Skip to content

දුක් විඳින කෙනෙක්ව ඔහුගේ කැමැත්ත මත මරණයට පත් කිරීම ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

දුක් විඳින කෙනෙක්ව ඔහුගේ කැමැත්ත මත මරණයට පත් කිරීම ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ ඒ ගැන විශේෂයෙන් සඳහන් කරලා නැහැ. a ඒත් ජීවිතය සහ මරණය ගැන බයිබලයේ කියලා තියෙන දෙයින් අපිට ඒ ගැන අදහසක් ලබාගන්න පුළුවන්. කෙනෙක්ව මරණයට පත් කරන එක වරදක්. ඒත් පණ අදින ලෙඩෙකුගේ අවසන් හුස්ම යන්න නොදී එයාගේ ජීවිතය දික් කරන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනෙමයි කියලා බයිබලයේ නීතියක් දීලා නැහැ.

 බයිබලයේ දෙවියන්ව හඳුන්වන්නේ අපේ නිර්මාතෘ සහ “ජීවිතයේ උල්පත” කියලයි. (ගීතාවලිය 36:9; ක්‍රියා 17:28) දෙවියන් ජීවිතය සලකන්නේ අනර්ඝ දෙයක් විදිහට. ඒ නිසා වෙන කෙනෙකුගේ හරි තමන්ගේ හරි ජීවිතය නැති කරන එක දෙවියන් හෙළාදකිනවා. (නික්මයාම 20:13; 1 යොහන් 3:15) ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතයත් අනිත් අයගේ ජීවිතත් ආරක්ෂා කරන්න අපි පුළුවන් දේ කරන්න ඕනෙ කියලත් බයිබලයේ කියලා තියෙනවා. (ද්වීතිය කතාව 22:8) අපි ජීවිතය කියන තෑග්ග ගොඩක් අගය කරනවාට දෙවියන් කැමතියි කියන එක ඒකෙන් පැහැදිලියි.

සුව කරන්න බැරි බරපතළ රෝගයක් නම්?

 කෙනෙක් ඉක්මනින් මැරෙන්න යනවා කියලා අපි නිසැකවම දැනගෙන හිටියත් එයාගේ ජීවිතය නැති කරන එක බයිබලයේ අනුමත කරලා නැහැ. ඊශ්‍රායෙලයේ සාවුල් රජුට වෙච්ච දෙයින් අපිට ඒක තහවුරු වෙනවා. යුද්ධයේදී සාවුල් රජ බරපතළ විදිහට තුවාල වුණාම, එයාව මරලා දාන්න කියලා එයා සේවකයෙක්ට කිව්වා. ඒත් ඒ සේවකයා ඒක කරන්න බැහැ කිව්වා. (1 සාමුවෙල් 31:3, 4) ඊටපස්සේ වෙන කෙනෙක් දාවිත් රජ ළඟට ගිහින් තමා සාවුල්ගේ කැමැත්ත ඉටු කළා කියලා බොරුවට කිව්වා. එයා මිනී මරුවෙක් කියලා දාවිත් තීන්දු කළා. මොකද දාවිත් ඒ කාරණය සම්බන්ධයෙන් දෙවියන් හිතපු විදිහ තේරුම්ගත්ත කෙනෙක්.—2 සාමුවෙල් 1:6-16.

මරණාසන්නව ඉන්න කෙනෙක්ව කොහොමහරි ජීවත් කරවන්න ඕනේද?

 කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙන්න යනවා කියලා අපි නිසැකවම දන්නවා නම් යන්ත්‍රෝපකරණ මගින් එයාව කොහොමහරි පණපිටින් තියාගන්න ඕනෙමයි කියලා බයිබලයේ කියලා නැහැ. මේ කාරණය ගැන සමබරව හිතන්න බයිබලය අපිට උදව් කරනවා. මරණය කියන්නේ අපේ ලොකුම හතුරා. ඒක අපේ පව්කාර ස්වභාවයේ ප්‍රතිඵලය. (රෝම 5:12; 1 කොරින්ති 15:26) අපි මරණයට ආස නැහැ තමයි. ඒත් මරණයට භය වෙන්න ඕනෙත් නැහැ. මොකද මිය ගිය අයව නැවත නැගිටුවනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යොහන් 6:39, 40) ජීවිතයට ගරු කරන කෙනෙක් ලබාගන්න පුළුවන් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. ඒත් මරණාසන්නව ඉන්න රෝගියෙක්ව යන්ත්‍රෝපකරණයකින් හෝ වෙනත් මාර්ගයකින් කොහොමහරි පණ පිටින් තියාගන්න ඕනෙමයි කියලා ඒකෙන් අදහස් කරන්නේ නහැ.

සිය දිවි නසාගන්න කෙනෙක්ට දෙවියන්ගෙන් සමාවක් නැද්ද?

 සිය දිවි නසාගැනීම සමාව ලැබිය නොහැකි පාපයක් කියලා බයිබලයේ කියලා නැහැ. ඇත්ත තමාගේම ජීවිතය වුණත් නැති කරන එක බරපතළ පාපයක්. b ඒත් සිය දිවි නසාගැනීමට කෙනෙක් තුළ පෙලඹීමක් ඇති කරන මානසික රෝග, දැඩි පීඩන තත්වයන්, උපතින්ම එන ගති පැවතුම් වගේ දේවල් ගැන දෙවියන්ට හොඳට තේරෙනවා. (ගීතාවලිය 103:13, 14) ඒ වගේ දේවලට මුහුණ දෙන අයට දෙවියන් බයිබලය මාර්ගයෙන් සහනය දෙනවා. ඒ විතරක් නෙමෙයි ‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා’ කියලා බයිබලයේ කියනවා. (ක්‍රියා 24:15) සිය දිවි නසාගැනීම වගේ බරපතළ වැරදි කරපු අයටත් නැවත නැගිටීමේ බලාපොරොත්තුව තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි.

a සහන ඝාතනය කියන්නේ “හුඟක් රෝගාතුරව ඉන්න කෙනෙක්ගේ හරි බරපතළ ලෙස තුවාල ලබලා ඉන්න කෙනෙක්ගේ හරි වේදනාව කෙළවර කරන්න එයාගේ ජීවිතය නැති කරන” එකටයි. (Merriam-Webster Learner’s Dictionary) රෝගියෙකුට එයාගේ ජීවිතය නැති කරන්න වෛද්‍යවරයා උදව් කරනකොට ඒක හඳුන්වන්නේ වෛද්‍ය උපකාරය ඇතුව සිය දිවි නසාගැනීම කියලා.

b සිය දිවි නසාගත්ත කිහිපදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ හැම කෙනාම දෙවියන්ගේ කැමැත්තට එකඟව දේවල් කරපු නැති අයයි.—2 සාමුවෙල් 17:23; 1 රාජාවලිය 16:18; මතෙව් 27:3-5.