Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අවසානය ළඟද?

‘අවසානය!’ - අදහස් කරන්නේ මොකක්ද?

‘අවසානය!’ - අදහස් කරන්නේ මොකක්ද?

“ලෝකාන්තිමය ළඟයි” කියන වචන ඇහෙද්දී ඔබේ හිතේ මැවෙන්නේ මොන වගේ දේවල්ද? වේදිකාවකට නැඟලා බයිබලය අතේ තියාගෙන ප්‍රබල දේශනාවක් දෙන කෙනෙක්වද? නැත්නම් අහවල් දවසේ ලෝක විනාශයක් එනවා කියලා අනාවැකි කියන කෙනෙක්වද? ඒ වගේ දෙයක් අහන්න ලැබුණාම සමහරු කලබල වෙනවා. තවත් අය ඒ ගැන සැක කරනවා. සමහරුන්ට හිනාත් යනවා.

‘අවසානය එනවා’ කියලා බයිබලයෙත් කියලා තියෙනවා. (මතෙව් 24:14) ඒ අවස්ථාවට “දෙවිගේ මහත් දවස” සහ “හර්–මගෙදොන්” කියලත් කියනවා. (එළිදරව් 16:14, 16) මේ ගැන හුඟක් ආගම්වලින් උගන්වන්නේ තැතිගන්වන අදහස්. කොහොමවුණත් අවසානය කියන එකෙන් අදහස් කරන දේත් නොකරන දේත් බයිබලයේ පැහැදිලිව කියනවා. ඒ වගේම අවසානය ළඟයිද නැද්ද කියන එක තේරුම්ගන්නත් ඒක අපිට උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි අවසානයේදී බේරෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරනවා. ඔක්කොටම කලින් ඒ තැතිගන්වන අදහස් හරිද වැරදිද කියලා පැහැදිලි කරගමු. ඇත්තටම බයිබලයේ “අවසානය” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

අවසානයෙන් අදහස් නොකරන දේ

  1. අවසානය කියන්නේ පොළොව ගිනිබත් වෙලා යන එක නෙමෙයි.

    බයිබලයේ මෙහෙම කියනවා. “[දෙවියන්] පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.” (ගීතාවලිය 104:5) ඒකෙන් සහ තව බයිබල් පදවලින් දෙවියන් පොළොව විනාශ කරන්නෙවත් කාටවත් විනාශ කරන්න ඉඩ දෙන්නෙවත් නැහැ කියන එක සහතික කරනවා.—දේශනාකාරයා 1:4; යෙසායා 45:18.

  2. අවසානය නියමිත කාලයක් නැති එකක් නෙමෙයි.

    දෙවියන් අවසානය ගේන්න කාලයක් නියම කරලා තියෙනවා කියලා බයිබලයේ කියනවා. “මා පැවසූ ඒ දේවල් සිදු වන දවස හෝ වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් එය දන්නේ නැහැ. ඒ ගැන දන්නේ පියාණන් පමණයි. නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා අවදිව, සෝදිසියෙන් සිටින්න.” (මාක් 13:32, 33) ඒකෙන් පේන්නේ දෙවියන් (“පියාණන්”) අවසානය ගේන “නියමිත කාලය” දැනටමත් තීරණය කරලා තියෙනවා කියලයි.

  3. අවසානය ගේන්නේ මිනිසුන්වත් අහසෙන් වැටෙන සුන්බුන්වත් නෙමෙයි.

    අවසානය එන්නේ කොහොමද? “ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි. එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත හා සැබෑ කෙනෙකු ලෙස හඳුන්වා තිබිණ.” (එළිදරව් 19:11) තවදුරටත් එළිදරව් 19:19 මෙහෙම කියනවා. “මම මෘගයාද පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද දුටුවෙමි. ඔවුන් එක් රැස්ව සිටියේ අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමටය.” (එළිදරව් 19:11-21) මේ බයිබල් පද විස්තර කරලා තියෙන්නේ සංකේත අර්ථයකින් වුණත් අපිට හොඳින්ම පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියන් තම සතුරන්ව විනාශ කරන්න ඔහුගේ දේවදූතයන්ව යොදාගන්නවා කියන එක.

අවසානය ගැන බයිබලයේ තියෙන පණිවිඩය සුබ පණිවිඩයක් මිස අසුබ එකක් නෙමෙයි

අවසානයෙන් අදහස් කරන දේ

  1. අසාර්ථක මිනිස් ආණ්ඩුවල අවසානය.

    බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් [ආණ්ඩුවක්] පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” (දානියෙල් 2:44) ඉහත 3වෙනි කරුණේ කිව්ව විදිහට “අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමට” එක් රැස් වෙන ‘පොළොවේ රජවරුන්වත් ඔවුන්ගේ සේනාවන්වත්’ සහමුලින්ම නැති කරලා දානවා.—එළිදරව් 19:19.

  2. යුද්ධ, ප්‍රචණ්ඩත්වය සහ අයුක්තියට අවසානයක්!

    “පොළොවේ සිදු වන සියලු යුද්ධ [දෙවියන්] නවත්වා දමන්නේය.” (ගීතාවලිය 46:9) “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.” (හිතෝපදේශ 2:21, 22) දෙවියන් කියන්නේ “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලයි.—එළිදරව් 21:4, 5.

  3. මිනිසුන්ව මුළා කරන ආගම්වල අවසානය.

    බයිබලයේ මෙහෙම කියනවා. “අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති. පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති. නමුත් . . . ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?” (යෙරෙමියා 5:31) යේසුස් කියන්නේ මෙහෙමයි. “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට බොහෝදෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද’ කියා මගෙන් අසයි. එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.”—මතෙව් 7:21-23.

  4. මේ ලෝකේ දේවලට ඇලීගැලී ඉන්න අයගේ අවසානය.

    යේසුස් මෙහෙම කිව්වා. “ලෝකයට ආලෝකය පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි. ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.” (යොහන් 3:19) විශ්වාසවන්ත කෙනෙක් වුණ නෝවා හිටිය කාලයේදී ලෝකේ පුරා සිද්ධ වුණ විනාශයක් ගැන බයිබලයේ විස්තර කරනවා. ඒකේ කියන්නේ ‘ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී ගියා’ කියලයි. “නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය. එනම් විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.”—2 පේතෘස් 3:5-7.

“විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස” සමාන කරලා තියෙන්නේ නෝවාගේ කාලයේ පැවති “ලෝකය” විනාශ වුණ සිද්ධියටයි. එදා විනාශ වුණ ලෝකය මොකක්ද? මේ පෘථිවිය විනාශ වුණේ නැහැ. ‘විනාශ වුණේ’ දෙවියන්ගේ සතුරන් වන ‘ඔහුට කිසි ගෞරවයක් නොදැක්වූ මිනිස්සු.’ ඉදිරියේදී එන ‘විනිශ්චය දවසේදී’ දෙවියන්ගේ සතුරන් ඒ වගේම විනාශයක් අද්දකිනවා. ඒත් නෝවා සහ ඔහුගේ පවුලේ අයව ආරක්ෂා කළා වගේ දෙවියන් තමන්ගේ මිතුරන්ව ඒ විනාශයේදී බේරගන්නවා.—මතෙව් 24:37-42.

දුෂ්ට මිනිසුන් ඇතුළු හැම දුෂ්ට බලපෑමක්ම දෙවියන් මේ පොළොවෙන් තුරන් කළාට පස්සේ මේ පොළොව කොයි තරම් සුන්දර තැනක් වෙයිද? එහෙමනම් අවසානය ගැන බයිබලයේ තියෙන පණිවිඩය සුබ පණිවිඩයක් මිස අසුබ එකක් නෙමෙයි. ඒත් ‘අවසානය එන දවස හරියටම බයිබලයේ කියලා තියෙනවාද? ඒක අත ළඟද? මම කොහොමද ඒකෙන් ගැලවෙන්නේ’ කියලා ඔබ කල්පනා කරනවා ඇති.