙලඹීමක් තිබිණ.+ 11  එමනිසා දැන් ඒ කාර්යය අවසන් කරන්න. එවිට ඔබ මහත් උනන්දුවෙන් ආරම්භ කළ එම කාර්යය සාර්ථකව නිම කිරීමට ඔබට හැකි වේ. 12  සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.+ 13  මා අදහස් කරන්නේ අන් අයට යම් සහනයක් සලසමින්+ ඔබව යම් අපහසුතාවකට පත් කරන්න නොවේ. 14  නමුත් ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසීමට ඔබට පුළුවන. එවිට ඔවුන්ට වැඩිපුර ඇති දෙයින් ඔබේ හිඟකමද පිරිමැසෙයි. එසේ එකිනෙකා එකිනෙකාගේ අඩුව පිරිමසන නිසා සියල්ල සම සේ බෙදී යයි.+ 15  ලියවිලිවල සඳහන් ආකාරයට, “බොහෝ දේ ඇති තැනැත්තාට වැඩිපුර තිබුණේවත් ස්වල්පයක් ඇති තැනැත්තාට හිඟයක් තිබුණේවත් නැත.”+ 16  ඔබ ගැන අපට තිබෙනවා හා සමාන උනන්දුවක් තීතස් තුළත් ඇති කිරීම ගැන අප දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!+ 17  මන්ද අපගේ දිරිගැන්වීම නිසා ඔහු ඔබ ළඟට එන්න කැමති වුණා පමණක් නොව ඔහු මේ කාර්යය කිරීමට මහත් උනන්දුවක් දක්වන අතර එසේ කරන්නේ ඔහුගේම කැමැත්තෙන්ය. 18  අපි ඔහු සමඟ තවත් සහෝදරයෙකුව එවන්නෙමු. ඒ සහෝදරයා ශුභාරංචිය වෙනුවෙන් කරන සේවය නිසා සියලුම සභාවල සිටින අය ඔහුට ප්‍රශංසා කරති. 19  එපමණක්ද නොව සභාවේ සහෝදරයන් ඔහුව පත් කර තිබෙන්නේ+ අප සමඟ සංචාරය කර, කාරුණිකව පරිත්‍යාග කරනු ලබන දේ බෙදා දීමේ කාර්යයට සහාය වීම සඳහාය. එම කාර්යය මගින් ස්වාමීන්ට ප්‍රශංසාවක් හා ගෞරවයක් ලැබෙන අතර+ අන් අයට උපකාර කිරීමට අප මහත් උනන්දුවකින් සිටින බවත් ඔප්පු වේ.+ 20  එසේ අප විසින් බෙදා දීමට නියමිත මේ ත්‍යාගශීලී සම්මාදම් සම්බන්ධයෙන්+ කිසි කෙනෙකුට අපට විරුද්ධව චෝදනාවක් එල්ල කිරීමට අපි ඉඩ තබන්නේ නැත.+ 21  මන්ද අපි, “යෙහෝවා දෙවි ඉදිරියේ පමණක් නොව මිනිසුන් ඉදිරියෙහිත්+ අවංකව කටයුතු කිරීම ගැන සැලකිලිමත් වෙමු.” 22  මීට අමතරව අපි ඔවුන් සමඟ අපගේ තවත් සහෝදරයෙකුව එවන්නෙමු. ඔහුද බොහෝ කාරණාවලදී උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකු බව නිතරම ඔප්පු කර ඇත. නමුත් ඔබ ගැන ඔහුට මහත් විශ්වාසයක් ඇති නිසා දැන් ඊටත් වඩා ඔහු උනන්දුවකින් සිටියි. 23  තීතස් ගැන යම් සැකයක් ඇත්නම් ඔහු මගේ හවුල්කරුවෙකුද ඔබේ ප්‍රයෝජනය සඳහා පත් කළ හවුල් සේවකයෙකුද+ වන බව සැලකිල්ලට ගන්න. එසේම අපගේ එම සහෝදරයන් ගැන යම් සැකයක් ඇත්නම් ඔවුන් සභාවන් වෙනුවෙන් නියෝජිතයන්* ලෙස සේවය කරන අයද ක්‍රිස්තුස්ට ගෞරවයක් ගෙන දෙන අයද වන බව සැලකිල්ලට ගන්න. 24  එමෙන්ම ඔබට සැබෑ ප්‍රේමයක් ඇති බවත්+ අප ඔබ ගැන මහත් ආඩම්බරයකින් ඔවුන්ට පැවසූ දේවල් සැබෑ බවත්+ ඔබ කටයුතු කරන ආකාරයෙන් පෙන්නුම් කරන්න.

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්.”