Skip to content

දසපනත කියන්නේ මොකක්ද?

දසපනත කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දසපනත කියලා හඳුන්වන්නේ අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් දුන්න නීති දහයක්. ඒකට හෙබ්‍රෙව් භාෂාවෙන් වචන දහය කියන අදහස තියෙන “අසරත් හඩෙවරිම්” කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා. බයිබලයේ පංචපුස්තකය (ටෝරා) කියලා හඳුන්වන මුල් පොත් පහේ ඒ යෙදුම තුන් පාරක් සඳහන් වෙනවා. (නික්මයාම 34:28; ද්විතීය කතාව 4:13; 10:4 ) ග්‍රීක භාෂාවෙන් ඒ යෙදුමට “ඩෙකා” (දහය) “ලෝගොස්” (වචන) කියලා කියනවා. ඒ වචන දෙක එකතු වෙලා තමයි “ඩෙකාලොග්” කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්නේ.

 දෙවියන් ඒ නීති දහය ගල් පුවරු දෙකක ලියලා සීනයි කන්දේදී තම අනාගතවක්තෘවරයෙක් වුණ මෝසෙස්ට දුන්නා. (නික්මයාම 24:12-18) ඒ නීති දහය නික්මයාම 20:1-17 සහ ද්විතීය කතාව 5:6-21 ලැයිස්තුගත කරලා තියෙනවා.

 දසපනතට අයිති නීති ලැයිස්තුව

  1.   යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න.—නික්මයාම 20:3.

  2.   රූපවලට වඳින්න එපා.—නික්මයාම 20:4-6.

  3.   දෙවියන්ගේ නමට අගෞරව කරන්න එපා.—නික්මයාම 20:7.

  4.   සබත පවත්වන්න.—නික්මයාම 20:8-11.

  5.   දෙමාපියන්ට ගරු කරන්න.—නික්මයාම 20:12.

  6.   මිනී මරන්න එපා.—නික්මයාම 20:13.

  7.   අනාචාරයේ යෙදෙන්න එපා.—නික්මයාම 20:14.

  8.   සොරකම් කරන්න එපා.—නික්මයාම 20:15.

  9.   බොරු සාක්ෂි දෙන්න එපා.—නික්මයාම 20:16.

  10.   අනිත් අයගේ දේවල්වලට ආශා කරන්න එපා.—නික්මයාම 20:17.

 දසපනත ලැයිස්තුගත කරලා තියෙන විදිහ එකිනෙකට වෙනස් ඇයි?

 හැම පනතකටම අංකයක් බයිබලයේ නියම කරලා නැහැ. ඒ නිසා ඒවා ලැයිස්තුගත කරන්න ඕන විදිහ ගැන අදහස් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඒ නීති ලැයිස්තුගත කරන්නේ ඉහත සඳහන් විදිහටයි. ඒත් සමහර අය දසපනත ලැයිස්තුගත කරන්නේ ඊට වඩා වෙනස් විදිහකට. එයාලා පළවෙනි, දෙවෙනි සහ අන්තිම පනත තියෙන තැන් මාරු කරනවා. a

 දසපනත දුන්නේ ඇයි?

 මෝසෙස් මාර්ගයෙන් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති සංග්‍රහයේ ආඥා 600කට වැඩිය තිබුණා. දසපනත අයිති ඒ නීතියටයි. දෙවි ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත ගිවිසුමට කොන්දේසිය වුණේ ඒ නීති. (නික්මයාම 34:27) ඒ නීතියට කීකරු වුණොත් එයාලා සාර්ථක වෙනවා කියලා දෙවි කිව්වා. (ද්විතීය කතාව 28:1-14) ඒ නීතිය ඊශ්‍රායෙල් සෙනඟට දුන්න එකේ අරමුණ වුණේ දෙවියන් එවන්න පොරොන්දු වුණ ගැලවුම්කරුව නැත්නම් ක්‍රිස්තුස්ව පිළිගන්න ඊශ්‍රායෙල්වරුන්ව සූදානම් කරන එකයි.—ගලාති 3:24.

 ක්‍රිස්තියානීන් දසපනත රකින්න ඕනෙද?

 නැහැ. දසපනත ඇතුළු ඒ නීති සංග්‍රහය දෙවියන් දුන්නේ විශේෂයෙන්ම ඊශ්‍රායෙල්වරුන්ට. (ද්විතීය කතාව 5:2, 3; ගීතාවලිය 147:19, 20) ඒ නිසා ක්‍රිස්තියානීන් ඒ නීතියට බැඳිලා නැහැ. යුදෙව් ක්‍රිස්තියානීන් පවා ‘ඒ නීතියෙන් නිදහස්’ වුණා. (රෝම 7:6) b ඒ නීතිය වෙනුවට “ක්‍රිස්තුස්ගේ නීතිය” අපිට ලැබිලා තියෙනවා. යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට කරන්න අණ කරපු හැම දෙයක්ම ක්‍රිස්තුස්ගේ නීතියේ සඳහන් වෙනවා.—ගලාති 6:2; මතෙව් 28:19, 20.

 දසපනත අදටත් අදාළද?

 ඔව්. දසපනත අධ්‍යයනය කිරීමෙන් දෙවි හිතන විදිහ දැනගන්න අපිට පුළුවන්. ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. (2 තිමෝති 3:16, 17) ඒ නීති පදනම් වෙලා තියෙන ප්‍රතිපත්ති කවදාවත් අවලංගු වෙන්නේ නැහැ. (ගීතාවලිය 111:7, 8) බයිබලයේ අලුත් ගිවිසුම කියලා හඳුන්වන කොටසේ තියෙන ඉගැන්වීම් බොහොමයකට පදනම වෙන්නෙත් ඒ ප්‍රතිපත්ති තමයි.—“ අලුත් ගිවිසුමේ දකින්න ලැබෙන දසපනතට ඇතුළත් ප්‍රතිපත්ති” කියන කොටස බලන්න.

 දසපනත ඇතුළු මෝසෙස් මාර්ගයෙන් දෙවියන් දීපු සම්පූර්ණ නීති පද්ධතියම පදනම් වුණ මූලික ආඥා දෙකක් තියෙනවා කියලා යේසුස් කිව්වා. බලන්න යේසුස් කියපු දේ. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’ මුළු නීතිය . . . රඳා පවතින්නේ ඒ ආඥා දෙක මතයි.” (මතෙව් 22:34-40) මෝසෙස්ට දෙවියන් දීපු ආඥා පිළිපැදීමට ක්‍රිස්තියානීන් බැඳිලා හිටියේ නැති වුණත් දෙවියන්ටත් තම අසල්වැසියන්ටත් ප්‍රේම කරන්න එයාලට අණ කරලා තියෙනවා.—යොහන් 13:34; 1 යොහන් 4:20, 21.

  අලුත් ගිවිසුමේ දකින්න ලැබෙන දසපනතට ඇතුළත් ප්‍රතිපත්ති

ප්‍රතිපත්තිය

අලුත් ගිවිසුමේ තියෙන තැන

යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න

එළිදරව් 22:8, 9

රූපවලට නමස්කාර කරන්න එපා

1 කොරින්ති 10:14

දෙවිගේ නමට ගෞරව කරන්න

මතෙව් 6:9

දෙවිට නිතිපතා නමස්කාර කරන්න

හෙබ්‍රෙව් 10:24, 25

දෙමාපියන්ට ගරු කරන්න

එෆීස 6:1, 2

මිනී මරන්න එපා

1 යොහන් 3:15

අනාචාරයේ යෙදෙන්න එපා

හෙබ්‍රෙව් 13:4

සොරකම් කරන්න එපා

එෆීස 4:28

බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න එපා

එෆීස 4:25

අනිත් අයට අයිති දේවලට ආශා කරන්න එපා

ලූක් 12:15

a යුදෙව් සම්ප්‍රදායට අනුව ලැයිස්තුගත කරන්නේ, “නික්මයාම 20:2 පදයේ පළවෙනි පනත තියෙන විදිහටත්, 3-6 දක්වා පදවල දෙවෙනි පනත තියෙන විදිහටත්” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The Jewish Encyclopedia) අනික් අතට නික්මයාම 20:1-6 දක්වා කොටස එක පනතක් විදිහට කතෝලිකයන් සලකනවා. ඒ නිසා දෙවියන්ගේ නමට අගෞරව කරන්න එපා කියන පනත දෙවෙනි පනත හැටියට එයාලා සලකනවා. පනත් දහයක් තියෙන්න ඕන නිසා, එයාලා අන්තිම පනත, ඒ කියන්නේ වෙනත් කෙනෙකුගේ භාර්යාවට සහ දේවල්වලට ආශා කරන්න එපා කියන පනත, පනත් දෙකක් විදිහට සලකනවා.

b මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට ඇතුළත් දේකට උදාහරණයක් විදිහට රෝම 7:7 දහවෙනි පනත යොමු දක්වලා තියෙනවා. මෝසෙස් මාර්ගයෙන් දෙවි දුන්න නීතියට දසපනත ඇතුළත් කියලා ඒකෙන් ඔප්පු වෙනවා.