Skip to content

“ඇසකට ඇසක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

“ඇසකට ඇසක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “ඇසකට ඇසක්” කියන නීතිය සඳහන් වෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේයි. කන්ද උඩ දේශනයේදී යේසුස් ඒක සඳහන් කළා. (මතෙව් 5:38; නික්මයාම 21:24, 25; ද්විතීය කතාව 19:21) වැරදි කරන අයට දඬුවම් කරද්දී එයාලගේ වරදේ බරපතළකම අනුව දඬුවම් කරන්න ඕනෙ කියන එක ඒකෙන් අදහස් කළා. a

 තව කෙනෙකුට විරුද්ධව හිතාමතාම කරන හානිකර දේවලට දඬුවම් කරද්දී ඒ නීතිය අදාළ වුණා. හිතාමතාම අනිත් අයට හානි වෙන, තුවාල වෙන විදිහේ දේවල් කරන අය ගැන දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේ මෙහෙම සඳහන් වුණා. “බිඳුමකට බිඳුමක්, ඇසකට ඇසක් සහ දතකට දතක් යන ප්‍රතිපත්තියට අනුව ඔහු තුවාල කළ ලෙසම ඔහුටත් තුවාල කළ යුතුයි.”—ලෙවී කතාව 24:20.

 “ඇසකට ඇසක්” කියන නීතිය දුන්නේ ඇයි?

 අතීතයේ හිටිය මිනිසෙක් තවත් මිනිසෙක්ට හිතාමතාම තුවාල කළා කියලා හිතන්න. ඒ අවස්ථාවේදී “ඇසකට ඇසක්” කියන නීතිය පාවිච්චි කරලා තමන්ට තුවාල කරපු කෙනාගෙන් පළිගන්න තුවාල වෙච්ච කෙනාට අවසර ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඕනෑවට වඩා දරුණු වෙන්නෙත් නැතුව ඕනෑවට වඩා ලිහිල් වෙන්නෙත් නැතුව සුදුසු ප්‍රමාණයට දඬුවම් නියම කරන්න ඒ නීතිය විනිශ්චයකරුවන්ට උදව් වුණා.

 ඒ වගේම අනිත් අයට පහර දෙන්න, තුවාල කරන්න, එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් කුමන්ත්‍රණය කරන්න ඒ නීතිය නිසා කාටවත් ඉඩක් ලැබුණේ නැහැ. බයිබලේ මෙහෙම කියනවා. “එවිට ජනයාට ඒ ගැන [දෙවි නියම කළ විදිහට දඬුවම ලැබුණ එක ගැන] ආරංචි වී ඔවුන් තුළ බියක් ඇති වෙයි. ඒ නිසා ඔබ අතරේ එවැනි දුෂ්ට දෙයක් නැවත කිසිදා සිදු නොවෙයි.”—ද්විතීය කතාව 19:20.

 “ඇසකට ඇසක්” කියන නීතිය ක්‍රිස්තියානීන්ටත් අදාළද?

 නැහැ. මොකද ඒක දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේ සඳහන් වුණ දෙයක්. යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඒ නීතිය අවලංගු වුණා.—රෝම 10:4.

 ඒත් දෙවියන් ඒ කාරණය දිහා බලන විදිහ තේරුම්ගන්න ඒ නීතිය අපිට උදව් වෙනවා. දෙවියන් යුක්තිය හරිම වැදගත් දෙයක් විදිහට සලකනවා කියලා ඒ නීතියෙන් අපිට පැහැදිලි වෙනවා. (ගීතාවලිය 89:14) ඒ වගේම වැරදි කරන අයට දඬුවම් කරද්දී “සුදුසු ප්‍රමාණයට” ඒක කරන්න ඕනෙ කියලා දෙවියන් දීලා තියෙන ප්‍රමිතියත් ඒකෙන් හෙළි වෙනවා.—යෙරෙමියා 30:11.

 “ඇසකට ඇසක්” කියන නීතිය ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: “ඇසකට ඇසක්” කියන නීතිය ගොඩක් දරුණු නීතියක්.

 ඇත්ත මේකයි: දරුණු, කුරිරු විදිහට වැරදිකරුවෙක්ට දඬුවම් කරන්න ඒ නීතියෙන් කිසිම කෙනෙක්ට අවසර දීලා තිබුණේ නැහැ. සුදුසුකම් ලත් විනිශ්චයකරුවන් යම් වරදකට දඬුවමක් නියම කරන්න කලින් ඒ වරද කරන්න එයා පෙලඹුනේ ඇයි කියලත් ඒ වරද වුවමනාවෙන් කරපු එකක්ද නැද්ද කියලත් සලකා බලන්න අවශ්‍යයි. (නික්මයාම 21:28-30; ගණන් කතාව 35:22-25) ඒ නිසා වැරදිකරුවෙක්ට සුදුසු ප්‍රමාණයට වඩා දඬුවම් කරන එකෙන් වැළකිලා ඉන්න “ඇසකට ඇසක්” කියන නීතිය උදව් වුණා.

 වැරදි මතය: “ඇසකට ඇසක්” කියන නීතිය නිසා කෙනෙක්ට තවත් කෙනෙක්ගෙන් හිතේ හැටියට පළිගන්න අවසර තිබුණා.

 ඇත්ත මේකයි: දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේ මෙහෙම සඳහන් වෙනවා. “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.” (ලෙවී කතාව 19:18) කාගෙන්වත් පළිගන්න කියලා ඒ නීතියේ උනන්දු කළේ නැහැ. ඒ වෙනුවට දෙවියන්වත් ඔහු පිහිටුවලා තිබුණ නීති පද්ධතියත් විශ්වාස කරන්න කරන්න කියලයි ඒ නීතියේ දිරිගැන්නුවේ.—ද්විතීය කතාව 32:35.

a ඒ නීතියට පදනම් වෙන ප්‍රතිපත්තියට ලතින් භාෂාවෙන් ලෙක්ස් ටැලියෝනිස් කියන යෙදුම පාවිච්චි කළා. අතීතයේ තිබුණ වෙනත් ශිෂ්ටාචාරවල නීති පද්ධතියෙත් ඒ ප්‍රතිපත්තිය තිබුණා.