Skip to content

පටුනට යන්න

එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?

එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?

 ඔයාගේ සෞඛ්‍යය තත්වය හිතුවේ නැති විදිහට නරක අතට හැරිලාද? එහෙමනම් ඒක නිසා ඔයාගේ මනසට ලොකු පීඩනයක්, හිතට ලොකු බරක් දැනෙනවා ඇති. ඒ වගේම බේත්හේත්වලටත් ලොකු වියදමක් යන නිසා ඔයාගේ ආර්ථිකයටත් ඒක බලපාලා ඇති. ඔයාගේ අසනීපෙට හොඳින් මුහුණ දෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අසනීප වෙලා නම් එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? බයිබලය වෛද්‍ය උපදෙස් තියෙන පොතක් නොවුණත් ඒ වගේ අමාරු තත්වයකට මුහුණ දෙන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් ඒ පොතෙන් හොයාගන්න පුළුවන්.

අසනීප තත්වයකට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන යෝජනා

  •   වෛද්‍ය ප්‍රතිකාර ගන්න

     බයිබලයේ මෙහෙම කියනවා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.

     ඒක අදාළ වෙන්නේ කොහොමද? අවශ්‍ය නම් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබාගන්න.

     මෙහෙම කරලා බලන්න. ඔයාට ගන්න පුළුවන් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. සමහර වෙලාවට ඔයාගේ අසනීපය ගැන වෛද්‍යවරුන් කීපදෙනෙක් එක්කම කතා කරලා බලන එක ප්‍රයෝජනවත් වෙයි. (හිතෝපදේශ 14:15) වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න ගියාම ඔයාගේ රෝග ලක්ෂණ ගැන හැම දෙයක්ම එයාට කියන්න. ඒ වගේම එයා කියන දේවල් පැහැදිලිව තේරුම්ගන්න උත්සාහ කරන්න. (හිතෝපදේශ 15:22) ඔයාගේ අසනීපය ගැනත් ඒකට තියෙන ප්‍රතිකාර ක්‍රම ගැනත් හොයලා බලන්න. අසනීප තත්වය නිසා ඔයාට ඉස්සරහට මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයා කලින්ම තේරුම්ගන්නවා නම් හිත හදාගෙන ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙයි. ඒ වගේම ඔයාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්නත් ඒක ඔයාට උදව් වෙයි.

  •   හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වගන්න

     බයිබලයේ මෙහෙම කියනවා. “ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන” ලැබෙනවා.—1 තිමෝති 4:8, ‘පැරණි අනුවාදය.’

     ඒක අදාළ වෙන්නේ කොහොමද? හැමදාම ව්‍යායාම් කරන එක වගේ හොඳ සෞඛ්‍ය පුරුදුවලින් ඔයාට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

     මෙහෙම කරලා බලන්න. පුරුද්දක් විදිහට ව්‍යායාම් කරන්න. පෝෂ්‍යදායි ආහාර ගන්න. ඒ වගේම ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. ඔයාගේ අසනීප තත්වය වෙනුවෙන් ඔයා දැනටමත් යම් වෙනස්කම් කරමින් ඉන්නවා වුණත් හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න උත්සාහ කරන එකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා කියලා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියනවා. ඔයා මොන දේ කරන්න තීරණය කළත් ඒක ඔයාගේ සෞඛ්‍ය තත්වයටත් ඔයා ගන්න ප්‍රතිකාරවලටත් ගැළපෙනවාද කියලා හොඳට හිතලා බලන්න.

  •   අනිත් අයගෙන් උදව් ලබාගන්න

     බයිබලයේ මෙහෙම කියනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

     ඒක අදාළ වෙන්නේ කොහොමද? අමාරු තත්වයකට මුහුණ දෙද්දී ඒක දරාගන්න ඔයාට උදව් කරන්න ඔයාගේ යාළුවන්ට පුළුවන්.

     මෙහෙම කරලා බලන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් නිදහසේ කියන්න පුළුවන් විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන්න. ඒක ඔයාට උදව් වෙයි අසනීප තත්වය නිසා දැනෙන කනස්සල්ල අඩු කරගෙන දේවල් සතුටින් කරන්න. ඔයාගේ පවුලේ අය, යාළුවෝ ඔයාට උදව් කරන්න ආසාවෙන් ඇති. ඒත් කරන්න ඕනෙ මොනවාද කියලා එයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා එයාලට පැහැදිලිව කියන්න. එයාලගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට එයාලා කරන හැම දෙයක්ම අගය කරන්න. ඔයාගේ යාළුවන්ට ඕනෙ ඔයාට උදව් කරන්න වුණත් එයාලා නිතර නිතර ඔයාව බලන්න එන එක, ඇවිල්ලා හුඟක් වෙලා ඉන්න එක ඔයාට බරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාව බලන්න එන වාර ගණන, ඔයාත් එක්ක ගත කරන කාලය වගේ දේවල් ගැන සීමාවන් තියන්න.

  •   හොඳ විදිහට හිතන්න

     බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.

     ඒක අදාළ වෙන්නේ කොහොමද? බලාපොරොත්තු අත්හරින්නේ නැතුව දේවල් ගැන හොඳ විදිහට හිතන එක දරාගන්න අමාරු අසනීප තත්වයකදී සන්සුන්ව ඉන්න උදව් වෙනවා. එතකොට ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙනවා.

     මෙහෙම කරලා බලන්න. ඔයාගේ සෞඛ්‍ය තත්වය වෙනස් වෙලා තියෙන නිසා දැන් කලින් වගේ දේවල් කරන්න ඔයාට බැරුව ඇති. ඔයාට පාලනය කරන්න බැරි දේවල් ගැන හිත හිත ළත වෙන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. ඔයා දැන් ඉන්න තත්වය අනිත් අය එක්කවත්, අසනීපය හැදෙන්න කලින් ඔයා හිටපු තත්වය එක්කවත් සන්සන්දනය කරන්න එපා. (ගලාති 6:4) ඔයාට ළඟා වෙන්න පුළුවන් විදිහේ සාධාරණ ඉලක්ක තියාගන්න. එහෙම කරද්දී අනාගතය ගැන ශුභවාදීව හිතන්න ඔයාට පුළුවන් වෙනවා. (හිතෝපදේශ 24:10) ඔයාට පුළුවන් විදිහට අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ ගැනම හිත හිත ඉන්නේ නැතුව සතුටක් ලබන්න ඔයාට පුළුවන්.—ක්‍රියා 20:35.

අසනීපෙට හොඳින් මුහුණ දෙන්න දෙවියන් ඔයාට උදව් කරයිද?

 අසනීපෙන් ඉන්න කෙනෙක්ට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට a පුළුවන් කියලා බයිබලයේ තියෙන දේවලින් පැහැදිලි වෙනවා. දෙවියන් අපිව ආශ්චර්යවත් විදිහට සුව කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට මේ වගේ විදිවලින් දෙවියන් තමන්ට නමස්කාර කරන අයට උදව් කරනවා.

 සමාදානය. යෙහෝවා දෙවියන්ට පුළුවන් “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්” ලබා දෙන්න. (ෆිලිප්පි 4:6, 7) ඒ සමාදානය කෙනෙක්ට උදව් කරනවා ඕනෑවට වඩා කනස්සලු නොවී හිත සන්සුන්ව තියාගන්න. දෙවියන්ට යාච්ඤා කරලා හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔහුට කියන අයට දෙවියන් ඒ සමාදානය ලබා දෙනවා.—1 පේතෘස් 5:7.

 ප්‍රඥාව. හරි තීරණ ගන්න උදව් වෙන ප්‍රඥාව ලබා දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. (යාකොබ් 1:5) කෙනෙක් අදටත් ගැළපෙන පොතක් වන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඉගෙනගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නවා නම් ඒ ප්‍රඥාව ලබාගන්න එයාට පුළුවන් වෙනවා.

 අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක්. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැති” කාලයක් ලබා දෙනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 33:24) දරුණු අසනීපයකට මුහුණ දුන්නත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න හුඟදෙනෙක්ට මේ පොරොන්දුව උදව් වෙලා තියෙනවා.—යෙරෙමියා 29:11, 12.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.