Skip to content

පුනරුත්පත්තිය බයිබලයේ තියෙන ඉගැන්වීමක්ද?

පුනරුත්පත්තිය බයිබලයේ තියෙන ඉගැන්වීමක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “පුනරුත්පත්තිය” කියන වචනයවත් ඒ ගැන කිසිම දෙයක්වත් බයිබලයේ සඳහන් වෙලා නැහැ. පුනරුත්පත්තිය විශ්වාස කරන අය කියන්නේ කෙනෙක් මැරුණාට පස්සේ ඒ කෙනා තව තැනක නැවත ඉපදෙනවා කියලයි. a ඒ විශ්වාසයට හේතු වුණේ අමරණීය ආත්මයක් තියෙනවා කියන ඉගැන්වීමයි. ඒත් බයිබලේ කියන විදිහට දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරද්දී ඔවුන්ට දුන්නේ ජීවනයේ හුස්ම මිසක් අමරණීය ආත්මයක් කියලා දෙයක් නෙමෙයි. (උත්පත්ති 2:7) ඒ වගේම බයිබලයේ කියන්නේ කෙනෙක් මැරුණාම එයාගේ ජීවිතේ එතැනින් අවසාන වෙනවා කියලයි.—උත්පත්ති 3:19; දේශනාකාරයා 9:5, 6.

පුනරුත්පත්තිය සහ නැවත නැඟිටීම අතර වෙනස මොකක්ද?

 බයිබලේ සඳහන් වෙන නැවත නැඟිටීම පුනරුත්පත්තියට වඩා වෙනස්. නැවත නැඟිටීම, අමරණීය ආත්මයක් කියලා දෙයක් තියෙනවා කියන ඉගැන්වීමට සම්බන්ධ නැහැ. නැවත නැඟිටීමේදී කෙනෙක්ට ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ දෙවිගේ බලය මාර්ගයෙන්. (මතෙව් 22:23, 29; ක්‍රියා 24:15) නැවත නැඟිටුවන අයට පාරාදීස පොළොවක ආයේ කවදාවත් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.

පුනරුත්පත්තිය බයිබලයට එකඟයි කියන්න යොදාගන්න වැරදි මත

 වැරදි මතය: යොහන් බව්තීස්ත විදිහට නැවත ඉපදුණේ අනාගතවක්තෘ එලියා කියලා බයිබලේ සඳහන් වෙනවා.

 ඇත්ත මේකයි: “මම අනාගතවක්තෘ එලියාව ඔබ වෙතට එවන්නෙමි” කියලා දෙවියන් කියලා තිබුණා. පස්සේ ඒ අනාවැකිය යොහන් බව්තීස්ත තුළින් ඉටු වුණා කියලා යේසුස් කිව්වා. (මලාකි 4:5, 6; මතෙව් 11:13, 14) ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එලියා යොහන් බව්තීස්ත විදිහට නැවත ඉපදුණා කියලා. ඇත්තටම යොහන් බව්තීස්ත තුළින් ඒ අනාවැකිය ඉටු වුණේ ඔහු එලියා හා සමාන සේවයක් කරපු එකෙනුයි. ඒ දෙන්නාම පසුතැවිලි වෙලා දෙවියන් වෙතට හැරෙන්න කියන පණිවිඩය ජනයාට දේශනා කළා. (1 රාජාවලිය 18:36, 37; මතෙව් 3:1) යොහන් බව්තීස්ත “එලියා මෙන් මහත් උද්‍යෝගයකින්” සේවය කරපු කෙනෙක්. (ලූක් 1:13-17) ඊට අමතරව යොහන් බව්තීස්තම කිව්වා එයා එලියා නෙමෙයි කියලා.—යොහන් 1:21.

 වැරදි මතය: පුනරුත්පත්තිය තමයි බයිබලයේ “අලුත් උපතක්” කියලා හඳුන්වන්නේ.

 ඇත්ත මේකයි: බයිබලේ සඳහන් අලුත් උපත, සංකේතාත්මක එකක්. ඒ උපත සිදු වෙන්නේ පුද්ගලයා ජීවතුන් අතර ඉද්දීමයි. (යොහන් 1:12, 13) ඒක පුනරුත්පත්තිය වගේ කෙනෙක් කලින් ගත කරපු ජීවිතේ ප්‍රතිඵල අනුව වෙන දෙයක් නෙමෙයි. එය දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාදයක්. අලුත් උපත නිසා දෙවිට ළං වෙන්නත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්නත් කෙනෙක්ට පුළුවන් වෙනවා.—යොහන් 3:3; 1 පේතෘස් 1:3, 4.

a අමරණීය ආත්මය කියන ඉගැන්වීම පුරාණ බැබිලෝනියේ හිටිය අයත් විශ්වාස කළා කියලා හොයාගෙන තියෙනවා. පස්සේ කාලෙක ඉන්දියානු දර්ශනවාදීන් කර්මය කියන ඉගැන්වීමත් හඳුන්වලා දුන්නා. එක් විශ්වකෝෂයකට අනුව කර්මය කියන්නේ “හේතුඵල වාදයයි. ඒ කියන්නේ කෙනෙක් මැරිලා නැවත ඉපදෙනකොට මොන වගේ ජීවිතයක් ලැබෙයිද කියලා තීරණය වෙන්නේ එයා දැන් කරන දේවල්වලට අනුව කියන එකයි.”—Britannica Encyclopedia of World Religions.