Skip to content

අනාවැකියක් කියන්නේ මොකක්ද?

අනාවැකියක් කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අනාවැකියක් කියන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලැබෙන පණිවිඩයක්. බයිබලයේ සඳහන් වෙන්නේ අනාගතවක්තෘවරුන් “තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය” කියලයි. (2 පේතෘස් 1:20, 21) එහෙමනම් අනාගතවක්තෘවරයෙක් කියන්නේ දෙවිගෙන් පණිවිඩ ලබන, ඒවා අනිත් අයට කියන කෙනෙක්ටයි.—ක්‍රියා 3:18.

අනාගතවක්තෘවරුන්ට දෙවිගෙන් තොරතුරු ලැබුණේ කොහොමද?

 දෙවියන් ඒකට විවිධ ක්‍රම යොදාගත්තා.

  •   ලිඛිතව. දෙවියන්ම ලියපු දසපනත මෝසෙස්ට දීපු අවස්ථාව ඒකට උදාහරණයක්.—නික්මයාම 31:18.

  •   දේවදූතයන් මාර්ගයෙන්. උදාහරණයකට දෙවියන් ඊජිප්තුවේ පාරාවෝ රජුට දැනුම් දෙන්න ඕන පණිවිඩය දේවදූතයෙක් මාර්ගයෙන් මෝසෙස්ට කිව්වා. (නික්මයාම 3:2-4, 10) තමන් පවසන දේ ඒ විදිහටම ලියන්න කියලා සමහර අවස්ථාවලදී දෙවියන් දේවදූතයන් මාර්ගයෙන් කිව්වා. දේවදූතයෙක් මාර්ගයෙන් දෙවියන් මෝසෙස්ට කිව්ව මේ දේ ඒකට උදාහරණයක්. “මා ඔබට පැවසූ දේවල් ලියාගන්න. මම ඊශ්‍රායෙල් සෙනඟ හා ඔබ සමඟ ගිවිසුමක් ඇති කරගන්නේ ඒ වචනවලට එකඟවයි.”—නික්මයාම 34:27. a

  •   දර්ශන මාර්ගයෙන්. සමහර වෙලාවට දෙවියන් අනාගතවක්තෘවරුන්ට දර්ශන ලබා දුන්නේ ඔවුන් අවදියෙන් නැත්නම් හොඳ සිහිකල්පනාවෙන් හිටිය වෙලාවලදියි. (යෙසායා 1:1; හබක්කුක් 1:1) සමහර අනාගතවක්තෘවරුන් දර්ශන දැකපු අවස්ථාවලදී ඒ අයත් ඒ දර්ශනයට හවුල් වෙලා තියෙනවා. (ලූක් 9:28-36; එළිදරව් 1:10-17) අවදියෙන් ඉද්දී යම් දර්ශනයක් අනාගතවක්තෘවරුන්ට පෙනෙන්න සැලැස්සුවාම ඒ වෙලාවේ අවට සිදු වුණු කිසිම දෙයක් ගැන එයාලට දැනිලා නැති අවස්ථාවනුත් තියෙනවා. (ක්‍රියා 10:10, 11; 22:17-21) අනාගතවක්තෘවරුන් නිදාගෙන ඉද්දී දෙවියන් සිහින මාර්ගයෙනුත් එයාලට පණිවිඩ දැනුම් දීලා තියෙනවා.—දානියෙල් 7:1; ක්‍රියා 16:9, 10.

  •   මඟ පෙන්වීම් මාර්ගයෙන්. දෙවියන් තමන්ට කියන්න ඕන දේ අනාගතවක්තෘවරුන්ට හිතන්න සලස්වනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි” කියලා බයිබලයේ තියෙන දෙයින් අදහස් කළේ ඒ දේ තමයි. (2 තිමෝති 3:16) පාවුල් ඒක කියන්න යොදාගත්ත ග්‍රීක වචනයේ තේරුමට “දෙවියන් හුස්ම හෙළුවා” කියන අදහසත් ඇතුළත්. හුස්ම හෙළුවා කියන එකෙන් අදහස් කළේ දෙවියන් ඔහුගේ බලය යොදාගෙන අනාගතවක්තෘවරුන්ගේ මනස්වලට ඔහුගේ පණිවිඩය ඇතුල් කළා කියන එකයි. පණිවිඩය ලැබුණේ දෙවිගෙන් වුණත් අනාගතවක්තෘවරු ඒක තමන්ගේ වචනවලින ලිව්වා.—2 සාමුවෙල් 23:1, 2.

අනාවැකිවලට ඇතුළත් වෙන්නේ අනාගතයේ වෙන දේවල් විතරද?

 නැහැ. බයිබල් අනාවැකි අද කාලේ ඉටු වුණත් බයිබලයේ තියෙන සමහර අනාවැකිවලින් අනාගතය ගැන කියවෙන්නේ නැහැ. හැබැයි කෙළින්ම සඳහන් වෙලා තිබුණේ නැතත් බයිබලයේ තියෙන හුඟක් අනාවැකිවල අනාගතයේ වෙන දේවල් ගැන ඇතුළත් වෙනවා. උදාහරණයකට අනාගතවක්තෘවරුන් ඊශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම් ගැන දිගින් දිගටම අනතුරු ඇඟෙව්වා. ඒවාට සවන් දුන්නේ නැත්නම් නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා කියලත් ඒවාට සවන් දුන්නොත් ආශීර්වාද අද්දකින්න ලැබෙනවා කියලත් ඒ අනාගතවක්තෘවරුන් කිව්වා. (යෙරෙමියා 25:4-6) ප්‍රතිඵල තීරණය වුණේ ඊශ්‍රායෙල්වරුන් කටයුතු කරපු විදිහ අනුවයි.—ද්විතීය කතාව 30:19, 20.

අනාගතයේ වෙන දේවල් ගැන සඳහන් වෙන්නේ නැති අනාවැකි කිහිපයක්

  •   ඊශ්‍රායෙල්වරුන් දෙවිගෙන් උදව් ඉල්ලපු එක අවස්ථාවක දෙවියන් අනාගතවක්තෘවරයෙක්ව ඔවුන් ළඟට යැව්වා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දැනුම් දුන්නේ ඒ අය තමන්ගේ නීතිවලට කීකරු වුණේ නැති නිසා දෙවියන් උදව් කළේ නැහැ කියලයි.—විනිශ්චයකරුවෝ 6:6-10.

  •   යේසුස් සමරිතානු ස්ත්‍රියක් එක්ක කතා කරපු අවස්ථාවේ ඔහු දෙවිගේ මඟ පෙන්වීමෙන් ඒ ස්ත්‍රියගේ අතීතය ගැන කිව්වා. යේසුස් ඒ ස්ත්‍රියගේ අනාගතය ගැන කිව්වේ නැතත් ස්ත්‍රිය යේසුස්ව හැඳින්නුවේ අනාගතවක්තෘවරයෙක් විදිහටයි.—යොහන් 4:17-19.

  •   යේසුස්ගේ සතුරන් ඔහුගේ මුහුණ වහලා ඔහුට පහර දීලා මෙහෙම කිව්වා. “ඔබ අනාගතවක්තෘවරයෙක් නම් ඔබට පහර දුන්නේ කවුද කියා කියන්න.” ඒ වෙලාවේ ඒ අය යේසුස්ට කිව්වේ අනාගතය ගැන කියන්න කියලා නෙමෙයි, ඔහුට ගැහුවේ කවුද කියලා කියන්න කියලයි.—ලූක් 22:63, 64.

a මේ අවස්ථාවෙදී දෙවියන් කෙළින්ම මෝසෙස්ට කතා කළා වගේ පේන්න තිබුණත් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය දෙවියන් ලබා දුන්නේ දේවදූතයෙක්ව යොදාගෙනයි කියලා බයිබලයේ කියනවා.—ක්‍රියා 7:53; ගලාති 3:19.